මාතර හරිස්චන්ද්‍ර නිෂ්පාදන කියන්නේ ලංකාවේ ඉතා පැරණි ඒ වගේම ඉතා ප්‍රසිද්ධ වෙළෙද නාමයක්. මේ සටහනේ තියෙන්නේ ඒ ව්‍යාපාරය ආරම්භ කළ සී.ඒ. හරිස්චන්ද්‍ර මහතාගේ බොහෝ දෙනා නොදත් ජීවිත කතාවෙන් බිඳක්. (Sri Lanka Latest News)
සී.ඒ. හරිස්චන්ද්‍ර දරුවා ඉපදුණේ ‘මාතර සිටුවරයා’ ලෙස එකල හැඳින්වුණු ඕදිරිස් සිල්වාගේ හතර වැනි පුත්‍රයා විදියට. කර්නල් සී.ඒ. ධර්මපාල මේ හරිස්චන්ද්‍රගේ තවත් සහෝදරයෙක්. සිටුවර තාත්තා හරිස්චන්ද්‍ර දරුවා ඉගෙනුමට යැව්වේ මාතර ශාන්ත තෝමස් විද්‍යලයට. ඉන් පස්සේ හරිස්චන්ද්‍ර ධර්මපාල සහෝදරයන් දෙදෙනාම කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළු කළා.
හරිස්චන්ද්‍ර දරුවා තුළ ව්‍යාපාරියකු වීමේ කිසිම ලකුණක් තිබුණේ නැහැ. ඔහු පොත් කියවීමට දැඩි සේ නැඹුරු වුණු නිහඬ ළමයෙක්. ඇත්තටම අගහිඟකම් දුක් වේදනා හරිස්චන්ද්‍ර ශිෂ්‍යයාගේ ළමා වියට කිසිදු සම්බන්ධකමක් නෑ.
හරිස්චන්ද්‍ර ශිෂ්‍යයා නාලන්දෙන් කොළඹ යුනිවසිටි කොලීජියට ඇතුළු වුණා. පොතපතේම ගැලී සිටි ශිෂ්‍යා යුනිවසිටි කොලීජියට තේරීම පුදුමයක් නෙමෙයි. ඔහු ඉගෙන ගත්තේ ආර්ථික විද්‍යාව. දාස්ගුප්ත නමැති ඉන්දියන් ගුරුවරයා මේ ශිෂ්‍යයාට දවසක් මෙහෙම කිව්වා.
‘හරිස්චන්ද්‍ර, මෙහෙන් පිටවෙලා ගිහින් අනිත් අය වගේ රස්සාවකට යන්න එපා. ඔයාට හරියන්නෙ ව්‍යාපාර ලෝකය. ඒ අඩි පාරේ යන්න.’
හරිශ්චන්ද්‍ර ශිෂ්‍යයාට මේ වචන හරිම ප්‍රහේළිකාවක්. තාත්තා විශාල ව්‍යාපාරිකයෙක් වුණත් වෙළෙඳාම ගැන මේ තරුණයා තුළ කිසිම අදහසක් ආසාවක් තිබුණේ නෑ. නමුත් දාස්ගුප්ත ආචාර්යවරයාගේ වචන කීපය හරිස්චන්ද්‍ර තරුණයාගේ ජීවිතය වෙනස් කළා. 1938දි යුනිවසිටි කොලීජියේ ඉගෙනුම අවසන් කළ හරිස්චන්ද්‍ර තරුණයා ආපහු මාතර මහගෙදරට ආවා. ඒ වෙළෙඳාම් කරන්න හිතාගෙන.
ඒ වනවිට මාතර බ්‍රෝඩ්වේ සිනමාහලත් එහිම තිබූ පොත්හලත් අයිතිව තිබුණේ හරිස්චන්ද්‍රගේ තාත්තාට. පොතපතේම ගැලී සිටි පුතාට සිනමාහලත් පොත් සාප්පුවත් භාරදීම සුදුසුම දෙය බැව් තාත්තා කල්පනා කළා.
දැන් සී.ඒ. හරිස්චන්ද්‍ර, සිනමා හලේ සහ පොත් සාප්පුවේ කළමනාකරු. පරණ පුරුද්ද අත්හැරුණෙ නෑ. හරිස්චන්ද්‍ර සාප්පුවේ තියෙන පොත් කියවන්න පටන් ගත්තා. එක දවසක් සාරියකින් හැඩවැඩ වුණු මනා පෙනුමැති යුවතියක් පොත් සාප්පුවට ගොඩවුණා. මේ තරුණිය හරිස්චන්ද්‍ර තරුණයාගේ සිත විදුලියක් වගේ සසල කළා. මේ විදියට දෙතුන් විටක්ම පොත් ගන්න ආපු මේ යුවතියත් හරිස්චන්ද්‍රත් අතර ආධ්‍යාත්මික සබඳතාවක් ගොඩනැගෙන්න පටන් ගත්තා.
ඇය ගුරුවරියක්. නම කොන්දේර්ලියා හාන්ති. මේ සබඳතාව හරිස්චන්ද්‍ර පවුල් ඒකකය තුළ විශාල අර්බුදයක් මතුකළා.
‘ඔය කසාදෙට ඉඩ දෙන්න බෑ.’
සිටුවර තාත්තාත් සහෝදර සහෝදරියනුත් හරිශ්චන්ද්‍රට විරුද්ධ වුණා.
‘කමක් නෑ.. මං මේ යුවතිය කසාද බඳිනවා.’
හරිස්චන්ද්‍ර තරුණයාගේ ඉරණමේ පළමු කොටස තීන්දු කළේ දාස් ගුප්ත ගුරුවරයා. ඔහුගේ ඉරණම දෙවැනි වරට වෙනස් කළේ පොත් සාප්පුවේදී මුණගැසුණු මේ පාසල් ගුරුතුමිය විසිනුයි. හරිස්චන්ද්‍ර තනි තීන්දුවෙන් ගුරුවරිය කසාද බැන්දා. සිටුවර පියාගෙන් හා මහගෙදරින් ලැබිය යුතු ධනස්කන්ධය අත්හැරලා දැම්මා.
ඔහුගේ විවාහ ජීවිතය ඇරඹුණේ කිසිදු වත්කමක් නැති හිස් පසුම්බියකින්. ‘මේ ඉඩම් ඔප්පුව තියලා සල්ලි අරන් ඔයා මොනව හරි දෙයක් පටන් ගන්න.’
දස අතේ කල්පනා කරමින් සිටි සැමියා අතට හාන්ති බිරිඳ තමන් සතු ඉඩම් ඔප්පුව දුන්නා. ඒ ඔප්පුව හරිස්චන්ද්‍ර රු. 500කට උකස් කළා. ඔහු ජීවිතය නැවත පටන් ගත්තේ රුපියල් පන්සීයෙන්. කුඩා වී අඹරන යන්ත්‍රයක් මිලටගත් හරිස්චන්ද්‍ර මාතර නගරයේ දෙමළ කඩයක් පිටුපස කුඩා තැනක වී මෝලක් පටන් ගත්තා. වී බුසලක් කොටන්න ඔහු අය කළේ ශත දෙකයි. ව්‍යාපාරය නරක නෑ. මේ අතර තවත් අයෙක් වී මෝලක් පටන් ගත්තා. එතැන වී බුසලක් කොටන්න අයකළේ ශතයයි. හරිස්චන්ද්‍රගේ වී මෝල බලා ඉඳිද්දී වැටෙන්න පටන් ගත්තා.
‘නමුත් මම ශතේට වී කොටන්නෙ නෑ. මගේ ගාන ශත දෙකම තමයි.’
මෙන්න මේ කාලෙදි තමයි දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. යුද්දේ නිසා හාල්වලට ලොකු ඉල්ලුමක් ආවා. ආණ්ඩුව හාල් මෝල්වලින් මිල ගණන් කැඳෙව්වා. ටෙන්ඩර් කතා කළේ සුද්දෙක්. අනෙක් හාල් මෝල් හිමියන් බොහෝ දෙනකුට නැති සුදුසුකමක් හරිස්චන්ද්‍රට තිබුණා. ඒ තමයි ඉංග්‍රීසි දැනුම. හරිස්චන්ද්‍ර සුදු නිලධාරියත් එක්ක කතා කළා. සුද්දා ඇවිත් හරිස්චන්ද්‍රගෙ වී මෝලෙන් වී කොටවල අල්ලට අරන් පරීක්ෂා කළා. ටෙන්ඩරේ හම්බ වුණේ හරිස්චන්ද්‍රට. එතැන් සිට ආණ්ඩුවට හාල් සපයන දකුණේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වුණේ හරිස්චන්ද්‍ර. කොළඹ හාල් වෙළෙඳ පොළේ අංක 1ට වැටුණේ හරිස්චන්ද්‍ර හාල්. ඒ එක්කම ආණ්ඩුවට අවශ්‍ය දැව කොන්ත්‍රාත්තුවකුත් ලැබුණේ හරිස්චන්ද්‍රටමයි.
දැන් ව්‍යාපාරය ලොකුයි. මාතර බංගලාවත්ත අයිතිව තිබුණේ තමන්ගේ සහෝදරයා වන කර්නල් සී.ඒ. ධර්මපාලට. හරිස්චන්ද්‍ර සිය සහෝදරයාගෙන් ඉඩම මුදල්දී අරගත්තා. අදත් හරිස්චන්ද්‍ර කර්මාන්තායතනය තියෙන්නේ ඒ ඉඩමෙ.
අලුත් දේවල් සොයා යාමේ ආශාවක් හරිස්චන්ද්‍ර මහත්මයාගේ හිත තුළ තිබුණා. ඒකට හුඟක්ම බලපෑවේ පොතපත කියවීම. ටයිම්ස්, නිවිස්වීක් වගේ සඟරා තැපෑලෙන් ගෙන්වාගෙන කියවීමේ පුරුද්දක් ඔහු තුළ තිබුණා. ලෝකයේ කාර්මීකරණය, යන්ත්‍ර සූත්‍ර දියුණුව කෙතරම් දැයි මේ ඉංග්‍රීසි දොර කවුළු අතරින් ඔහුට පෙනුණා.
කුරක්කන් පිටි හෝර්ලික්ස් බෝතල්වල බහා විකිණීම ඔහු ආරම්භ කළේ 1953 දී. නමුත් කුරක්කන්වල වැලි සහමුලින්ම ඉවත් කිරීම අමාරු දෙයක් වුණා. මේ අතරේ කොළඹ ජපන් වෙළෙඳ භාණ්ඩ ප්‍රර්ශනයක් පැවැත්වුණා. හරිස්චන්ද්‍ර මහත්තයා ඒ ප්‍රදර්ශනයෙන් පෙනේරයක් මිලට ගත්තා. පෙනේරයක් කිව්වට ඒක වැලි හලන රැයිසියක් වගේ එකක්. කෙටූ කුරක්කන් පිටි මේ රැයිසිය වගේ යන්ත්‍රයෙන් හැලුවා. එක වැලි කැටයක් නැති හොඳ පිටි ඉතිරි වුණා.
මේ විදියට කුරක්කන්, උඳු, මිරිස්, කෝපි, ගම්මිරිස් වගේ කුඩු කරපු ද්‍රව්‍ය හරිස්චන්ද්‍ර නමින් වෙළෙඳපොළට එන්න පටන් ගත්තා. සතුන්ගේ ඇටකටු කොටා ඒ පොහොර ගොවීන් කීපදෙනකුට දීලා හරිස්චන්ද්‍ර මහත්තයා අස්වැන්නේ වෙනස බැලුවා. ගෙරිකටු පොහොර හරිස්චන්ද්‍ර නමින් වෙළෙඳ පොළට ගියේ ඉන් පස්සේ. හරිස්චන්ද්‍ර තවත් අත්හදාබැලීම් කළා. සිප්පි කටු කුඩුකරලා කුකුළු කෑම හැදුවා. තෙල් හා මේද සංයුක්ත මණ්ඩලය මේ කුකුළු කෑම මිලට ගත්තා. ඒ පාර කොප්පරා මෝලක් දැම්මා. දවසට පොල් තෙල් බවුසර් හතරක් කොළඹ වරායට යවන තරමට කොප්පරා මෝල දියුණු වුණා.
මේ වන විට ලංකාවේ සබන් වෙළෙඳාම තිබුණෙත් විදේශීය කොම්පැනියක් අතේ. හරිශ්චන්ද්‍ර මහත්තයා කොප්පරා මෝලෙන් ඉතුරු වෙන තෙල්වලින් සබන් හදන්න පටන් ගත්තා. ඒ, 1962 අවුරුද්දේ. සල්බාර් සබන් තාමත් මිනිස්සුන්ට මතකයි. කුමාරි, සමන්, නාමල් ආදී සුවඳ සබන් ඒ ඔක්කොම හරිස්චන්ද්‍ර සබන්.
එච්.ආර්. ජෝතිපාල මේ වන විට තරමක ජනප්‍රිය ගායකයෙක්. හරිස්චන්ද්‍ර මහත්තයා ජෝතිපාල තමන් අතට ගත්තා. පඩිය රු. 800යි. ජෝතිපාලට තිබුණේ හරිස්චන්ද්‍ර වෑන් එකේ නැගල ගිහින් තැනින් තැනදි ලවුඩ්ස්පීකරයෙන් සින්දු කියන එක විතරයි. තරුණ ගෑනු ළමයි වෑන් එක වටේ පිරෙන්න පටන් ගත්තා. හරිස්චන්ද්‍ර සුවඳ සබන් රට පුරා ගියේ ඒ විදියටයි.
ඔබට මතකද එක කාලයක් තිබුණා ගස් යට වැටෙන රබර් ඇට ගෝනි ගණනින් මිලට ගත්තු යුගයක්. එදා රබර් ඇට මිලට ගත්තේ හරිස්චන්ද්‍ර මහත්තයා. රබර් ඇට මදේ හින්දවල තෙල් ගත්තා. ඒවා සායම් වර්ග හදන පිටරට කොම්පැනියකට යැව්වා. ඉතිරි වන මද කුකුළු කෑම බවට පත් කරලා මේ රටේ බෙදාහැරියා. ඔහු හැම විටම කළේ ඒ වගේ දේවල්.
‘කිසිම දෙයක් නාස්ති කරන්න එපා.’
ඔහුගේ ව්‍යාපාරික ලෝකයේ එක් ආදර්ශ පාඨයක් වූයේ එයයි.
ගමන් යන අතරෙදී ආනමාලු කෙසෙල් ගෙඩි කෑම ඔහුගේ පුරුද්දක්. ඉතිරි වන ලෙලි ඔහු පාරට විසි කළේ නැහැ. ඒවා වාහනයේ පැත්තකින් තබාගත්තා. අතරමග දී හරකෙක් දුටු විට වාහනය නවතා ආනමාලු කෙසෙල් ලෙලි ඔක්කොම හරකට දෙනවා. ඒක ඔහු කිසිවක් නාස්ති කරන්න එපා කියන ආදර්ශ පාඨය අනුව කළ දෙයක්.
දස දිසාවගෙන් ගලා එන උල්පත්වලින් පොකුණක් පිරෙන්නා වාගේ හරිස්චන්ද්‍ර සමාගමට ආදායම් ගලා එන්න පටන් ගත්තා. දවසක් හරිස්චන්ද්‍ර මහත්තයා තමන්ගේ පැරණිම සේවකයකු වූ පීරිස්ට කතා කළා.
‘පීරිස්… දැන් අපිට සල්ලි වැඩියි….’
පීරිස් විස්මිත වුණා, සල්ලි වැඩියි කියන ව්‍යාපාරිකයෙක් කොහෙද ඉන්නේ?
‘පීරිස් අපි අපේ සේවකයන්ට බෝනස් දෙකක් දෙමු…’
වැඩි සල්ලි තමන්ගේ මඩියේ තර කරගන්නවා වෙනුවට හරිස්චන්ද්‍ර මහත්තයා 750ක් වූ තම සේවකයන්ට අවුරුද්දකට බෝනස් හතර දක්වා වැඩි කළා. මේසා විශාල ආයතනයක් වුවත් පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ එකම ඉංජිනේරුවෙක්වත් ඔහු ළඟ සේවයට ගෙන තිබුණේ නෑ. හරිස්චන්ද්‍ර මහත්තයගේ එකම ඉංජිනේරුවා වූයේ ඉස්කෝලේ පහටවත් නොගිය කොණ්ඩ බැඳපු උදේනිස්. උන්නැහේට යන්ත්‍ර සූත්‍ර විෂයෙහි අසාමාන්‍ය දැනුමක් තිබුණා.
උදේනිස් වයසට ගියේත් මියගියේත් හරිස්චන්ද්‍ර එකේදිමයි. අතපය බැරි වෙන කොට හරිස්චන්ද්‍ර මහත්තයා තම ඉංජිනේරුවාට ආයතනය ඇතුළේ කාමරයක් දුන්නා.
‘උදේනිස් වැඩකරන්න ඕනෙ නෑ. විවේකෙන් ඉන්න.’ උදේනිස්ට මැරෙන තුරුම පඩිය ලැබුණා.
සේවක අර්ථසාධක ක්‍රමය රජය විසින් හඳුන්වා දුන්නේ 1958දී. නමුත් හරිස්චන්ද්‍ර මහත්තයා තමන්ගේ සේවකයන්ට අර්ථසාධක දෙන්න පටන් ගත්තේ 1953දී.
‘උපරිම පඩි ගෙවන්න. උපරිම විදියට වැඩ කරන්න.’
ඒ, හරිස්චන්ද්‍ර මහත්තයාගේ දෙවැනි තුන්වැනි ආදර්ශ පාඨ දෙක. ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ විදියට ලැබුණු වැටුප පමණයි ඔහු අතට ගත්තෙ. පඩි ගන්න ශත 10 මුද්දරේටත් ඔහුගේ වැටුපෙන් ශත දහයක් අඩු කරන්නැයි ඔහු උපදෙස් දීලා තිබුණා.
එස්.කේ. වික්‍රමසිංහ, පිලිප් ගුණවර්ධන, එන්.එම්. පෙරේරා, බර්නාඩ් සොයිසා වැනි දේශපාලන කෘතහස්තයන් ඔහුගේ මිතුරන් වුණා. ලංකා බැංකුවේ අධ්‍යක්ෂ ධුරය, ලංගම අධ්‍යක්ෂ ධුරය, තෙල් හා මේද සංයුක්ත මණ්ඩලයේ සභාපතිකම වැනි තනතුරු ඔහු වෙත ගලා ආවා.
එලෙස ව්‍යාපාරික ලෝකයේ මුදුන් තැනක සිටිය ද තනතුරු කොතෙක් ලැබුණ ද මිල මුදල් කෙතරම් තිබුණ ද යස ඉසුරු භුක්ති විඳීමේ ආශාවක් ඔහු තුළ තිබුණෙ නෑ.
ඔහුට තිබුණේ සුදු අත් කොට කමිස 4ක් සුදු ඩ්රිල් කලිසම් 4ක් පමණයි. ඔහුගේ ජීවිතය කෙතරම් සරල දැයි දැනගන්නට එය හොඳ උදාහරණයක්.
ජීවිතයේ අවසාන භාගයේ ඔහු ඔත්පලව ඇඳට වැටුණා. කෑම රුචිය වඩවනු පිණිස බ්‍රැන්ඩි හැන්දක් දෙකක් දෙන්නැයි දොස්තර උපදෙස් ලැබුණා.
‘ජීවිත කාලයේම අරන් ආපු ප්‍රතිපත්තියක් මරණයට බයේ කඩන්නේ මොකටෙයි, මට බ්‍රැන්ඩි හැන්දක්වත් එපා.’ 1985දී මේ අල්පේච්ඡතාවෙන් යුත් සිටුවරයා ජයවර්ධනපුර රෝහලේ දී අවසන් හුස්ම හෙලුවා.
බැංකු කටයුතු, චෙක්පත් අස්සන් කිරීම් ලියකියවිලි, මුණගැසෙන්නට එන අමුත්තන් ආදී දහසක් කටයුතු අතරේ ඔහු අත් නොහළ එක් දෙයක් තිබුණා. ඒ තමයි පොත් කියවීම.
ඔහුට සිටියේ දූවරුන්ම හතරදෙනෙක් පමණයි. කමලා, විත්‍රා, පද්මිණී සහ මාලනී පද්ම ප්‍රභා. ඔහු මේ දූවරුන් හතරදෙනාගෙ කාමර හතර පිරෙව්වේ ඇස කන පිනවන විච්චූරණ භාණ්ඩවලින් හෝ රත්තරන් බඩුවලින් නෙමෙයි. පොත්වලින්. කාමර හතරටම පොත් රාක්ක හතරක් පිර වූ මේ තාත්තගෙන් දූවරු හතරදෙනාට ලැබුණු ලොකුම දායාදය වූයේ උගත්කම නමැති මිලකළ නොහැකි දායාදයයි.
ඔහුගේ ජීවිත කතාවෙන් ගත හැකි ආදර්ශ මිල කළ නොහැකිය. නැවත නැවත කියවා අවධාරණය කරගත යුතු කරුණු මතක තබාගනිමින් ඒවා ඔබේ සාර්ථකත්වයට උපයෝගී කරගැනීම වටී.
උපුටා ගැනීම – ‘දුක දිනා ජයගත් මිනිස්සු’
චන්ද්‍රසිරි දොඩන්ගොඩ










