රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් ඌව පළාත නියෝජනය කරන බදුල්ල රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාට විරුද්ධව ගෙන ඇති විනය පරීක්ෂණ තීරණය ඉවත් කරගැනීමට පසුගිය සති අන්තය වන තෙක්ම සෞඛ්‍ය බලධාරීන් ගෙන ඇති නිහඬ පිළිවෙතට විරුද්ධව ලබන බදාදා දිවයින පුරා සංකේත වෛද්‍ය වර්ජනයකට අවතීරණ වන බව එම සංගමයේ මාධ්‍ය ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ලබන සතියේ බදාදා උදේ 8ට පෙර අදාළ තීරණයේ වෙනසක් සිදු නොවුණහොත් එම ක්‍රියාමාර්ගය ගැනීමට එම සංගමයේ මධ්‍යම කාරකසභාවේ හදිසි රැස්වීමකදී තීරණය වූ බවයි ඔහු සඳහන් කළේ.
එදින ක්‍රියාත්මක කරන වැඩවර්ජනයේදී රෝගීන්ට සිදුවන අපහසුතා ඇතුළු අනෙකුත් ප්‍රශ්නවලට සෞඛ්‍ය බලධාරීන් වගකිව යුතු බවද ඔහු පැවැසීය.
සෞඛ්‍ය සේවයට අදාළ අඩුපාඩු නිසා රෝගීන්ට සිදුවන අනතුරුදායී තත්ත්වයන් පිළිබඳ පෙන්වා දීමේ වරදට සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයන් දඬුවම් ලැබිය යුතු නැතැයිද එම සංගමය පෙන්වා දෙයි.
මෙම ක්‍රියාමාර්ගය දේශපාලන පළිගැනීමක් පසුබිම් කරගෙන ක්‍රියාත්මක කර ඇති බවට සැකයක් මතුව ඇති බවයි වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ.
මේ පිළිබඳ රජයේ ඉහළම බලධාරීන්ටද දැනුම් දී ඇති බවද ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










