කොවිඞ් 19 වෛරසය මැඩලීමට ඇඳිරි නීතිය පැනවෙනවාත් සමග කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත පොලිස් ස්ථාන රැසකම ස්ථානාධිපතිවරු ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් බලධාරීන්ට අනතුරු අඟවන්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් කොවිඞ් 19 වෛරසය පතුරුවන්නන් බවට පත්වනු ඇති බවය. එබැවින් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් සම්බන්ධයෙන් යම් වැඩ පිළිවෙළක අවශ්‍යතාවද පොලීසිය පැත්තෙන් බලධාරීන්ට පෙන්වා දුන්නේය. ඒ වෙනුවට සිදුවන්නේ මත්කුඩු භාවිතයට සහ ජාවාරම් කිරීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින දහස් ගණනක් බන්ධනාගාරයෙන් එළියට ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් වීමය. ඒ බන්ධනාගාරවල තදබදය අවම කරමින් කොවිඞ් 19 වෛරසයෙන් බන්ධනාගාර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට යැයි කියාය.
හිරේ ඉන්න කුඩු ජාවාරමුන්ටත් සහන පැකේජයක්…
කොවිඞ් 19 වෛරසය අසාදනය වූ පළමු රෝගියා හමුවනවාත් සමග බන්ධනාගාර බලධාරීන් කොවිඞ් 19න් බන්ධනාගාර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පළමු පියවර තබන්නේ රැඳවූවන්ගේ දුක සැප බැලීමට පැමිණෙන පිරිස් නතර කිරීමෙනි. ඒත් සමග රැඳවූවන්ට පිටතින් ආහාර රැගෙන ඒමද තහනම් කරන්නට බන්ධනාගාර බලධාරීන් පියවර ගත්තේය. ඒත් එක්කම බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිටත සිටින සිය සගයන්ට දුරකතන ඇමතුම් දෙමින් ක්ෂණික ආහාර තොග වශයෙන් ගෙන්වා ගත්තේ බන්ධනාගාරයෙන් ලබාදෙන ආහාර වේල ගැන එතරම් විශ්වාසයක් නොතබමිනි. ඒ ඔවුන්ගේ කටේ රහට බන්ධනාගාර බත්පත ගැළපෙන්නේ නැති බැවිනි.
ඒත් එක්කම බන්ධනාගාරයේ ආපන ශාලාවෙන් තමන්ට කැමති ආහාර මුදල් ගෙවා රැඳවූවන්ට ලබා ගැනීමේ වැඩ පිළිවෙළක්ද බන්ධනාගාර බලධාරීන් දියත් කළේය. ඒ රැඳවූවන්ගේ දැඩි ඉල්ලීමකට ඇහුම්කන් දෙමිනි. එය ඇතැම් බන්ධනාගාර නිලධාරීන්ගේ මඩි තර කර ගැනීමටද ඉවහල් වූ බව ප්‍රසිද්ධ රහසකි.
පරයි සුද්දා ඇතුළෙ ඉදන්ම මුලු වනාතට බඩු මලු බෙදයි
ඒත් එක්කම රැඳවූවන්ට ජංගම දුරකථන භාවිතා කිරීමටද නිදහසක් උදා වූයේය. එම නිදහසින් උපරිම ප්‍රයෝජන ගන්නට වූයේ මත්කුඩු ජාවාරම්කරුවන්ය. ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් විශාල වශයෙන් මත්කුඩු මෙරටට ඇණවුම් කරන්නට ඔවුන් පියවර ගත්තේය. ඒත් එක්කම ඔවුන් ඇඳිරි නීතිය නිසා අසරණව සිටි සිය බල ප්‍රදේශවල ජනතාවට සහන මලුද බෙදා දෙන්නට වූයේ ඇතුළේ ඉඳන් ලක්ෂ ගණන් වැය කරමිනි. ඒ අය අතර ඉදිරියෙන්ම සිටියේ වනාතමුල්ලේ පරෙයි සුද්දාය. ඔහු බන්ධනාගාරගතව සිටින්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේදී හෙරොයින් කිලෝ 50ක් සමග පොලීසියට කොටුවීමෙනි. ප්‍රධාන පෙළේ මත්කුඩු ජාවාරම්කරුවෙක් වන ඔහු වනාතමුල්ලේ සරවනමුත්තු ක්‍රීඩාංගණය ඉදිරිපිට ඇති වත්තේ ජනතාවට රුපියල් 5000 බඩු මළු 1000ක් පමණ බෙදා හැරියේ කිසිදු රාජ්‍ය ආයතනයක් එම වත්තේ ජනතාව දිහා ඇහැක් ඇර නොබලමින් සිටි කාලසීමාව තුළදීය. දැන් එම වත්තේ ජනතාවගේ ගැලවුම්කරුවා වී සිටින්නේ පරෙයි සුද්දාය.
මත්කුඩු ජාවාරම්කරුවන් බොහෝ දෙනෙක් මේ කාලය තුළ හැසුරුණේ එසේය. ඒ තමන් ජීවත්වන ප්‍රදේශවල ජනතාවට ඇති ආදරය නිසා නොව, මත්කුඩු ජාවාරම එම ප්‍රදේශවල ජයටම කරගෙන යාමට ජනතාව ඔවුන් වෙත නම්මවා ගන්නටය.
කුඩු පැකට් එකේ මිල 50%කින් බසී
කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය අස්සේ ඔවුන් ඒ අරමුණ හොඳ හැටි ඉටුකර ගත්තේය. රුපියල් 400ට අලෙවි වුණු මත්කුඩු පැකට්ටුවක මිල රුපියල් 300 ත් 200ත් අතර මිලකට පහළ යන්නේ එබැවිනි. රුපියල් 10000කට අලෙවි වුණු හෙරොයින් ග්‍රෑම් 01ක මිල හරි අඩකින් අඩුවන්නේ රුපියල් 5000 දක්වාය. ඒ අනුව බලන කල රුපියල් කෝටියක් වටින්නේ යැයි කී හෙරොයින් කිලෝ එකක මිල රුපියල් ලක්ෂ 50කට බැස්සේය. ඒ සිල්ලර වෙළෙඳ පොළේය. එසේ නම් තොග වෙළෙඳ පොළේ එම මිල තවත් පහළ අගයක් ගනු ඇත.
කොරෝනා අස්සේ ‘සිද්ධික්’ නිදහස් වෙයි
මේ තරමට හෙරොයින් මිල අඩු අගයක් ගන්නේ මත්කුඩු ඉල්ලුම අඩුවී ඇති නිසා බවට වූ මතයක මෙන්ම ජාවාරම්කරුවන් ඔවුන් සතුව තිබුණු මත්කුඩු වැඩි වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කිරීම නිසා බවට වූ මතයකද පොලීසිය සිටී. එහෙත් සැබෑව ඊට වඩා වෙනස්ය. කොරෝනා අස්සේ ජාවාරම්කරුවන් මත්කුඩු වෙනදාට වඩා මෙරටට ගෙන ඒම මත්කුඩු ජාවාරම ඉහළ යාමට මුල්වී ඇති බව තතු දත්තෝ පවසති. මෙසේ මත්කුඩු මෙරට සුලබ වෙමින් මිල පහළ යන්නට මෙරට අංක එකේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙසට චෝදනා එල්ලවී ඇති මොහොමඞ් සිද්ධික් නැමැත්තා බන්ධනාගාරයෙන් නිදහස් වීමද බලපා ඇති බව මත්කුඩු ජාවාරම්කරුවන්ට නම් රහසක් නොවේ. සිද්ධික් නිදහස ලබන්නේ කොරෝනා අස්සේය. ඒ ඇප මත ලැබෙන නිදහසක් නොව ඔහුට එරෙහිව එල්ලවී ඇති සියලුම මත්කුඩු චෝදනාවලින් නිදහස් වන නිසාය.
වෙලේ සුදාගේත් ලොක්කා වන සිද්ධික්ව 2014 වසරේදී අල්ලා ගන්නේ පාකිස්තානු ආරක්ෂක අංශ විසිනි. ඒ ඩුබායි සිට මත්කුඩු ඇනවුමකට පාකිස්තානයට ගොස් සිටියදීය. ඒ තනිවම නොව, වෙලේ සුදාද සමගිනි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පාකිස්තානයට ගොස් මේ දෙන්නාව අවස්ථා දෙකකදී මෙරටට රැගෙන එන්නේ 2015 ජනාධිපතිවරණ උණුසුම අස්සේය. මේ දෙන්නාට ඇති චෝදනා ගොන්නක්ම එකල පොලීසිය නිල වශයෙන් මාධ්‍ය හමුවේ සඳහන් කළද සිද්ධික් නිදහස ලබන්නේ ඔහුට එරෙහි චෝදනා සනාථ කළ නොහැකි බව සඳහන් කරමිනි.
ඇතුළෙ ඉදන් සිද්ධික් කරපු දේ…
සිද්ධික් බන්ධනාගාරය තුළ සිටියත් කළේ මත්කුඩු ජාවාරම මෙහෙයැවීමය. එළියට ඒමත් සමග ඔහුගේ බලය ඇතුළේ සිටියාට වඩා වැඩි වන්නේ එළියට එන්නේ මත්කුඩු චෝදනාවක් නොගෑවුණු යහපත් සුදු චරිතයක් ලෙස වන බැවිනි. කෙසේ වෙතත් කොවිඞ් අස්සේ ඔහු එළියට ඇවිත් නැවත මෙරට මත්කුඩු ජාවාරමේ ඒකාධිකාරය සියතට ගනීද, නිදහස් පුද්ගලයකු ලෙස නීතිගරුකව ජීවත්වනු ඇතිද යන්න සම්බන්ධයෙන් බලධාරීන්ද සිටින්නේ විමසිල්ලෙනි.
නමුත් දැන් කුඩු පැකට්ටුවක මිල අඩුවී තිබේ. මත්කුඩු පැකට්ටුවේ මිල අඩුවීම ඇඳිරි නීතිය අස්සේ කීයක් හරි සොයා ගැනීමට නොහැකිව අසරණ වී සිටි මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ට නම් නව පණක් ලැබීමක් බඳුය. වෙනදා කුණු ගොඩවල් අවුස්සමින් යකඩ සහ ටින් කෑලි එකතුකරමින් කීයක් හරි සොයාගෙන මත්කුඩු පැකට්ටුව ඉරූ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් මෙදා ඇඳිරි නීතිය අස්සේ ගස් ගෙඩි කඩා විකුණා මුදල් සොයාගත්තේ මත්කුඩු උරන්නටය. අඹ, ඇඹරැල්ලා, කොස්, පොළොස් පමණක් නොව, කරපිංචා මෙන්ම කොහොඹ කොළත් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය. ඔවුන් ගස් ගෙඩි කැඩුවේ රෑ පානේය. ඒ අනුන්ගේ ඉඩම්වලට පැනය. කොළඹ සහ ඒ අවට තදාසන්න නගර ආශ්‍රිතව ජීවත්වන ජනතාවට වැඩිම හිරිහැරයක් වූයේ මේ අයගෙනි. ඒ ඔවුන් හොරෙන් වතුවලට පැන ගස් ගෙඩි හෝ කොළ අතු කැඩීම නිසාම පමණක් නොව, ජනතාවට ඒවා අලෙවි කිරීමට ඔවුන් කරන කරදර ද හේතුවෙනි. කොවිඞ් 19 වසංගතය මැද්දේ මහා මාර්ගවල රජ කළේ කුඞ්ඩන්ය. ඒ අය අල්ලා කූඩු කිරීමට පොලීසියට හැකියාව තිබුණත් පොලීසිය ඒ දේ කරන්නට නොගියේ සිරගෙවල්වල රඳවා සිටින කුඞ්ඩන්ව ඇප දී නිදහස් කරන්නට බලධාරීන් යෝජනා ඉදිරිපත් කරමින් සිටි බැවින් බලධාරීන්ගේ උදහසට පොලීසිය ලක්වෙතැයි බියෙනි.
නාවික හමුදාවට කොරෝනා ගිය හැටි
කෙසේ වෙතත් කුඞ්ඩන්ව පාලනය කළ යුතු බවට බලධාරීන්ටද දැනෙන්නට ගන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඒ අය මගින් රටපුරා ආසාදනය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීමත් සමගිනි. සෞඛ්‍ය බලධාරීන් සදහන් කරන ආකාරයට කොවිඞ් 19 වෛරසයේ පොකුරු 31ක් අපේ රටේ හමුවී තිබේ. පළමු පොකුර හමුවන්නේ බේරුවලිනි. අනතුරුව අටළුගම, යාපනයේ අරියාලේ, පුත්තලම ආදී රටේ තැන තැන පොකුරු වශයෙන් කොවිඞ් 19 වෛරසය ආසාදනය වූ රෝගීන් හමුවන්නට පටන් ගැනෙන්නේ ගම්මාන පිටින් ජනතාව නිරෝධායනයට යොමු කරවමිනි.
එම පොකුරු ආසාධිතයන් ජා- ඇළ සුදුවැල්ලේද සිටියේය. සුදුවැල්ලට කොවිඞ් 19 වෛරසය රැගෙන එන්නේත් ව්‍යාප්ත කරන්නේත් මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවෙකි. ඔහු සමග එකට මත්කුඩු ඉරූ 06 දෙනෙකුටම කොවිඞ් 19 ආසාදනය වී තිබුණේය. ඒ අය කොළඹ මරදානටත්, තොටළඟ නාගලගම් වීදියටත්, කෙසෙල්වත්තේ බණ්ඩාරනායක මාවතටත් වසංගතය රැගෙන ගොස් තිබුණේය. මෙරට ලොකුම කොවිඞ් 19 පොකුර වන නාවික හමුදාවේ වැලිසර කඳවුරට පවා කොවිඞ් 19 වෛරසය පතුරුවන්නේ ඔවුන්ය.
සංඛ්‍යා දත්තයන්ට අනුව මෙරටින් මේ වන විට හමුවී ඇති කොවිඞ් 19 වෛරසය ආසාදිතයින් බවට හදුනාගෙන ඇති ප්‍රමාණය 800කට වැඩිය. ඒ අතරින් නාවික හමුදාවේ සාමාජිකයින් ගණන එයින් හරි අඩකි. එසේම කුඞ්ඩන් විසින් වෛරසය පතුරුවන ලද කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් හමුවූ කොවිඞ් 19 වෛරසය අසාදිතවූ ගණන 100කට වැඩිය. මේ අනුව බලන කල අපේ රටේ වැඩිම කොවිඞ් 19 ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින්නේ කුඞ්ඩන්ගෙන් වෛරසය පැතිරීම නිසා ආසාදිතවූවන්ය. එම ගණන 500කට වැඩිය. බුද්ධි අංශ බලධාරීන්ව දැනුවත් කර ඇත්තේ මුල් අවස්ථාවේදීම කුඞ්ඩන් පාලනය කළේ නම් කොවිඞ් 19 මේ වන විට මෙරට පාලනය කර හමාර බවය.
කෙසේ වෙතත් කුඞ්ඩන් පාලනය කරන්නට ගන්නේ දැන්ය. පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මේ කොවිඞ් 19 වෛරස ව්‍යාප්තිය අස්සේ පොලිස් අත්අඩංගුවට පත්ව ඇති කුඞ්ඩන් ගණන 10000කට කිට්ටුය. ඒ අය අතර වැඩි දෙනෙක් සිටින්නේ මත්කුඩු පානයට ඇබ්බැහි වූවන්ය. මේ අය අත්අඩංගුවට ගෙන ඇත්තේද ඇඳිරි නීති උල්ලංඝනය කරමින් මහ මග ගමන් කිරීමේ වරදටය. ඇඳිරි නීති කඩමින් මහා මාර්ගවල ගමන් කරන මත්කුඩු භාවිතයට ඇබ්බැහිවූවන් කොටුකර ගැනීමට මේ වන විට මෙහෙයුම් දියත් කර ඇත්තේ ද කුඞ්ඩන් නිසා කොවිඞ් 19 වෛරසය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති බව බලධාරීන්ටද පෙනී ගිය බැවිනි.
අපේ කතාව හරියටම හරි
කොවිඞ් 19 අස්සේ නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අයිස් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ 1000කට වැඩි තොගයක් සමග ඉරාන් නෞකාවක් අල්ලාගත් හැටි මෙම තීරුවෙන් හෙළි කළේය. එම මත්ද්‍රව්‍ය තොගය අල්ලා ගැනීමේ සැඟවුණු කතාව පවා හෙළිකිරීමට හැකිවූයේ නාවික හමුදාවේ ඉහළ පුටුද කැලඹීමකට ලක්කරමිනි. එහිදී එම වැටලීමට මුල්වුණු තොරතුර නාවික හමුදාවේ ඉහළ නිලධාරියෙකුට ලැබෙන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකයෙකුගෙන් බවද හෙළිකළේය. ඒ බව තවදුරටත් තහවුරු කරමින් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මේ වන විට ඒ සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාවද දැනුවත් කර ඇත්තේ ඒ ඔස්සේ බලධාරීන්ටද යම් පණිවිඩයක් ගෙන යමිනි.
නාවික හමුදාව විසින් අල්ලාගත් එම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කරමින් තිබී ඇත්තේ ඉන්දුනීසියාවට සහ ඕස්ටේ්‍රලියාවට බවද වගකීමකින් යුතුව මෙම තීරුව මගින් හෙළි කළේය. එහෙත් නාවික හමුදාව පාර්ශ්වයෙන් කියැවුණේ එම මත්ද්‍රව්‍යවලින් කොටසක් මෙරටටද ගොඩ බෑමට නියමිතව තිබුණු බවය. ඒ ගැන වැඩි යමක් දැන් හෙළිවී හමාරය. ඒ එම නෞකාවේ සිටියදී අත්අඩංගුවට ගැනුණු පාකිස්තානුවන් 09දෙනා කට ඇර ඇති බැවිනි. ඔවුන්ව සති දෙකකට අධික කාලයක් රඳවා සිටියේ තංගල්ල නාවික හමුදා කඳවුරේය. ඒ නිරෝධායනය සදහාය. නිරෝධායනයෙන් පසු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ඔවුන් සිය භාරයට ගෙන ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ මත්ද්‍රව්‍ය තොගය රැගෙන යමින් තිබුණේ ඉන්දුනීසියාවට සහ ඕස්ටේ්‍රලියාවට බවය. ඒ බව සනාථ කිරීමට හැකි සාක්ෂි ගොන්නක්ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇත්තේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විමර්ශන ඒජන්සිවලද සහාය ඇතිව කෙරෙන පරීක්ෂණවලිනි.
රුවන් වෙඩිවර්ධන










