අපේ රටේ කොවිඞ් 19 වෛරසය ව්‍යාප්තියට වැට බැඳෙන්නේ බුද්ධි අංශ විසින් එක් රෝගියෙක් හමුවීමෙන් අනතුරුව එම රෝගියා ඇසුරු කළ පුද්ගලයින් හඹා යමින් ඒ අය සමාජගතවීමට ඉඩ නොදී නිරෝධායනයට යොමු කිරීම හේතුවෙනි. මේ අපිටම අවේණික වූ අපේම ක්‍රමයකි. මේ අපේ දේ හඳුන්වා දුන්නේ කවුරුන්දැයි අප්‍රසිද්ධය. ඒ අප්‍රසිද්ධ තැනැත්තා වෙන කිසිවෙක් නොව, වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නය.
සී.ඩී. පොලීසියේ සිටින නිහඬ චරිතයකි. ඔහු රූපවාහිනී තිර මත හෝ පුවත්පත් පිටු අතර නිතර දකින මාධ්‍ය හමුවේ වීරයෙක් නොවේ. ඔහුගේ වැඩ ඇත්තේ තිරය පිටුපසය.
කොළඹ ආනන්ද විද්‍යාලයෙන් කොළඹ විශ්ව විද්‍යාලයට යන සී.ඩී. විශ්ව විද්‍යාලය තුළද නිහඬ චරිතයක් බව ඔහුගේ සමීපතමයෝ සදහන් කරති. පාසලෙත් විශ්වවිද්‍යාලයෙත් ඔහු වැඩ පෙන්නුවේ සංඛ්‍යා දත්ත පදනම් කරගනිමිනි.
සී.ඩී.ට පොලිසියේ දොරගුළු විවරවන්නේ උපාධිය ලබාගන්නවාත් සමගිනි. ඒ, එන්.අයි.බී. නමින් එවකට ක්‍රියාත්මක වූ රාජ්‍ය ඔත්තු සේවයේ සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙසිනි. වැඩි කාලයක්ම ඔහු සේවයේ නිරතව සිටියේ අද රාජ්‍ය බුද්ධි සේවය ලෙසින් හඳුන්වනු ලබන රාජ්‍ය ඔත්තු සේවයේය. යුද්ධය අවසාන වකවානුවේදී ඔහු සේවයේ නිරතව සිටියේ සාමාන්‍ය පොලිස් රාජකාරියේය. ඒ පදවියේය. ඔහුට පැවරෙන්නේ එවකට මායිම් ගම්මාන ලෙස සඳහන් වූ සිංහල ගම්මාන ටික බේරා ගන්නටය. එදා ඔහු එහි සේවයට යන විට මායිම් ගම්මාන තිබුණේ නිරන්තරයෙන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක්වෙමිනි. ඔහුගේ ආගමනයත් සමග ගම්මානවල ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් සැකසෙන්නේ නැවත ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල නොවන ලෙසිනි.
රත්නපුර කහවත්තේ කොටකෙතන ගම්මානයේ එක දිගට සිදුවූ කාන්තා ඝාතන රැල්ලේ සැබෑ ඝාතකයාව අල්ලා ගත්තේද සී.ඩී. සබරගමුව පළාත් භාර පොලිස් ප්‍රධානියාව සිටියදීය. කාන්තාවක් ඝාතනය වන විට පොලීසියද කළේ ඝාතකයා යැයි කියමින් එම ඝාතනවලට කිසිසේත් සම්බන්ධ නැති පුද්ගලයින්ව අල්ලා නැති සාක්ෂි මවා අහිංසකයෙක්ව කූඩු කිරීමය. කොළඹ අපරාධ කොට්ඨාසය මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද ඒ වැරැද්ද වරක් දෙවරක් නොව, කිහිප වතාවක්ම කළේය. එහෙත් සී.ඩී. විශ්වාස කළේ ඒ කිසිවෙක් සැබෑ ඝාතකයන් නොවන බවය. ඝාතකයා දාම ඝාතකයෙක් බවත්, ඔහු නිදැල්ලේ බවත් සී.ඩී. අනුමාන කළේය. ඒ අනුව සී.ඩී. අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් සමග නිහඬව සැබෑ ඝාතකයා කොටුකර ගැනීමේ මෙහෙයුමක් දියත් කළේය. ඒ දත්ත විශ්ලේෂණය කිරීමෙනි. කොටකෙතන ගම්මානයේ කාන්තාවන් 18 දෙනෙක් ඝාතනය කර දූෂණය කළ සැබෑ ඝාතකයා කොටුවන්නේ ඒ අනුවය. කොටකෙතන ගම්මානයට නිදහසේ හුස්ම පොදක් හෙළන්නට අද අවස්ථාව ලැබී ඇත්තේ සී.ඩී. නිසාය. එසේ නොවන්නට සැබෑ ඝාතකයා සූදානම්ව සිටියේ තවත් කාන්තාවන් හය හත්දෙනෙක්ම මරා දමා සිය පිපාසය සංසිඳුවා ගෙන නිහඬ වන්නටය.
මෙරට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් ගැන විවිධ ආයතන විවිධ සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරයි. මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූවන් සිටින්නේ 50000ක් බව පොදු පිළිගැනීමය. සැබෑ දත්තයන් නොමැති වූවත් සී.ඩී. අපේ රටේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් අසූ දහසක ලැයිස්තුවක් පසුගිය දා සකස් කළේය. ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සමග එක්වය. එම ලැයිස්තුවේ මත්කුඩු භාවිතා කරන්නන්ගේ නම ගම ජාතික හැඳුනුම්පත් අංකයද සටහන් වී තිබීම විශේෂත්වයකි. මේ ලැයිස්තුව මත්ද්‍රව්‍ය කාර්යාංශය යොදා ඔහු සකස් කරන්නේ අපේ රටේ පොලිස් ස්ථානවලට වසරක කාලයක් තුළ මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණු පුද්ගලයින් අනුසාරයෙනි. පළාත් වශයෙන්, දිස්ත්‍රික්ක වශයෙන් මෙන්ම ගම්මාන වශයෙන්ද දැන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ලැයිස්තුවක් ඇත්තේ ව්‍යාජ සංඛ්‍යා දත්තකරුවන්ට තවදුරටත් බොරුවෙන් ජීවත්වන්නට ඉඩක් නොතබමිනි.
මේ සී.ඩී. පොලිස් දෙපාර්තමේන්තුව තුළ කළ නිහඬ විප්ලවයන්වලින් කිහිපයක් පමණි. කොවිඞ් 19 වෛරස ආසාදතයෙක් හමුවූ විට එම ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයින් පසු පස හඹායාමේ ක්‍රමවේදය සී.ඩී.ගේ තවත් එක් නිහඬ විප්ලවයක් පමණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්ත සඳහන් කරන ආකාරයට අනුව සී.ඩී. මේ සැලසුම සකස් කරන්නේ කොවිඞ් 19 වෛරසය මෙරටට ඇතුළුවීමටත් මත්තෙනි. මෙරටින් කොවිඞ් 19 ආසාදිත පළමු රෝගියා ලෙස චීන ජාතික කාන්තාව හමුවනවාත් සමග පොලිස් බුද්ධි අංශ ක්‍රියාත්මක වෙමින් ඇය ඇසුරු කළ සහ ඇය ආගිය තැන් සියල්ලක්ම සී.ඩී. ගේ පූර්ව සැලසුම නිසා පහසුවෙන්ම අනාවරණය කර ගැනීමට හැකිවූ බව ජාලිය සේනාරත්න සඳහන් කරයි.
එය එතැනින් හමාර වන්නේ නැත. කොවිඞ් 19 වෛරසය ආසාදිත වූවන්ගේ ලැයිස්තුවක් මෙන්ම ඒ අය ඇසුරු කළ සහ ආසාදිතයන්ට ස්පර්ශ වී ස්වයං නිරෝධායනයට යොමු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් වාර්තාද පොලීසිය සකස් කරයි. ඒ අනුව ස්වයං නිරෝධායනයට ලක්වූවන්ගේ සහ ස්වයං නිරෝධායනය වෙමින් ඇති 65000කට අධික පිරිසකගේ ලැයිස්තුවක් පොලිස් මූලස්ථානයේ ඇතැයිද ජාලිය සේනාරත්න සඳහන් කරයි.










