කොවිඞ්-19 වසංගතයේ ප‍්‍රතිවිපාක ජයගැනීමට බහුපාර්ශවීය ප‍්‍රයත්නයන්ට පූර්ණ සහය ලබාදෙන බව නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ජනාධිපති ගෝඨාභයරාජපක්ෂ මහතා අවධාරණය කළේය.
වත්මන් නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ සභාපති, අසර්බයිජානයේ ජනාධිපති ඊලම් අලියෙව්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) මෙම සමුලුව පැවැත්වුණු අතර කොරෝනා වයිරසය හේතුවෙන් වීඩියෝ සම්මන්ත‍්‍රණයක් ලෙස මෙම රැස්වීම සංවිධාන කර තිබිණ.
ජනාධිපතිවරුන් 19 දෙනෙකු, උප ජනාධිපතිවරයෙකු, අග‍්‍රාමාත්‍යවරුන් 06 දෙනෙකු සහ විදේශ අමාත්‍යවරුන් 08 දෙනෙකු ඇතුළු රටවල් 40 ක නියෝජිතයින් ඊයේ මෙම වීඩියෝ සම්මන්ත‍්‍රණය අමතා තිබිණ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සම්මන්ත‍්‍රණය අමතනු ලැබුවේ මෙරට වේලාවෙන් රාතී‍්‍ර 07:09 ට පමණය. 17 වන දේශකයා ලෙස ජනාධිපතිවරයා එම සම්මන්ත‍්‍රණය අමතමින් කියා සිටියේ කොවිඞ්-19 වසංගතය පරාජය කිරීම සඳහා එකිනෙකා සතු අත්දැකීම් සහ හැකියාවන් මෙන්ම උගත් පාඩම් බෙදාගැනීමට සාමූහික ගෝලීය කි‍්‍රයාමාර්ගයක් වෙනුවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුව වැදගත් වේදිකාවක් බවයි.
මෙම වසංගතය මර්දනයට පෙරමුණ ගෙන සේවය කරන සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සහ වෙනත් අත්‍යවශ්‍ය සේවක පිරිස් දක්වන කැපවීම සහ පරිත්‍යාගශීලී ගුණය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රසාදයට ලක්වුණ අතර මෙම වසංගතය පාලනය කිරීමටත්, ක‍්‍රමයෙන් තුරන් කිරීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටින බවත්, මෙරට සිදු කෙරුණු PCR පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ සියයට 03 ක ප‍්‍රතිශතයක් පමණක් බවත් ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.
එමෙන්ම මෙරට කොරෝනා මරණ අනුපාතය සියයට 0.97 ක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් ප‍්‍රකාශ කළේය.
ති‍්‍රවිධ හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, රෝගීන් හඳුනා ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය යෙදවීම, කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පිරිස් හඳුනාගැනීමට පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීම මෙම වෛරසයේ පාලනයට බෙහෙවින් ඉවහල්වූ බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම වසංගතය හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් පෙර නොවූ විරූ පරිමාණයේ ආර්ථීක හා ණය අර්බුදයකට ගොදුරු වී ඇති බව කණස්සල්ලෙන් යුතුව සඳහන් කළ යුතු බව කී ජනාධිපතිවරයා අවදානමට මුහුණ පා ඇති රටවලට ණය සහන සේවා සහ වඩා පුළුල් මූල්‍ය ප‍්‍රතිපාදන සපයන ලෙස අන්තර්ජාතික මූල්‍ය ආයතන සහ ආධාර සපයන රටවල් වෙත ගෝලීය ආයෝජනයක් කළ යුතු බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. ඒ සඳහා ශ‍්‍රී ලංකාව ද එක්වන බව ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.
කොවිඞ්-19 වසංගතය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ඇති අත්දැකීම් සහ එය පාලනය කිරීමේදී ලබාගත් ජයග‍්‍රහණ සාමාජික ජාතීන් සමග බෙදාගැනීමට ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතමින් වැඩිදුරටත් අවධාරණය කළේය.










