‘අපි නොදන්න ලයිව්’ ප්‍රහසන වැඩසටහන හරහා අතිශය ජනාදරයට පත් ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූටියුබ් චැනලය වන Chooty Malli Podi Malli වෙත නවතම ප්‍රහසන වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ‘අමුතු හඳහන් බලන්නා’ ලෙස නම්කර ඇති එම වීඩියෝවේ ඇති විනෝදාත්මක බව නිසාම, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එය මෙලෙස ඉදිරිපත් කරමු. (Sri Lanka Latest News)
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. එයා හඳහන් බලන්නේ අමුතු විදියකට. ඔන්න දැන් එක්කෙනෙක් ඇවිල්ලා එයාට කියලා හඳහන බලාගන්න.
ආ… එන්න… එදා ඇවිල්ලා ඇපොයින්මන්ට් එක දාපු කෙනා නේද?
ඔව් ඔව්.
හඳහන අරගෙන ආවද?
ඔව් ගෙනාවා.
මට අවශ්‍ය වෙනවා ඔයාගේ බ්ලඩ් රිපෝට් එක එහෙම.
මේක ලිපිඩ් ප්‍රොෆයිල් එක. ෆාස්ටින් බ්ලඩ් ෂුගර් එක ගෙනාවා. ෆුල් බ්ලඩ් කවුන්ට් එකත් ගෙනාවා.
බොහොම හොඳයි. ලග්නය වෘෂභ නේද?
ඔව්.
මෙහෙමයි. දැන් ඔයාගේ විදියට ඔයාට සෙනසුරු ඒරාෂ්ටකයක් තියෙන්නේ. ඒක දන්නවද? සෙනසුරු ඒරාෂ්ටකයේ විදියට බලන්න. තනිකරම ෆාස්ටින් බ්ලඩ් ෂුගර් වැඩීයිනේ. හොඳටම වැඩියි. ෆාස්ටින් මෙහෙම වෙනවා කියන්නේ මේ තත්ත්වය යටතේ සෙනසුරු ඒරාෂ්ටකයක් කියන්නේ බොහොම භයානක කාලයක් ගෙවෙන්නේ. මේ තත්ත්වෙට සීනි පාලනය නොකර හිටියොත් ඔයාට කෝමා තත්ත්වයක් එන්න පුළුවන්. ඔයා දන්නවද විෂ්ණු දෙයියන් බට කොළ කෑවා කියලා කතාවක් තියෙනවා?
ඔව් අහලා තියෙනවා.
ඒ තත්ත්වෙක ඔයා ඉන්නේ.
මටත් බටකොළ කන්න වෙයිද?
බටකොළ කන්න ඉන්න පුළුවන් වෙයිද දන්නේ නෑ. බලන්න කොලොස්ටරෝල් ලෙවල් එක හාට් එකට බලපානවනේ. හාට් ඇටෑක් එකකට පවා එන්න පුළුවන් තත්ත්වයක්. මම බොරු කියන්නේ නෑනේ. මේවායින් පරිස්සම් වෙන්න. තෙල් කෑම කන්න එපා. ඊළඟට සීනි පාලනය කරන්න මහත්මයා. මේ හඳහනට අනුව ඔයා වැඩි කාලයක් නිරෝගීව ඉන්න නම් මේවා බලාගන්න. නැත්නම් ලේසි වෙන්නේ නෑ. ඉතාම නරකයි. තේරුණාද?
මම ආවේ හඳහන බලාගන්න. රිපෝට් එක කියෝගන්න නෙවෙයි.
හඳහනට අනුව තමයි මම ඔයාට කිව්වේ. මම නිකන් උඩින් පල්ලෙන් කියන්නේ නෑ. සාක්ෂි සහිතව කියන්නේ…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. එයාට කියලා හඳහන බලාගන්න තවත් කෙනෙක් ඇවිල්ලා.
ආ… එදා ඇපොයින්මන්ට් එක දාපු කෙනා නේද?
ඔව්.
මාස 6ක බෑන්ක් ස්ටේට්මන්ට් එක ගෙනාවද?
ඔව් ගෙනාවා මේ තියෙන්නේ.
කන්ෆර්මේෂන් ලෙටර් එකත් ගත්තා නේද?
ඔව් තියෙනවා.
කෝ දෙන්න හඳහන. එදා මම කිව්වා නේද? රාහුගේ මහ දශාව යන්නේ කියලා. ඒකෙදී ඔළුව නැතුව වැඩ කරන්නේ. ඔයා අහලා නැද්ද කියමනක් තියෙනවා රාහු ඇවිද්දවනවා කියලා. රාහුට ඔළුවක් නැත. තේරුණාද? එතකොට ඔළුවක් නැති ස්වරූපයෙන් තමයි මේ වෙලාවේ වැඩ කරන්නේ. ආර්ථික ප්‍රශ්න එන එකනේ නෝනයි ඔයයි එදා ඇවිල්ලා කිව්වේ. ඒක මනාව ඔප්පු වෙනවනේ. මට ඔයාගේ පර්ස් එක පොඩ්ඩක් බලන්න පුළුවන්ද තරහා නැතුව.
ඔව් පුළුවන්.
මේ ඔක්කොම ක්‍රෙඩිට් කාඩ්නේද?
ඔව්.
ඒක තමයි ප්‍රශ්නේ. වියදම 100යි. ආදායම 50යි. තේරුණාද?
නෑ, ආදායම ලක්ෂ 2ක් හම්බවෙනවනේ.
ලක්ෂ 2ක් හම්බවෙනකොට වියදම ලක්ෂ 4ක්. ඒකනේ මේ ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙනල්ලා කාලා තියෙන්නේ. ලක්ෂ 2 දවස් 12ක් යද්දී ඉවරයි. එතන ඉඳලා වැඩිපුර ණයට යන්නේ. හරියට ලංකාවේ හඳහන වගේම තමයි ඔයාගේ හඳහනත්. ආදායමයි වියදමයි බැලුවාම බැලන්ස් වෙන්නේ නෑ. රාහුගේ අපලේ තමයි මහත්තයට තියෙන්නේ. තේරුණාද?
ඕක කිව්වේ කේන්දරේ බලලලද, බෑන්ක් රිපෝට් එක බලලද?
දෙකකම බලලා ඇනලයිස් කරලනේ කියන්නේ….
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. මේ අමුතු හඳහන් බලන්නා ගාවට ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හඳහන බලාගන්න ඇවිල්ලා.
එන්න මල්ලි.
මගේ කේන්දරේ බැලුවද? මම එදා දීලා ගියා.
මම කිව්වනේ සති දෙකක් දෙන්න කියලා. මම කිව්වා නේද ඔයාට තියෙන ප්‍රශ්න ටික. මම බැලුවා. බ්‍රහස්පති මහ දශාව තමයි මේ ගෙවෙන්නේ. මම ඒක ‘ක්‍රික් ඉන්ෆෝ’ එකේ බැලුවා. ස්ලිප් බෝඩ් එකට තමයි කැච් එක දෙන්නේ. මැචස් 10ක බැලුවාම 6කම ස්ලිප් බෝඩ් එකට කැච් එක දෙන්නේ. ඒ කියන්නේ එළියේ යන බෝලෙට බැට් එක දානවා. බ්‍රහස්පති මහ දශාවෙන් තමයි ඒක ඔයාට කියන්නේ.
ඒ කියන්නේ බ්‍රහස්පති තමයි බැට් එක දාන්නේ?
බ්‍රහස්පති නෙවෙයි ඔයා දාන්නේ. නමුත් ඔයාට බැට් එක දාන්න හිතෙන්නේ එතැනින්. අනිත් එක ඇවරේජ් එක බැලුවාම, ඔයාට ඇවරේජ් තිබුණට මේ මැච් 10 මුල් ටිකේ හොඳට ගැහුවා. ඊට පස්සේ දිගටම ෆේල්. ඔන්න එකක මැදදී ගැහුවා. ආයෙත් ෆේල්. මේ කාලේ ඇවරේජ් එක පල්ලෙහා තියෙන්නේ. ඔයාගේ කන්සිස්ටන් මදි මල්ලි. අනිත් එක සිකුරුත් ඔයාට බලපානවා පුතා. ඔයාගෙ කොන්සන්ටේ්‍රෂන් බහිනවා සිකුරු බලපානකොට. දැනුත් මං බලාගෙන හිටියේ ෆෝන් එකට එනවා නේද හාට් එහෙම මැසේජස්.
හාට් නම් එනවා ඉතිං.
වැඩිපුර හාට් එන්න එන්න සිකුරුගෙ බලපෑම හාට් එකත් එක්ක එනවා. සල්ලියි, ජනප්‍රියත්වයයි එනකොට ඒවා එනවා. ඒකත් එක්ක ඔයාගේ කොන්සන්ටේ්‍රෂන් බහිනවා. ඒ නිසා මේකෙන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මම කියලා දෙන්නම් ඒක. එළියේ වැටෙන බෝලෙනුයි හාට් එවන එකෙනුයි පරිස්සම් වෙන්න ඕනේ පුතා…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. ඔන්න මේ අමුතු හඳහන් බලන්නා දැන් තවත් හඳහනක් බලන්නයි සූදානම.
ආ… වාඩිවෙන්න මහත්තයා. මට මූලික වශයෙන් දවස් දෙකක් ඕනේ කියලා මම ඔයාට එදා කිව්වනේ නේද?
ඔව්.
එදා ඔයා කිව්ව විදියට ගෙදර අඬදබර නේද?
ඔව් ඔව්. මෙහෙමයි. මම කොච්චර හම්බකළත් එයාට මදි.
ඕක ගැන මම බැලුවා. ඔතන අඟහරුගේ දෝෂය තියෙන්නේ. අඟහරුගේ බලපෑමක් ඔතන තියෙනවා. නෝනත් එක්ක තමයි ප්‍රශ්න නේද?
ඔව්.
නෝනගේ නම කොහොමද ෆේස්බුක් එකේ තියෙන්නේ?
වජිරා රණතුංග කියලා.
වජිරා රණතුංග. මේ අයගෙන් කවුද, මෙයාද?
ඔය දෙවැනියට ඉන්නේ.
මේ කොන්ඩේ පාට කරලා ඉන්න කෙනාද?
ඔව්.
ටික්ටොක් එහෙමත් තියෙනවා නේද එයාට. හරි හරි. දැන් මේ අඟහරුගේ බලපෑම පේනවද? බලන්න මෙතන ටික්ටොක් කරපුවම කීයක් තියෙනවද කියලා. තනිකරම අඟහරුගේ බලපෑම තමයි මේකෙ තියෙන්නේ.
අඟහරු තමයි ටික්ටොක් කරන්නේ නේද?
නෑ, නෝනා කරන්නේ අඟහරුගේ බලපෑම නිසා.
අඟහරු කරවනවද?
ඔව්. මේ බලන්න. සැලුන් එකට ගිහින් ගත්ත පින්තූර. බිෆෝ ආෆ්ටර් කියලා දාලා තියෙන්නේ. කොන්ඩේ වෙනස් කරලා. මේකෙ විදියට ගත්තොත් රුපියල් 35,000ක් වත් මෙතන වියදම් වෙන්න ඕනේ. නියපොතු, කොණ්ඩ ඔක්කොම වෙනස් කරගෙනනේ. මේකෙන් මොකක්ද කියැවෙන්නේ? මෙහෙම වෙන්නේ සිකුරුගේ බලපෑමක් තියෙනවා ඔයා නොදන්නවා වුණාට. තේරුණාද මම කියන එක? සිකුරුගේ බලපෑම නිසා දැන් ඔයා මදිවෙලා තියෙන්නේ. තේරුණාද මහත්තයට?
හා හා…
නෝනට මහත්තයා මදිවෙලා. සිකුරුගේ බලපෑමෙන් වෙන ග්‍රහයෙක්ගේ ඇල්ම බැල්ම මෙතනට වැටෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. වෙන කොහේ හරි යන ග්‍රහයෙක්ගේ ඇල්ම බැල්ම වැටෙන නිසා තමයි…
ඒ ග්‍රහයව කේන්දරෙන් බලන්න බෑ නේද?
නෑ. ඒකට ඔයා පොඩ්ඩක් ෆලෝ කරලා බලන්න. නැත්නම් කාව හරි යවන්න…
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. අමුතු හඳහන් බලන්නා ගාවට තවත් කෙනෙක් ඇවිත්.
වාඩිවෙන්න මහත්තයා. එන්න එන්න අසනීපෙ වැඩිවෙනවා නේද?
ඔව්.
මම මහත්තයට එදා කිව්වා. මෙතන ග්‍රහයෝ නීච වෙලානේ තියෙන්නේ. ඔක්කොම වගේ නීච වෙලා තියෙන්නේ.
ආ…
විශේෂයෙන් ඔයාගේ සෙනසුරු ඒරාෂ්ටකයක් යන වෙලාවේ ග්‍රහයෝ නීච කරගන්නවා කියන එක ඉතාම නරකයි. ලිවර් ෆන්ෂන් ටෙස්ට් එක ගෙනාවද?
ඔව් ගෙනාව.
ඒ දෙකම මට දෙන්නකො බලන්න හඳහනත් එක්ක.
ආ… මෙන්න.
මේ තියෙන්නේ, පේනවද ඔයාට මේ ග්‍රහයෝ ඔක්කොම නීච වෙලා කියලා. මේක අනුව ඔයාට සිරෝසීස්නේ. අත් දෙක මෙහෙම කෙළින් කරන්න. වෙව්ළනවනේ…. පොඩ්ඩක් ළඟට එන්නකො. ඔය එන්නේ සැර.
ඊයේ ඒවා…
ඊයේ ඒවා තමයි. ඒක තමයි කියන්නේ. ඕක වෙන්නේ. ඊයේ එක බඩේ පැහෙනකොට තමයි උඩට ගහන්නේ. තේරුණාද? ඒකෙන් තමයි ඔය නීච වෙන්නේ. ඕක ඔය විදියට ගියොත් ඔයාට මොකද දන්නවද වෙන්නේ? ඕකේ ෆන්ෂන් එක නතර වෙච්ච ගමන් මුත්‍රා එක්ක ප්‍රෝටීන් පිටවෙන්න ගන්නවා. ඊට පස්සේ ඇස් කහවෙලා එහෙම්මම වැඩේ ලෙඩේ වෙනවා. ඒ හින්දා පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? අනිත් එක ඔයාගේ ලිවර් එකත් එන්ලාර්ජ් වෙලා තියෙන්නේ. සේරම ග්‍රහයෝ නීච වෙලා ඉන්නෙ ඈ….
නෝනාවරුනි මහත්වරුනි, අද කතාව ‘අමුතු හඳහන් බලන්නා’. ඔන්න දැන් ඇවිත් ගායකයෙක් එයාගේ හඳහන බලාගන්න.
එන්න එන්න… හඳහන ගෙනාවද?
ඔව් ගෙනාවා.
මම එදා කිව්වා නේද රාහුගේ අපලයක් ඇත්තේ කියලා.
ඔව්.
රාහුගෙත් තියෙනවා. චන්ද්‍රයා ඉන්නේ පොඩ්ඩක් වැරැදි තැනක. රවිගේ බලපෑමක් මෙතන පෙන්නුම් කරනවා. ඒ ඔක්කොම චුට්ටයි එහාට මෙහාට වෙලා තියෙන්නේ.
චන්දරේ මගේ යාළුවනේ. මිනිහත් ගායකයනේ.
චන්දරේ නෙවෙයි චන්ද්‍රයා. දැන් බලන්න පහුගිය ටිකේම ෂෝස් තිබුණා නේද?
ඔව්.
දැන් මේ ග්‍රහයෝ ටික ළංවෙලා ඉන්නේ. ග්‍රහයෝ ටික ළංවුණාම ඔයා හිතනවා දැන් වැඩේ හරි කියලා. මේ ග්‍රහයෝ ළං වෙන්නේ එච්චර හොඳකට නෙවෙයි.
හා හා….
ඕනෙම කෙනෙක් ඔහොම ජනප්‍රිය වෙනකොට ග්‍රහයෝ ටික ළංවෙනවා. හැබැයි හිතන් ඉන්න එපා ග්‍රහයෝ ඔයාට ළං වෙන්නේ හොඳකට කියලා. ඒ ළං වෙන්නේ වාසියට. විශේෂයෙන් මේ ග්‍රහයෝ ටික. මම බැලුවා ඔයා කරපු ට්‍රැක්ස් ටික. ඒ සින්දු ඔක්කොම එක වගේනේ. අලුත් මෙලඩිවලට අලුත් අය ගාවට යන්න. තේරුණාද? එකම එක්කෙනා අල්ලගෙන එයාගෙන්ම මෙලඩි කරලා, එක්කෙනාම සින්දු කරන්න ගත්තාම සින්දු ටික කාලයක් යද්දී එක වාගේ වෙනවා. ඒකෙන් තමයි ඔයාගේ රේටින් බහින්නේ. ඒක නිසා විශේෂයෙන්ම රාහුගෙන් පරිස්සම් වෙන්න ඕනේ…. තේරුණාද….?









