යාපනයේ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් අද යාපනය නගරයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසළ දී උද්ඝෝෂණයක නිතර වූ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම තරුණයන්ගේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම ස්ථානයට පැමිණියේය. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සක්වල සුහුරු පන්ති කාමර සහ බස් රථ ලබා දීමේ වැඩසටහන් කිහිපයක් සඳහා මේ දිනවල යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවන අවස්ථාවේ දීය.Sri Lanka Latest News
උතුරු පළාත තුළ රැකියා විරහිත උපාධිධාරීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් සිටින බවත් එම උපාධිධාරීන්ට රජයේ රැකියාවක් හෝ ස්වයං රැකියාවක් සිදු කිරීම සඳහා සහනදායී ණය පහසුකමක් ලබා දෙන ලෙස ද ඔවුන් එහි දී විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තමා සක්වල බස්රථ සහ සුහුරු පන්ති කාමර ලබා දීම සඳහා යාපනයට පැමිණි අවස්ථාවේ දී මෙම උද්ඝෝෂණය දැක අහම්බෙන් නැවතුණු බවත් තමා මෙහි පැමිණියේ දේශපාලන ලකුණු දමා ගැනීමට නොවන බැවින් ඔවුන්ගේ සියලු ගැටලු ඊළඟ පාර්ලිමේන්තු රැස්වීමේ දී රජයේ අවධානය යොමු කර රජයේ පිළිතුරු ලබා ගැනීමට කටයුතු කරනා බවත් ය.
එසේ ම මෙරට තුළ දළ වශයෙන් උපාධිධාරීන් 50000ක්, 60000ක් පමණ සිටින බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ කළ හැකි පැහැදිලි විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනා බවත් ඔවුන්ට රජයේ රැකියාවක් හෝ ව්‍යවසායකත්වයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක ප්‍රධාන අරමුණ වී ඇත්තේ නව ව්‍යවසායන් මිලියනයක් බිහි කිරීම බවයි.
එසේම ආබාධිත තත්ත්වයන්ගෙන් පෙළෙන උපාධිධාරින්ට කිසිදු වෙනස්කමකින් තොරව ගමට රටට සේවය කිරීමේ අවස්ථාව ලබා දෙන බවත් ඔවුන්ගේ හැකියාවට දැනුමට නිසි තැනක් ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.
තව ද සිංහල ද දමිළ මුස්ලිම් ද බර්ගර් ද වැනි දේවල් මෙන්ම ආගම ජාතිය කුලය පැත්තකට දමා බංකොලොත් වී ඇති රට ගොඩ ගැනීමට එක මවකගේ දරුවන් සේ අත්වැල් බැඳ ගෙන කටයුතු කිරිමට එක්වන ලෙසත් ඒ සඳහා තමා නායකත්වය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී කියා සිටියේය.
මෙහි දී එම ස්ථානයේ සිටි උද්ඝෝෂණකරුවන් කියා සිටියේ රැකියා නොමැති වීම නිසා බොහෝ උපාධිධාරීන් විදේශගත වීමක් සිදුවන බැවින් මෙම බුද්ධිගලනය නැවැත්විමට කටයුතු කරන ලෙසත් එවිට ඔවුන්ගේ දායකත්වය ද රට සංවර්ධනය කිරීමට යොදා ගත හැකි බවයි.


















