ඉරාන ජනාධිපතිවරයාගේ මරණයත් එක්ක ශෝකය පළකරන්නට අපේ රටේ ඉන්න ප්‍රබලයෝ කිහිප දෙනෙක්ම මෙරට ඊශ්‍රායල තානාපති කාර්යාලයට ගියා. මේ තානාපති කාර්යාලය ඇතුළෙදී අපි ශෝකය පළකළා. ශෝක පණිවුඩ නිකුත් කළා. ශෝකය වෙනුවෙන් සටහන් තිබ්බා. ඒ අතරතුරේ කතාබහට ලක්වෙනවා අනුර කුමාර දිසානායක මහත්තයා විසින් ෆෝන් එකක් බලාගෙන තමන්ගේ පණිවුඩය ලිව්වා කියලා. අනුර කුමාර දිසානායක මහත්තයට එහෙම ෆෝන් එකක් බලාගෙන කතාවක් ලියන්න කිසිම තහනමක් නෑ. ලියුවා කියලා ඒක එතුමාගේ දුර්වලකමක් බවට පත්වෙන්නෙත් නෑ, බොහෝ වෙලාවට පුද්ගලයෙක්ට තමන්ට අවශ්‍ය විදියට තමන්ගේ පණිවුඩය ගළපගන්න බැරි නම් සමහර වෙලාවට තව කෙනෙක් එවන පණිවුඩයක් පළකරනවා. නැත්නම් පක්ෂයක් විදියට ඔවුන් විසින් එකඟතාවට ආපු පණිවුඩයක් නම් පළකළ යුතුව තිබුණේ ඔහු ඒක පළකරන්න ඕනේ. ඒකේ කිසිම කතාවක් නෑ. ඒ සම්බන්ධව විවිධ අය විවිධ කතා කිව්වත් අපි කියන්නේ එහෙම කලබල විය යුතු දෙයක් නෙවෙයි. එතුමාට අවශ්‍ය විදියට එතුමා ඒක කළා. ඒ ගැන තර්ක විතර්ක ඇතිකරමින් ප්‍රශ්න ඇතිකරන්න අවශ්‍යතාවක් නෑ. හැබැයි මේක ඇතුළේ කියැවුණු කතාවක් එක්ක අපි තවදුරටත් ඉදිරියට යන්න තීරණය කළා. ඒකට හේතුව ඉංග්‍රීසි භාෂාව කියන එක. අපි කියන්නේ නෑ අනුර කුමාර දිසානායක මහත්තයා ඉංග්‍රීසි භාෂාව දන්නේ නෑ කියලාවත්, එතුමා ඉංග්‍රීසි භාෂාව නොදන්න නිසා මේක කොපිකරලා ලියුවා කියලාවත්, ඉංග්‍රීසි නිසා ඔහු අනෙක් අය අතර තරගයෙන් දෙවැනියා වෙනවා, තුන්වැනියා වෙනවා කියලාවත් නෙවෙයි මේ කියන්න හදන්නේ. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ඒ කතාවත් එක්ක එළියට ආපු කාරණේ අපි තවදුරටත් සාකච්ඡා කළ යුතු නිසා. (Sri Lanka Latest News)
ඉංග්‍රීසි භාෂාව කියලා කියන්නේ මිනිස්සු උගත යුතු දෙයක්ද නැද්ද කියන එක ගැන කතාබහක් තියෙනවා. සමහර වෙලාවට ලංකාවේ ඉන්නවා ඉංග්‍රීසි විතරක් දන්න අය. ඒ අයට සිංහල බෑ. සිංහල බෑ කියන එක ගැන ආඩම්බර වෙනවා. දරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වලා නහය කට කියන එකවත් සිංහලෙන් කියාගන්න බැරි තරමටම ඒ දරුවෝ දියුණු වෙලා කියලා සමහර මවුපියෝ හිතනවා. අපි විශ්වාස කරන්නේ ඒක නොදියුණුකමක් කියලයි. මවු භාෂාව නොදැන සිටීම හෝ මවු භාෂාවෙන් කතාකරන්න බැරිවීම, මවු භාෂාවෙන් ආමන්ත්‍රණය කරන්න බැරිවීම, මවු භාෂාව වහරන්නට බැරිවීම කියලා කියන්නේ අතිශය අසාර්ථකකමක්. රටක පුරවැසියෙක්ට තමන්ගේ මවු භාෂාව භාවිත කරන්න හැකියාව තිබිය යුතුයි. ඔහුට මවු භාෂාව ඉගැන්විය යුතුයි. ඔහුට මවු භාෂාව පිළිබඳ සාමාන්‍ය පුද්ගලයකුට වඩා දැනුමක් තිබිය යුතුයි. පුද්ගලයෙක්ට මවු භාෂාව පිළිබඳ තිබෙන දැනුමට අපි කියනවා භාෂාත්මක ශක්‍යතාව කියලා. එතකොට මවු භාෂාව පිළිබඳ ඔහු සතු දැනුම එම මවු භාෂාවම ඉගෙන ගන්නා වෙනත් පුද්ගලයකු තුළ නැති බවත් ඔබ දැනගත යුතුයි. ඒ කියන්නේ උදාහරණයක් විදියට ශ්‍රී ලාංකිකයකු නොවන අයෙක් සිංහල භාෂාව ඉගෙන ගත්තට ඔහුට භාෂාත්මක ශක්‍යතාව ඇතිවෙන්නේ නෑ. සමහර වචනවල තියෙන ගලායෑම ඔවුන්ගෙන් ගිලිහිලා යනවා. ඒ නිසා භාෂාව කියලා කියන්නේ විචිත්‍රවත් දෙයක්. ලස්සනට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්.
රටේ මිනිස්සු ඉංග්‍රීසි භාෂාව කතාකරන්න ඉගෙනගෙන තියෙන්න ඕනේ කියන එක, දරුවන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාගෙන තිබිය යුතුයි කියන එක මේ වෙලාවේ හොඳ තර්කයක්. ඇත්තටම අපි හිතනවා රටක දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. සජිත් ප්‍රේමදාස මේ වෙනකොට ස්මාර්ට් ක්ලාස්රූම් බෙදාදෙමින් විශ්වයට දරුවන්ගේ ජීවිත විවර කරන්න පුළුවන් විදියට මඟ පාදද්දී අපි ගොඩ දෙනෙක් ඒවට හිනාවුණා. ඔහු කරන වැඩ සම්බන්ධයෙන් බොහෝ දෙනකුට යම් යම් තර්ක තිබුණා. නමුත් ඇත්ත කතාව තමයි රටේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදිය යුතුයි. ඉංග්‍රීසි අධ්‍යාපනය කියන සංකල්පය අතිශය වැදගත් සංකල්පයක් බව අපි හැමෝම සිහියේ තියාගන්න ඕනේ. පහුගිය කාලේ මේ ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඇත්තටම සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කරලා, ඉංග්‍රීසි භාෂාවට අපි දෙවැනි තැන දීලා, ඉංග්‍රීසි ඉගෙන ගැනීම අනවශ්‍ය දෙයක් බවට සංකල්පයක් ඇතිකිරීම හරහා තමයි අපිට මේ ඉංග්‍රීසි අධ්‍යාපනය නැතිවුණේ. ඉතින් රාජ්‍ය නායකයන්ට පවා මේ ප්‍රශ්නය ආවා. ලංකාවේ හිටපු සමහර රාජ්‍ය නායකයන්ට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. අපි දකිනවා ලංකාව නියෝජනය කරන සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රීඩා පිටිවලදී ඉංග්‍රීසියෙන් කතාකරගන්න බැරුව යන හැටි. අපි කරන්න ඕනේ අපේ දරුවන්ට සිංහල අධ්‍යාපනය නොදී ඉන්න එක නෙවෙයි.
අපි දන්නවා ලංකාවේ බොහෝ වෙලාවට ජාත්‍යන්තර පාසල් කියලා ප්‍රමිතියකින් තොර පාසල් නිර්මාණය කරලා, ඒ දරුවන්ට සිංහල උගන්වන්නේ නැතුව ඉංග්‍රීසි විතරක් උගන්වනවා. අක්‍රමිකවත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් දීලා ඒ දරුවෝ ලංකාව ඇතුළේ අතරමං වෙන හැටි. හැබැයි විය යුත්තේ ඒක නෙවෙයි. ලංකාව ඇතුළේ අතරමං නොවෙන, ලෝකය තුළත් අතරමං නොවෙන ජාත්‍යන්තර පුරවැසියන් නිර්මාණය කිරීම. ජාත්‍යන්තර පුරවැසියන් නිර්මාණය කිරීම තමයි සක්වල වගේ සංකල්පවලින් අපි දකින්නේ. ඉතින් මේ වෙලාවේ ඉංග්‍රීසි භාෂාවේ ඇති වැදගත්කම කතිකාවක් නිර්මාණය වෙන එක ඉතා හොඳයි. ජාත්‍යන්තර දැනුම කියන එක ගැන කතිකාවක් නිර්මාණය ඉතා හොඳයි. ඒ නිසා මේ සංකල්පීය දේවල් ඉතා ක්‍රමවත්ව සහ විචිත්‍රවත්ව ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක ජයග්‍රහණයක් කියලයි අපිට හිතෙන්නේ.

ජීවන පහන් තිළිණ









