සුලු ජාතික පක්ෂ නායකයන් කිසිවකුත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු නොවන බව පලනි දිගම්බරම් මහතා පැවසීය.
ඒ මහතා කියා සිටියේ රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, වී රාධාක්‍රිෂ්ණන් ඇතුලු කිසිදු පක්ෂ නායකයකු ජනාධිපතිවරයා සමග එක් නොවන බවති.
සමගි ජන බලවේගය ඇතුළේ මන්ත්‍රීවරුන් හතර පස් දෙනෙක් ජනාධිපතිවරයා සමග එක්විය යුතු බව කියා සිටියද ඔවුන්ද ආණ්ඩුවට එක් නොවන බව දිගම්බරම් මහතා කියා සිටියේය.
වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජය ගත හැකි ආකාරයක් පෙනෙන්නට නැති බවත්, සජිත් ප්‍රේමදාස මහතා නිසැක වශයෙන්ම ජනාධිපතිවරණය ජය ගනු ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපති ධූරයට පත් වූ දින සිටම ජනාධිපතිවරයා මුලින්ම සැලසුම් කර තිබුණේ සමගි ජන බලවේගයෙන් විශාල කණ්ඩායමක් ආණ්ඩුවට ගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමටය.
නමුත් ජනාධිපතිවරයාගේ එම සැලසුම සාර්ථක නොවූ අතර කිසිදු සජබ මන්ත්‍රීවරයෙක් ජනාධිපතිවරයා සමග එක්වූයේ නැත.
ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සැලසුම් වූයේ ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධකය වන සුලු පක්ෂ නායකයන් සජබයෙන් ගලවා තමන් වෙතට ගැනීමය.
ඒ සදහා පසුගිය සති කිහිපය තුළ විශාල මෙහෙයුමක්ද ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දියත් කොට තිබිණ.
නමුත් දිගම්බරම් මහතා කියා සිටියේ සියලුම සුලු පක්ෂ නායකයන් සමග තමන් සාකච්ඡා කළ බවත්, ඒ කිසිවකුත් ජනාධිපතිවරයා සමග එක්වීමට සූදානමක් නැති බවත්ය.
ඒ සියලු පක්ෂ නායකයන්ගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News









