අවුරුදු සමයේ රටෙන් හරි අඩක් දුප්පතුන් වී අවුරුදු මේසය පවා හරියාකාරව සකස් කර ගැනීමට නොහැකි වී ඇති බවත් විරැකියාව වැඩි වී කර්මාන්ත ශාලා වැසී යාම නිසා රටෙන් හරි අඩක් දැඩි පීඩනයකින් සිටින බවත් මේ රටේ 50%ක් කටුක දුක්ඛිත ජීවිතයත් ගත කරන විට හැමදේම හරි කියා කියන පිරිසක් සිටියත් මේ ස්ථායීකරණය ජනතාවට දුකක් ලබා දි ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
සමස්ත පාසල් දරුවන් සිටියදී ප්‍රාථමික දරුවන්ට පමණක් ආහාර ලබා දීම, දුප්පත්කම තුරන් කිරීමට වැඩපිළිවෙළක් නොමැති වීම, රැකියා නිර්මාණය කරන ආයෝජන නිර්මාණය නොවීම ඇතුළු සෑම අතකින්ම රට කඩා වැටී ඇති නිසා දුගී කම වර්ධනය වී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මිනිසුන්ගේ ජීවිතවලට මුහුණ දෙන අභියෝග වැඩි කර හැමදේම ස්ථායිකරණය වී ඇති බව පවසන බවත් තෙල් පෝලිම් නැති වුවත් ඉන්ධන භාවිතය අඩු වී ඇති බවත් ජනතාව අසහනයට පත්වීම තුළ පෝලිම් නැති බවත් වර්තමානයේ රටේ ඇත්තේ ජනතාවාදී පාලනයක් නොව තිරිසන් අමානුෂීයවාදී පාලනයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 156 වැනි අදියර යටතේ අද හම්බන්තොට සහිරා ජාතික පාසලට රුපියල් ලක්ෂ 11ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී විද්‍යාලයේ නර්තනය ඉගෙන ගන්නා සිසු සිසුවියන් සඳහා වන නර්තන ඇඳුම් උපකරණ ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. දෙරණ ලිට්ල් ස්ටාර් වැඩසටහනේ ලංකාවෙන්ම 4වැනි ස්ථානය ලබා ගත් දරුවකුට ලැප්ටොප් පරිගණකයක් ද ලබා දුන්නේය.
ඊළඟ අවුරුදු සමරන්නේ සංවර්ධන යුගයක
ඊළඟ අලුත් අවුරුද්ද සමරන්නේ IMF එකත් සමග සාකච්ඡා කර ජනතාවාදී මානුෂියවාදී ගිවිසුමක් සමග මේ රටේ ආර්ථිකය ගොඩනගන සංවර්ධන යුගය ආරම්භ කරමින් බවත් දැනටමත් IMF එකත් සමග මේ ගැන සාකච්ඡා කර ඇති බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ ආර්ථිකය සංකෝචනය කරන කුඩා කරන විසදුමක් නොව සැමට සුබසාධනය සෞභාග්‍ය උදා කරන ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවයි.
2019 වගේ නැවතත් පුහු වීරයක්ට රැවටෙන්න එපා
මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට පත් වනවාද කියා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමාගේ ජනතාවාදී වැඩ අවතක්සේරු කරන්නේ අමනෝඥයෝ
සමහර කණ්ඩායම් ජනතාවට වැඩක් කරන විට විවිධ ලේබල් අලවමින් සිටින බවත් බස් මෑන් යැයි තමාට ලේබල් අලවන අය මේ බස්වලින් සිදු වූ සේවාව ගැන සොයන ලෙස කියනා බවත් මේ බස් එක නිසා පාසල්වලට විශාල සේවාවක් සිදුවන බවත් අමනෝඥයෝ කොට්ඨාසයකට බස් රථ ලබා දීම විහිලුවක් සහ ඊර්ෂයාවක් වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කාඩ්බෝඩ් සමාජවාදීන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික පාසල්වලට
තමා පාසල්වලට අගයක් එකතු කරන විට එය බෙදිල්ලක් ලෙස කාඩ්බෝඩ් සමාජවාදීන් හැදින්වුවත් තමන්ගේ දරුවන් යන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට බවත් තමන්ගේ දරුවන්ට එසේ සැලකුවත් රටේ දරුවන්ට අගයක් එකතු කර ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන විට මහ පාරට බහින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ දූපත් මානසිකත්වයෙන් මිදෙමු
තමතමන්ට ඕන විදිහට සිංහල පමණයි දමිල පමණයි කියා දූපත් මානසිකත්වයෙන් සිටිනවාට වඩා ජාත්‍යන්තර ශ්‍රම වෙළෙද පොලේ ඉල්ලුමට සරිලන ලෙස විෂය නිර්දේශ නිර්මාණය විය යුතු බවත් තවදුරටත් වැහුණු සංවෘත රටක් නොවිය යුතු බවත් කණ්නාඩිය ඉදිරිපිට ජය වේවා කියන රටක අධ්‍යාපනය සාර්ථක නොවන නිසා අධ්‍යාපනයේ වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 156 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1702ක් වැය කර තිබේ.