කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ වෙනුවෙන් 2019 වසරේ ජනාධිපතිවරණය සමයේ පවා තමා යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ තමන්ට නමක් පටබැදුනත් ඉන් පසුව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හා එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කාන්තාවන්ගේ මෙකී සනීපාරක්ෂක මෙවලම් ලබා දීමේ වැඩසටහනකට අනුමතිය දුන් නමුත් මේ වන තෙක් ඒ සඳහා කිසිදු දෙයක් සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
ස්කොට්ලන්තය, නවසීලන්තය වැනි රටවල මෙම වැඩසටහන් ක්‍රියාත්මක වන බවත් මූල්‍ය ගැටලු ඇති මුත් පාසල් මට්ටමෙන් හෝ මෙය ක්‍රියාත්මක කරන ලෙසත් මෙය විශාල සෞඛ්‍ය ගැටලුවක් නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් කැපවිය යුතු යි
‘ඇයට ශක්තිය දැයට ප්‍රගතිය’ යන තේමාව යටතේ කාන්තාවන් බලගැන්වීමේ පරිවර්තනාත්මක බලය ගොඩනැගීමට යන ගමනට සුබ පතන බවත් ජාත්‍යන්තරව හා දේශීයව විවිධ එකඟතා, සම්මුතීන් සහ අවබෝධතා රැසකට ප්‍රවේශ වී ඇති බවත් මේ සම්බන්ධ ගිවිසුම් තිබුණත් එම ගිවිසුම් බලාත්මක කර කාන්තාවන්ගේ සංස්කෘතික, ආර්ථික, සමාජීය හා දේශපාලන අයිතීන් වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කාන්තා නියෝජනත්වය වැඩි කළ යුතුයි
කාන්තා නියෝජනත්වය යන්න දිගින් දිගට ම සාර්ථක කර ගන්න නොහැකි වූ බවත් පළාත් පාලන ක්ෂේත්රයේ 25%ක අනිවාර්ය කාන්තා නියෝජනයක් ක්‍රියාත්මක කර ජන සමාජයෙන් කොන්වූ කාන්තාව පෙරට ගෙන ඒමට දරපු ඒ උත්සාහය පළාත් සභා හා පාර්ලිමේන්තු ක්ෂේත්රයට ද ගෙන ආ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
පක්ෂ භේදයකින් තොරව කාන්තා අයිතිය වෙනුවෙන් කැපවෙමු
ජාත්‍යන්තර කාන්තා දිනයේ පමණක් නොව පැය 24ම දින 365 දීම නිවසේදී, මහමගදී, වැඩබිමේදී කාන්තාවන් හිංසනයට ලක් වන බවත් පාර්ලිමේන්තුවේ සේවය කරන කාන්තාවන් ද සමහර අවස්ථාවල දී හිංසනයට ලක් වී ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරමින් පක්ෂ භේදයකින් තොරව කාන්තාවන් වෙනුවෙන් කැපවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.










