කොටකෙතන ප්‍රදේශයේදී මවක් සහ දියණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට රත්නපුර මහාධිකරණය අද (19) මරණ දඬුවම නියම කළේය.Sri Lanka Latest News
මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය එලෙස මරණ දඬුවම නියම කළේ වසර 12ක දීර්ඝ නඩු විභාගයකින් පසුවය.
රත්නපුර, කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ ඝාතන පෙළ රටක් භීතියට පත්කරන්නට සමත්වුණි.
එය හැඳින්වුණේ කොටකෙතන ඝාතන රැල්ල නමිනි.
එම ඝාතන රැල්ලේ මව සහ දියණිය මරාදැමූ සිදුවීම් කිහිපයක් ද වාර්තාවූ අතර අදත් පුද්ගලයෙකුට මරණ දඬුවම හිමිවූයේ එවැනි සිද්ධියකටය.
2012 වසරේදී ජූලි 19 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී මෙලෙස ඝාතනයට ලක්වී තිබුණේ ලියනාරච්චිගේ ප්‍රේමවතී නම් හැටතුන් හැවිරිදි මවක් සහ හේවාගේ පුෂ්පාකුමාරි නමැති තිස්දෙහැවිරිදි අවිවාහක දියණියකි.
දියණිය දුෂණය කර තිබූ බවටත් එහිදී හෙළිවුණි.
එම ඝාතනයට අදාළව සැකකරුවන් සිව්දෙනෙකු කහවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණු අතර නීතිපතිවරයා විසින් එම සිව්දෙනාට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබීය.
ඉන් එක් අයෙක් රජයේ සාක්ෂිකරුවෙකු කෙරුණු අතර සෙසු තිදෙනා නිදොස්කොට නිදහස් කෙරුණි.
ඒ අනුව, ඝාතකයා කවුදැයි තහවුරු කරගැනීමට නොහැකි වීම මත කහවත්ත පොලීසිය සිද්ධියේ විමර්ශන යළි ආරම්භ කර තිබුණි.
කොටකෙතන ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයන් පිරිසක් අහඹු ලෙස තෝරාගෙන DNA පරීක්ෂාවට ලක් කෙරෙන්නේ ඒ අනුවය.
ඉන් එක් සැකකරුවෙකුගේ DNA සාම්පල කොටකෙතන ප්‍රදේශයේ සිදුවූ වෙනත් ඝාතන සිද්ධියකින් ලබාගත් සාම්පල සමග ගැළපී තිබේ.
ඒ අනුව, මෙම මව සහ දියණියගේ ඝාතනයට අදාළවද එම සැකකරුගේ DNA සාම්පල පරික්ෂා කෙරෙන අතර එහිදී එම ඝාතනයටද අදාළ සැකකරුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවුණු බව වාර්තාවුණි.










