පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී වී සහල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් (නිපුණ සහල් මුදලාලි) මහතා ඉලක්ක කොට වාචික ප්‍රහාරයක් එල්ලවීම අරලිය සහල් හිමිකරු වන හිටපු ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාගේ නොසතුටට හේතු වී ඇත.
ඩඩ්ලි සිරිසේන (අරලිය සහල්) සහ සිරිපාල ගම්ලත් (නිපුණ සහල්) යන මහත්වරුන් ලංකාවේ විශාලතම වී මෝල් හිමිකරුවන් දෙදෙනා වන අතර ලංකාවේ සහල් සැපයුමේ ප්‍රධානතම නියෝජිතයන් දෙදෙනා වන්නේද මොවුන්මය.
ඒ අනුව සිරිපාල ගම්ලත් මහතාට විවේචන එල්ල වීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අරලිය සහල් හිමිකරුවා වන ඩඩ්ලි සිරිසේන මහතා මෙම සටහන තබා තිබේ.
සිරිපාල ගම්ලත් මහතා (නිපුණ මුදලාලි) එතැන කරපු කතාවේ මාධ්යයේ ගිය කොටස මාත් ඇහුවා. එතුමා අවංක හා සාධාරණ අයෙක්. වැඩිම පිරිසකට උදව් කරන අයෙක්. ඒ කතාවේ දී උත්සාහ කරන්නේ ගොවියා වෙනුවෙන් පෙනී සිටීමට යි. ඒ වුණත් ඒ ප්‍රකාශය වැරදි විදිහට යි සන්නිවේදනය වන්නේ. එතැන හිටිය වැඩි ම පිරිසක් දන්නවා සිරිපාල ගම්ලත් (නිපුණ මුදලාලි) ගේ පරිත්‍යාගශීලිත්වය. ඔහු මාධ්‍ය සන්දර්ශන කරන්නේ නෑ.ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා යටතේ 1. වී අලෙවි මණ්ඩලය නැවත ගොඩනගන්නේ සිරිපාල ගමලත්ගේ විශේෂ මැදිහත් වීමෙන් හා කැපවීමෙන්. මේ වන විට ගොවියාට යම් තරමකින් හෝ සහනයක් ලැබෙන්නේ ඒ නිසයි. 2. කුඩා හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් රැකගැනීමට එතුමා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. 3. ඉස්සර පොළොන්නරු ප්‍රධාන මාර්ගයේ පූජාභූමිය පසු කරන විට දැනුණේ වී පල් කරපු පල්ගද. ඒ කාලේ එහෙම කරලා තමයි ඒ අය කන්ට දීලා තිබුණේ. ඒ ක්‍රමය වෙනස් කරලා තාක්ෂණික වශයෙන් වැඩිදියුණු කරපු යන්ත්‍රසූත්‍ර යොදාගෙන අපේ හාල්වලට අගයක් ලබාදුන්නේ නිපුණ මුදලාලි. 4. පසුකාලයක ගොඩනැගුණ ඇතම් සහල් ව්‍යාපාරිකයන් ගොවියන්ට, ප්‍රවාහන කටයුතුවල නිරත වූවන්ට ‘තග‘ දාලා පොළොන්නරුවේ වී ටික කොල්ල කනකොට නිපුණ මුදලාලි ඈත පළාත්වලට ගිහින් ඒ ගොවියන්ට සාධාරණ විදිහට සලකුවා. 5. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ආහාරය සිංහල බෞද්ධයාගේ අතට ගන්ට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේ නිපුණ මුදලාලි. 6. නිපුණ මුදලාලි ගොවියාට අසාධාරණයක්, අඩු මිලට වී ගැනීමක් කරනවා ද කියා පොළොන්නරුවේ ගොවීන්ගෙන් ම විමසා දැනගැනීමට හැකි යි. කෙසේ වුවත් රජයක් හැටියට ඒ සම්බන්ධයෙන් ගත් තීරණයත් වඩාත් සුදුසු යි. නිපුණ මුදලාලි, සිරිපාල ගම්ලත් මහතා ගැන හරිහැටි නොදැන ඔහුට පහර දීම නොකළ යුතු බව යි මාගේ අදහස.










