කලකට පසු සමගි ජන බලවේගය සිය පාක්ෂිකයන් කොළඹට රැගෙනවිත් ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු කළේ පසුගිය 30 වැනි අඟහරුවාදාය. එය ඇත්ත වශයෙන්ම සජබයට ඉතා තීරණාත්මක එකක් හා අභියෝගාත්මක එකක් වූයේ මෙවැනි උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට සමත් අයකු මේ වන විට සජබය ඇතුළේ නොමැති බවට මතයක් එළියේ නිර්මාණය වී තිබීම නිසාය. මන්ද යත් බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ සජබයේ සිටි හරීන් ප්‍රනාන්දු ආණ්ඩුවට එක්වූවාට පසු මෙවැනි ජන රැලියක් සංවිධාන කිරීමට සමත් සංවිධාන ශක්තිය ඇත්තකු සජබය ඇතුළේ නැතැයි කියාය. එවකදී හරීන් සංවිධාන ශක්තිය අතින් සමවී තිබුණේ එජාපයේ හිටපු ගාමිණි අතුකෝරලටය. 94 එජාපයට අත්වූ පරාජයෙන් පසු යළි පක්ෂය කෙළින් කටින් සිටුවා පාක්ෂිකයන් එළියට ගන්නට ගාමිණී අතුකෝරාල කටයුතු කළේ 2000 වසරේ, එනම්, වසර 16කට පසු මහනුවර සිට කොළඹට ජනබල මෙහෙයුම සංවිධාන කොටය. එහි ප්‍රතිඵලය වූයේ වසරක් ඇතුළත, එනම් 2001 වසරේදී එජාප ආණ්ඩුවක් පිහිටුවීමය.Sri Lanka Latest News
ඉන් අනතුරුව පසුගිය කාලයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමට අවශ්‍ය හයිය මුලින්ම රටට දුන්නේ සජබයය. ඒ, ‘ගෝඨා ගෝ හෝම්’ උද්ඝෝෂණ ව්‍යාපාරය ආරම්භ කොට මහනුවර සිට නැවතත් ගෝඨාගේ ආණ්ඩුවට එරෙහිව ජනබල මෙහෙයුමක් පැවැත්වීම හරහාය. ඊට අවශ්‍ය සංවිධාන ශක්තිය ලබාදුන්නේ හරීන් හා මනුෂය. නමුත් අවසානයේදී හරීන් හා මනුෂ ‘ගෝඨා ගෝ හෝම්’ කී ගෝඨාගෙන්ම අමාත්‍ය ධුර ලබාගෙන ආණ්ඩුවට එක්වීමත් සමග ආණ්ඩු විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමේ ශක්තිය ඇත්තකුට ලොකු පුරප්පාඩුවක් සජබය ඇතුළේ මතුව තිබිණි. විශේෂයෙන්ම මේ අවුරුද්ද මැතිවරණ වසරක් බැවින් අලුත් ‘ගාමිණී අතුකෝරල’ කෙනකු සොයාගැනීම සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා හට විශාල අභියෝගයක් වී තිබිණි.
එහිදී සජිත්ගේ තේරීම වූයේ වෙන කවුරුවත් නොව පක්ෂයේ තරුණ, ජනප්‍රිය, කටකාර මන්ත්‍රීවරයකු වන එස්.එම්. මරික්කාර්ය. සජිත් මරික්කාර්ට භාරදුන් පළමු මෙහෙයුම වූයේ ජනතාව පීඩාවට පත්කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමය. සජිත් භාරදුන් එම අභියෝගය භාරගනිමින් මරික්කාර් සජිත්ට දැනුම් දී සිටියේ සති 3ක් ඇතුළත ආණ්ඩු විරෝධී දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධාන කිරීමට තමන් කටයුතු කරන බවකි.
ඒ අනුව මරික්කාර් වැඩේට බැස්සද ප්‍රශ්න ගණනාවක් ඔහුගේ මේසය මත තිබිණි. ඉන් පළමු ප්‍රශ්නය වූයේ වියදම් සොයාගන්නා ආකාරයය. මන්ද යත් රට වටෙන්ම කොළඹට පාක්ෂිකයන් රැගෙන ඒමේදී ආසන සංවිධායකවරුන් හට අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය වන අතර, ඊට විශාල වැය බරක්ද දැරීමට සිදුවේ. ඒ අනුව මරික්කාර් මුලින්ම සැලසුම සකස් කළේ බස්නාහිර පළාතට වැඩි බරක් තබාය. එනම් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුනෙන් වැඩි පාක්ෂිකයන් පිරිසක් සහභාගි කරවීමත්, අනෙකුත් දිස්ත්‍රික්කවලින් පැමිණෙන පාක්ෂිකයන් බස් දෙකකට හෝ තුනකට සීමා කිරීමත් මරික්කාර්ගේ සැලසුම විය.
මරික්කාර් ප්ලෑන ගහයි
මරික්කාර් මේ ආකාරයට වැඩේ පටන් ගත්තද බොහෝ දෙනා මෙය සාර්ථක වේයැයි මුලින් මුලින් සිතුවේ නැත. මන්ද යත් කාලයකට පසු සජබය මෙවැනි උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධාන කොට නොතිබීමත්, මුදල් සොයාගැනීමේ ප්‍රශ්නය බරපතළ වීමත්, ප්‍රවාහන පහසුකම් ලබාදීමේ ගැටලුව වැනි විවිධ කරුණු මත බොහෝ දෙනා සිටියේ මෙය අසාර්ථක එකක් වනු ඇති බවට වූ මතයේය. නමුත් ප්‍රවාහන ප්‍රශ්නය විසඳාගත් මරික්කාර් විරෝධතාවයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග තත්ත්වය සම්පූර්ණයෙන්ම කනපිට පෙරළී ගිය ආකාරයක් දැකගත හැකි විය. ඒ සමගම උද්ඝෝෂණයට සහභාගි වීමට ගමේ සිටින පාක්ෂිකයන්ගේ විශාල උනන්දුවක් මතුව තිබූ අතර, දිනපතාම පාහේ ආසන සංවිධායකවරුන් මරික්කාර් හට කතාකොට තමන්ට බස් දෙකක් මදි බවත්, ගමේ පාක්ෂිකයන්ගේ උනන්දුව වැඩි නිසා තවත් අමතර බස් රථයක් අවශ්‍ය බවත් කියමින් දුරකතන ඇමතුම් ලබාදෙන ආකාරයක් දැකගන්නට ලැබිණි. එහිදී මරික්කාර් ඒ සියලු දෙනාටම දැනුම් දී සිටියේ පවතින වාතාවරණය යටතේ බස් 2කට වඩා ලබාදිය නොහැකි බවත්, එසේ අමතර බස් රථයක් ගන්නවා නම් ආසන සංවිධායකවරයා විසින් එම වියදම දැරිය යුතු බවත්ය. විශාල පාක්ෂික උනන්දුවක් තිබීම හේතුවෙන් බොහෝ ආසන සංවිධායකවරුන් අතින් මුදල් ගෙවා පාක්ෂිකයන් කොළඹට රැගෙන ඒමට කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
යන්නෙ කොතනටද
මෙම ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසු මරික්කාර් සැලසුම් කළේ කොළඹට රැගෙන එන පාක්ෂිකයන් ස්ථානගත කරන තැන සම්බන්ධ ගැටලුව විසඳාගැනීමටය. විශේෂයෙන්ම ආණ්ඩුව පැත්තෙන් මරික්කාර්ට ලැබුණු තොරතුරුවලින් කියවී තිබුණේ උද්ඝෝෂණය පැවැත්වෙන දින ආණ්ඩුව පොලිසිය ලවා වාරණ නියෝග ලබාගැනීමේ උත්සාහයක් පවතින බවටය. ඒ අනුව, මරික්කාර් ප්‍රධාන සැලසුමට අමතරව තවත් සැලසුම් 3ක් සකස් කළේ එවැන්නක් මතුවුවහොත් ගත හැකි ක්‍රියාමාර්ග ඇතුළත් කොටය. ඒ සඳහා කොළඹ හයිඩ් පිටිය, කැම්බල් පිටිය ඇතුළු ක්‍රීඩාංගන 3ක්ද කල් තියාම වෙන් කරගැනීමට මරික්කාර් කටයුතු කළේය. කෙසේ වෙතත් මෑත කාලයේ කොළඹ මේ ආකාරයේ උද්ඝෝෂණයක් සිදුකොට නොතිබුණු නිසා ආණ්ඩුවේ තක්සේරුව වී තිබුණේ මෙම උද්ඝෝෂණයට 10,000ක පමණ පිරිසක් සහභාගි වනු ඇතැයි කියාය. නමුත් 28 වැනි දින පමණ වන විට මරික්කාර්ගේ කොළඹ මෙහෙයුම් කාර්යාලයට ලැබී තිබුණු තොරතුරුවලින් කියැවුණේ 20,000කට වැඩි පාක්ෂිකයන් පිරිසක් ඊට සහභාගි වීමට සූදානමින් සිටින බවය.
මෙම තොරතුරු වාර්තා වීමත් සමග නැවත වතාවක් සැලසුම වෙනස් කිරීමට මරික්කාර් කටයුතු කළේය. ඔහුගේ අදහස වුණේ විශාල ජනතාවක් පැමිණෙන බැවින් එක් මාර්ගයකින් පමණක් කොළඹට ඇතුළු නොවී මාර්ග 2කින් කොළඹට ඇතුළු විය යුතු යැයි කියාය. ඒ වන විටත් අරක්ෂක අංශ පැත්තෙන් සජබෙට එවමින් තිබුණු පණිවුඩය වූයේ ‘ආවාට කමක් නෑ. පෙළපාළි යන්න නම් එපා. ඕනේ නම් මරදාන ටෙක්නිකල් හන්දියේ ඉඳන් එල්ෆින්ස්ටන් එක ළඟට විතරක් යන්න’ යා හැකි බවට වූ පණිවුඩයය.
ඇතුළේ මත දෙකක්
ආරක්ෂක අංශ වෙතින් මෙම පණිවුඩය ලැබීමත් සමග මතුවුණු තර්කයක් වූයේ පෙළපාළිය කලින් සැලසුම් කළ පරිදි පාරවල් 2කින් කොළඹට ඇතුලු වෙනවාද නැත්නම් එක පාරකින් කොළඹට ඇතුළු වෙනවාද කියාය. ඊට හේතුවූයේ 20,000කට ආසන්න පාක්ෂිකයන් පිරිසක් කොළඹට පැමිණිමට නියමිත බවට තොරතුරු වාර්තා වීමත් සමග ආණ්ඩුව තරමක් බියට පත්ව සිටින බවට සජිත්ට ආණ්ඩුව ඇතුළෙන් තොරතුරු වාර්තා වීමය. ඒ අනුව සජිත්ගේ අදහස වී තිබුණේ ආණ්ඩු විරෝධයේ තරම ජනතාවට පෙන්වීම සඳහා එක තැනකින් පෙළපාළිය කොළඹට ඇතුළු විය යුතු බවය. නමුත් ඊට වෙනත් අදහස්ද මතුවීම හේතුවෙන් අවසන් තීන්දුව සඳුදා රාත්‍රියේ ගැනීමට සැලසුම් කෙරිණි.
ඒ අනුව සඳුදා රාත්‍රී 9.45ට සජිත් මරික්කාර් ඇතුළු මෙහෙයුම් කමිටුවේ නායකයන් විශේෂ සූම් සාකච්ඡාවක් පැවැත්වූයේ උද්ඝෝෂණය පවත්වන ස්ථානය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහාය. ඒ වන විටත් සජබයට ලැබී තිබුණු තොරතුරුවලින් කියැවුණේ කොළඹ බල ප්‍රදේශයේ සෑම පොලිස් ස්ථානයකටම උද්ඝෝෂණ ව්‍යාපාරයට එරෙහිව අධිකරණ නියෝග ගන්නා ලෙස උපදෙස් ලැබී තිබූ බවකි. ඒ අනුව පිරිස අවසානයේ තීන්දු කළේ පසු දින අධිකරණ නියෝග ලබාදෙන ආකාරය අනුව උද්ඝෝෂණය පවත්වන ස්ථානය තීන්දු කිරීමටය. එමෙන්ම උපක්‍රමයක් වශයෙන් උද්ඝෝෂණය පවත්වන්නේ ටෙක්නිකල් හන්දියේ බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු යැවීමටද පිරිස තීන්දුවක් ගත්හ.
අධිකරණ තීන්දුව
උද්ඝෝෂණය පැවැත්වෙන අඟහරුවාදා දිනයේදී ඊට පෙර ලැබී තිබුණු තොරතුරු තහවුරු කරමින් පොලිසිය කොටුව, මාලිගාකන්ද ඇතුළු අධිකරණ කිහිපයකින්ම පෙළපාළියට එරෙහිව වාරණ නියෝග ලබාගෙන තිබිණි. නමුත් කුරුඳුවත්ත පොලිසිය විසින් ඒ සඳහා කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කටයුතු කොට තිබිණි.
මහෙස්ත්‍රාත්වරයා නියෝගය නිකුත් කරමින් මෙසේද කියා සිටියේය.
‘පා ගමන හා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා. එසේ නියෝගයක් නිකුත් කළ යුතු වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවක බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්තිවල සඳහන්. මහජන පීඩාවක් හෝ අන්‍ය ක්‍රියාවක් කරන්නේ යැයි අනුමාන කරමින් කරන ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය සුපරික්ෂාකාරී විය යුතුයි.
මෙවන් නියෝගයක් නිකුත් කිරීමට තරම් හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වී නැහැ. එක් එක් අයගේ හිතළු මත නියෝග නිකුත් කිරීම නොකර සුපරික්ෂාකාරීව අධිකරණය කටයුතු කළ යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරවන වගන්තිය අනුව සාමකාමීව රැස්වීම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා. එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන ව්‍යවස්ථාව මගින් සීමාවන අවස්ථා තිබෙනවා.
එවන් සීමා වීමක් ගැන මේ අවස්ථාවේදී අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නෑ. ‘රැස්වීම’ට මිනිසුන්ට අනන්‍ය වූ අයිතියක් තියෙනවා. එම අයිතීන් උල්ලංඝනය කරමින් නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බැහැ. ඒ අනුව මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.’ යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කර තිබිණ.
තීන්දුව ටවුන්හෝල්
මෙම තීන්දුව ලැබීමත් සමග අඟහරුවාදා පෙරවරුවේ සජබ නායකයන් තීන්දු කළේ අදාළ අධිකරණ බල ප්‍රදේශයට ඇතුළත් වන ටවුන්හෝල් ප්‍රදේශයෙන් පෙළපාළිය ආරම්භ කිරීමටය. එතැන් සිට කොම්පඤ්ඤවීදිය දක්වා ගමන් කොට කොම්පඤ්ඤවීදියේදී ආණ්ඩු විරෝධී රැලියක් පැවැත්වීම අවසන් සැලසුම විය. ඒ අනුව සජිත්ටද දැනුම් දීමක් කළේ පෙළපාළිය ටවුන්හෝල්වලින් ආරම්භ කිරමට නියමිත බවත්, දහවල් 2 වන විට ටවුන්හෝල් වෙත පැමිණෙන ලෙසත්ය.
කෙසේ වෙතත් අඟහරුවාදා පෙරවරුවේ ආණ්ඩුවේ ප්‍රබලයකුගෙන් සජබයට තරමක් දැඩි පණිවුඩයක් ලැබී තිබුණු අතර, ඉන් කියැවුණේ අඩියක් හෝ පෙළපාළි ගියහොත් උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කරන බවකි. ඒ පණිවුඩය සජිත්ට මෙන්ම මරික්කාර්ටද ලැබුණු පසු අඟහරුවාදා පෙරවරුවේ සංවිධායක මණ්ඩලය අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වුණේ යම් හෙයකින් එවැනි තත්ත්වයක් මතුවුවහොත් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ කතාබහ කිරීමටය. මෙහිදී ඇතැම් අය කියා සිටියේ පෙළපාලියක් නොගොස් ටවුන්හෝල්වල උද්ඝෝෂණ ව්‍යාපාරයක් පමණක් පැවැත්විය යුතු බවකි. නමුත් මරික්කාර්, මුජිබර් ඇතුළු තවත් පිරිසකගේ ස්ථාවරය වූයේ කඳුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළද සැලසුම් කළ පරිදි පෙළපාළිය පැවැත්විය යුතු යැයි කියාය. සජිත්ට ඒ වන විටත් වෙනත් පාර්ශ්වයකින් දැඩි අනතුරු ඇඟවීමක් ලැබී තිබුණේ සජිත් පෙළපාළියට එක්වුවහොත් අනිවාර්යයෙන්ම කඳුළු ගෑස් ගැසීමට කටයුතු කරනවා යැයි කියාය. එම අනතුරු ඇඟවීම මැද්දේ වුවද සජිත් කියා සිටියේ සැලසුම් කළ පරිදි පෙළපාළිය පැවැත්විය යුතු බවකි. ඒ අනුව අවසානයේදී පෙළපාළිය පැවැත්වීමටත්, සැලසුම් කළ පරිදිම සජිත් ටවුන්හෝල් ප්‍රදේශයේදී පෙළපාළියට එක්වීමටත් තීන්දු විය.
ආරක්ෂක වළලු 3ක්
මේ සියලු සිදුවීම් අස්සේ පොලිසිය සහ ආරක්ෂක අංශවලටද අඟහරුවාදා දහවල් වන විට පෙළපාළිය ආරම්භ වන්නේ ටවුන්හෝල් ප්‍රදේශයෙන් බවට තොරතුරු ලැබිණි. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායම්, කැරැලි මර්දන ඒකක, ජල බවුසර්, මෙන්ම යුද හමුදාවද ටවුන්හෝල් ප්‍රදේශයේ ස්ථානගත කිරීමට පියවර ගෙන තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ වෙනදා නොදුටු ආරක්ෂක වළල්ලක් එදින දැකගත හැකි වීමය. එහිදී පෙළපාළියට මුහුණ දීම සඳහා මුලින්ම පොලිස් පෙරමුණක් සහ ඊට මීටර් 50ක් පසුපසින් වන්නට හමුදා වළල්ලක්ද, ඊටත් මීටර් 50ක් පසුපසින් වන්නට තවත් හමුදා වළල්ලක්ද යොදා තිබුණේ කිසිදු අයුරකින්වත් පෙළපාළියට ඉදිරියට යෑමට ඉඩක් නොතබාය.
ඒ අනුව අඟහරුවාදා පස්වරු 2ට පමණ පෙළපාළිය ආරම්භ කරන විටත් ආරක්ෂක අංශ පෙළපාළිය හතරවටෙන්ම වටකර තිබූ ආකාරයක් දැකගත හැකි විය. සජිත් ඊට එක්වී පෙළපාළිය ආරම්භ කිරීමත් සමග කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පටන්ගත් අතර, සජිත් ඉලක්ක කර ප්‍රහාර එල්ල වන ආකාරයක්ද දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ කඳුළු ගෑස් ප්‍රහාර පොලිස් වළල්ලට පසුපසින් පිහිටි මහජන පුස්තකලාපය පිහිටි ප්‍රදේශයටද එල්ල වීමය. චෙස් තරගාවලියක් සඳහා කුඩා ළමුන් විශාල පිරිසක් එදින මහජන පුස්තකාලය වෙත සිය මවුපියන් සමග පැමිණ සිටි අතර, කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වීමත් සමග එම කුඩා දරුවන් රැගත් මවුපියන් හිස් ලූ ලූ අත දිවයන ආකාරයක් දැකගත හැකි විය.
කෙසේ වෙතත් පළමු ප්‍රහාරයෙන් පසු නැවත වතාවක් සංවිධාන වී යළි ඉදිරියට යෑමට උත්සාහ කළද දෙවැනි වතාවට එල්ල වූ කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයත් සමග ඉදිරියට යා නොහැකි බව සංවිධායක මණ්ඩලයට වැටහිණි. ඒ අනුව සැලසුමේ ඊළඟ අදියර ක්‍රියාත්මක කරමින් එම ස්ථානයේ සිටම රැලිය පැවැත්වීමට සජිත් ඇතුළු කණ්ඩායම කටයුතු කළහ.
විශේෂ සාකච්ඡාවක්
අනතුරුව රැස්වීම අවසන් කළ සජිත් කෙළින්ම පැමිණියේ විපක්ෂ නායක කාර්යාලයටය. ඒ එන අතරවාරයේදී පක්ෂ මහලේකම් මද්දුමබණ්ඩාර පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේ නීති විරෝධී ලෙස එල්ල වූ මෙම ප්‍රහාරයට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක කාර්යාලයේ හදිසි රැස්වීමක් පවත්වන බවත්, ඊට සහභාගි වන ලෙසත්ය. එමෙන්ම පක්ෂයේ නීතිඥ මණ්ඩලයද ඒ සඳහා කැඳවීමට සජිත් පියවර ගෙන තිබිණි. එම සාකච්ඡාවේදී සියලු දෙනාගේම ස්ථාවරය වී තිබුණේ මෙය බරපතළ සිද්ධියක් බැවින් විපක්ෂ නායක සජිත් වෙනමත්, සජබ මන්ත්‍රීවරුන් වෙනමත් ප්‍රහාරයට සම්බන්ධ වූ පොලිස් නිලධාරින්ට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ පෙත්සම් ගොනු නළ යුතු බවටය. එය පක්ෂයේ නීතිඥ මණ්ඩලයට පැවරීමටද එහිදී පියවර ගැනිණි. මෙම රැස්වීම අතරතුරේදී කඳුළු ගෑස් වැදීම හේතුවෙන් මුජිබර් හා පාක්ෂිකයන් කිහිප දෙනකු රෝහල්ගත කොට ඇති බවට තොරතුරු වාර්තා වීම නිසා සජිත් කළේ රැස්වීමේ ඉදිරි කටයුතු මද්දුමබණ්ඩාරට භාරදී වහාම එම පිරිසේ තත්ත්වය සොයා බැලීම සඳහා ජාතික රෝහල වෙත යෑමය.
දෛවයේ සරදම
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රමුඛ සජබයට එල්ල වූ මෙම ප්‍රහාරය හා සමාන තවත් ඉතිහාස කතාවක්ද තිබේ. ඒ, 2000 වසරේ සිදුවූ සිදුවීමකි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිටියේ එවක විපක්ෂ නායක මෙන්ම එජාප නායකයා වශයෙන් විපක්ෂයේය. එවක පැවැති චන්ද්‍රිකා ආණ්ඩුවට එරෙහිව එජාපය මහනුවර සිට ජනබල මෙහෙයුමකින් කොළඹට පැමිණි අතර, රනිල්ද ඊට පුංචි බොරැල්ල ප්‍රදේශයේදී එක්වීමට පියවර ගත්තේය. එවක චන්ද්‍රිකා රජයෙන් මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය ලවා ප්‍රහාරයක් එල්ල කළ අතර, එහිදී වෙඩිතැබීමක්ද සිදුවිය. එම ප්‍රහාරයෙන් එජාප පාක්ෂිකයකු මියගිය අතර, සුජීව සේනසිංහටද වෙඩි වැදිණි. ඒ වන විට සජිත් එජාපයේ නියෝජ්‍ය නායකයා විය. එදා ඒ එජාප නියෝජ්‍ය නායකයා අද සජබ නායකයා මෙන්ම විපක්ෂ නායකය. එදා විපක්ෂ නායකව සිටි රනිල් අද පොහොට්ටුවේ සහායෙන් රටේ ජනාධිපතිය. දෛවයේ සරදම වන්නේ අද ඒ රනිල් ජනාධිපති බවට පත්වී විපක්ෂ නායකවරයා සහභාගි වී සිටි ආණ්ඩු විරෝධී රැලියකට ප්‍රහාර එල්ල කිරීමය. කෙසේ වෙතත් 2000දී එල්ල වූ ප්‍රහාරයෙන් වසරක් යෑමට ප්‍රථම චන්ද්‍රිකා ආණ්ඩුව පෙරළා දමා එජාප ආණ්ඩුවක් බිහිකිරීමට රනිල්ට හැකියාව ලැබිණි. මෙදා ප්‍රහාරයෙන් වසරක් යෑමට ප්‍රථම අලුත් ආණ්ඩුවක් බිහිවේදැයි කීමට දැන්ම කල් වැඩිය.










