ඇමැති කිව්වා මම කළා මගේ ප්‍රකාශය ලියාගන්න CIDය බෑ කිව්වා – බාල බෙහෙත් ගෙනාපු සමාගමේ හිමිකරු සුගත් ජනක ප්‍රනාන්දු…
කොහොමහරි ගෙවීම් කරන්න ඕන කියලා කෙහෙළිය අස්සන් කරලා කැබිනට් එකට දැනුම් දීලා – ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස…
ජනතාවගේ බදු සල්ලි ලක්ෂ 1444ක් බෙහෙත් සමාගමේම හිමිකරුගේ ගිණුමට දාලා… එන්නත් ගේන්න දීපු අවසරයෙන් වතුර පිරිසිදු කරන රසායනික ගෙනැවිත්… ටෙන්ඩර් කමිටුවේ සාමාජිකයන් දෙන්නෙක්ම දැනටමත් රට ගිහින් – නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම…
‘ඇමැති කිව්වා මං කළා’ යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත්කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ පසුගිය 27 වැනිදා පැවැසීය.(Sri Lanka Latest News)
මෙම සිද්ධියට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇති සම්බන්ධතාව ඖෂධ ගෙන්වූ සමාගමේ හිමිකරු රහස් පොලිසියට කීවත් ඔවුන් ඒ පිළිබඳ සටහන් කරගැනීම ප්‍රතික්ෂේප කළ බව නීතිඥ ජාලිය සමරසිංහ මහතා කළ දැනුම් දීමක් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුගෙන් ප්‍රශ්න කර බන්ධනාගාර තුළදී සවිස්තරාත්මක ප්‍රකාශයක් සටහන්කර ගැනීමට රහස් පොලිසියට නියම කළාය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කැඳවීම මත රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවෙසට ගොස් ප්‍රකාශ සටහන් කරගැනීම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කරමින් සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය, මින් ඉදිරියට මෙම සිද්ධියට අදාළව යම් පුද්ගලයකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේදී සාමාන්‍ය ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීම පිළිබඳ සැලකිලිමත් වන ලෙස රහස් පොලිසියට දැනුම් දුන්නාය.
සිද්ධිය සම්බන්ධයෙන් පැය 05ක පමණ කාලයක් පුරා දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය, සැකකරුවන් ලබන වසරේ ජනවාරි මස 10 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත්කළ අතර, සැකකරුවන්ට ඇප නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම් සම්බන්ධ නියෝගය එදින ප්‍රකාශයට පත්කරන බව දැනුම් දුන්නාය.
පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටින බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, මෙම සිද්ධියේ දෙවැනි සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ 80 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට වෛද්‍ය වාර්තාවක්ද ගොනු කරමින් බන්ධනාගාර අධිකාරිවරයා දැනුම් දෙන ලදී.
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සහ සිවිල් සංවිධාන එකතුමුතුව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී අනාවරණ වූ කරුණු මත අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස්දෙනා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන පිටු 07කින් යුත් වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත මහතා සමග පෙනීසිටි උපපොලිස් පරීක්‍ෂක යාලේවත්ත මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමග පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කරුණු දක්වමින් එවක හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට තවත් කැබිනට් සංදේශ තුනක් ඉදිරිපත් කර ඇති බවත්, එම සංදේශ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ අවධානයට ලක්කර ඇති බවත් කියමින් කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ සියලු අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඇමුණුම් හා තීරණ රහස් පොලිසියට භාරදීමට අමාත්‍ය මණ්ඩල ලේකම්වරයාට නියම කළාය.
‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සැකකාර සුගත් ජනක ප්‍රනාන්දු මහතාට අයත් සීදූවේ පිහිටි පරික්‍ෂණාගාරය පරීක්‍ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කළ නියෝගයකට අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට අධිකරණය නියම කර තිබුණත් පසුගිය කාලයේ තිබූ තත්ත්වය අනුව එම ස්ථානය පරීක්‍ෂා කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමකට අනුමැතිය දුන් මහෙස්ත්‍රාත්වරිය 28 වැනිදා සිට ලබන 09 වැනිදා දක්වා කාලය තුළ අදාළ ස්ථානය යළි පරීක්‍ෂා කිරීමටද, ඒ සඳහා අවශ්‍ය සහාය ගැනීම සඳහා සැකකරු එම ස්ථානයට ඉදිරිපත් කිරීමටද නියම කළාය.
රෝගීන්ට එන්නත් ගෙන ඒමට දුන් අවසරය ප්‍රයෝජනයට ගෙන සැකකරු ජලය පිරිසුදු කිරීමට ගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් මෙරටට ආනයනය කර ඇතැයිද, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියකින් තොරව මෙම භාණ්ඩ සැකකරුට මුදාහැරියේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා කරන විමර්ශනය සම්බන්ධයෙන් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ප්‍රකාශයක් ගැනීමටද අවසර දුන් නමුත් ඔහු මෙතෙක් ප්‍රකාශයක් දී නැතැයි කියමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහෙස්ත්‍රාත්වරිය ලබන මස 08 වැනිදාට පෙර ඒ පිළිබඳ හෙළිකර ගැනීම සඳහා රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළාය.
ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලෝබින්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්ත්වයකට පත්කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී ගුද මාර්ගයේ, මහ බඩවැලේ, පියයුරු, පෙනහලු, පුරස්ථි ග්‍රන්ථිය, ආමාශය ආශ්‍රිත පිළිකා රෝගීන් සඳහා මෙන්ම ඇසේ දෘෂ්ටිවිතානය පැහැදිලි කිරීම සඳහා භාවිත කරන ඖෂධ, රුධිරය කැටිගැසීමේ රෝගීන්ට දෙනු ලබන ඖෂධ ශ්‍රී ලංකාවට ගෙන්වීමට වෛද්‍ය සැපයුම් ඒකකය විසින් පළමු සැකකරුට ගැනුම් ඇනවුමක් නිකුත් කර ඇතැයි ද ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කීවාය. මෙම සිද්ධියේ 06 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයාට ලිපියක් නිකුත් කරමින් තෝරාගත් සැපයුම්කරුවන්ට ගැනුම් ඇනවුම් නිකුත් කිරීමට කළ දැනුම් දීමෙන් පසු මෙම ව්‍යසනකාරී තත්ත්වය උද්ගතව ඇතැයිද කීවාය.
ප්‍රශ්නගත ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය ජයනාත් බුත්පිටිය මහතාගෙන් ප්‍රකාශයක් ගත් බවත්, ලේඛන පරික්‍ෂා කිරීමට අවශ්‍ය බවට ඔහු කළ දැනුම්දීමකට අනුව එම ලේඛන පරීක්‍ෂා කර බලා වැඩිදුර ප්‍රකාශයක් ගැනීමට නියමිතව සිටියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අවසරය මත පෞද්ගලික සංචාරයක් සඳහා ඔහු විදේශගත වී ඇති බවත් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළාය. ඔහු යළි ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියම කරන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය ඔහුට රටින් පිටවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පනවා තිබුණා නේදැයි කළ විමසීමකට පිළිතුරු දුන් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, ඒ වන විටත් ඔහු විදේශගත වී තිබුණේ යැයි ද අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇගැයුම් කමිටු සාමාජිකයකු වශයෙන් කටයුතු කළ වෛද්‍ය සුදර්ශන මහතාද ඊට පෙර විදේශගත වී ඇතැයිද කීවාය.
එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහෙස්ත්‍රාත්වරිය මෙම කටයුත්තට මැදිහත්වීමට අධිකරණයට අවශ්‍යතාවක් නැතැයිද ඔහු යළි ගෙන්වා ගැනීමට ආයතන සංග්‍රහය යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දෙන්නැයිද සඳහන් කළාය. ඔහු අවශ්‍ය පියවර නොගතහොත් ඒ අවස්ථාවේදී අවශ්‍ය නියෝග දීමට හැකියාවක් ඇතැයි මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.
පළමු සැකකාර ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාගේ ගිණුමට ලැබුණු රුපියල් ලක්‍ෂ 1,444ක මුදල වහාම යළි ලබාගැනීම සම්බන්ධයෙන් රහස් පොලිසියේ නීති වීරෝධී වත්කම් විමර්ශන අංශය විමර්ශන ආරම්භ කර ඇතැයි කියමින් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කළ ඉල්ලීමකට අනුව ලබන 09 වැනිදාට පෙර එහි ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමට රහස් පොලිසියේ නීති වීරෝධී වත්කම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නියම කළාය.
මෙම සිද්ධියට අදාළව ස්වේඡාවෙන් ප්‍රකාශයක් දීමට අවශ්‍ය බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය 25 වැනිදා ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමකට අනුව රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවෙසට ගොස් ප්‍රකාශ සටහන් කරගත්තේ යැයිද, ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර අමාත්‍ය මණ්ඩල සංදේශ පිළිබඳ ප්‍රශ්න කළ විට එම අමාත්‍ය මණ්ඩල සංදේශ ඔහු සතුව නොතිබුණේ යැයිද ගිරිහාගම මෙනෙවිය කීවාය.
එහෙයින් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට නොහැකි වූයේ යැයිද කී ලක්මිණී ගිරිහාගම මෙනෙවිය, අදාළ ප්‍රකාශයේ සංක්‍ෂිප්ත වාර්තාවක්ද අධිකරණයට ඉදිරිපත් කළාය.
අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ කාර්යාලයේ ඇති බව සඳහන් වූ බව කියමින් කළ ඉල්ලීමකට අනුව අදාළ සියලු අමාත්‍ය මණ්ඩල සංදේශ රහස් පොලිසියේ උපපොලිස් පරීක්‍ෂක ලක්සිරි මහතාට භාරදෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය ලේකම්වරයාට නියම කළාය.
ප්‍රශ්නගත ඖෂධ 182ක් සැපයීම සඳහා සැපයුම්කරුවන් තෝරාගෙන ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ (ඩබ්ලිව්.ඕ.ආර්.) සහතිකය දීමට යටත්ව යැයිද ඖෂධ සැපයූ සෙසු සැපයුම්කරුවන්ගෙන් ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ ලබාගෙන ඇති නමුත් පළමු සැකකරුගෙන් එම සහතිකය ගෙන නැතැයි විමර්ශනවලදී හෙළිවී ඇතැයි ලක්මිණී ගිරිහාගම මෙනෙවිය කීවාය.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
02 සිට 05 දක්වා වූ සැකකරුවන් පවසා ඇත්තේ ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ සත්‍ය ලේඛන වශයෙන් ඔවුන් පිළිගන්නා බව නේද?
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය
‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ භාරගෙන ඇත්තේ කෙසේද යන්න ඖෂධ නියාමන අධිකාරියේ වාර්තාව සමග සසඳා බැලිය යුතුයි. මීගමුව අධිකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවකට අනුව පළමු සැකකරුට අයත් ඖෂධ නිෂ්පාදනාගාරය පරීක්‍ෂා කර බැලූ නිලධාරීන් එම ස්ථානය ජීවානුහරණය කර හෝ ඖෂධ නිෂ්පාදනයට සුදුසු නොවන බව වාර්තා කර තියෙනවා. එසේ තිබියදී අනුමැතිය දීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස හිටපු සෞඛ්‍ය ලේකම්වරයා ඉල්ලීමක් කර තියෙනවා.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශය දෙමින් පළමු සැකකරු සැපයූ එන්නත්වල සංකූලතා ඇති බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා හෙළිකර ගැනීමෙන් පසු පැවැත්වූ කමිටු රැස්වීම්වල දී අවස්ථා කිහිපයකදීම ඒ බව හෙළි කළ බව සඳහන් කර තියෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය
එසේ තිබියදී වෛද්‍ය සැපයුම් අංශය පළමු සැකකරුට ගෙවීම් කිරීමට සූදානම් වීම නිසා අදාළ ගෙවීම් වහාම නැවැත්වීමට ලිපි 03ක් නිකුත් කළ බවත් ඉන් පසු පළමු සැකකරු ඔහුට තර්ජනාත්මක ලිපියක් එවමින් මගේ ගෙවීම් නැවැත්වීමට ඔබට හැකියාව නැති බවත් සඳහන් කර තියෙනවා.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
ඇමැතිවරයා ස්වේඡාවෙන් දුන් ප්‍රකාශය අනුව පෙනීයන්නේ මෙම ඖෂධ සිද්ධිය පිළිබඳ ඔහුගේ දැනුවත්භාවයක් තිබූ බව නේද?
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ හෝ වෙනත් ක්‍රමවේදයක් යටතේ පළමු සැකකරුට ගෙවීම් කරන ලෙස ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල ලෙස අස්සන් කර කැබිනට් එකට දැනුම් දී තියෙනවා. මෙම සිද්ධිය පිළිබඳ ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය’ සහ ‘සිවිල් සංවිධාන එකමුතුව’ පැමිණිලි කර තියෙන්නේ ඔක්තෝබර් මස 02 වැනිදා. ඉන්පසු ඔක්තෝබර් මස 13 වැනිදා ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිවරයා පැමිණිලි කර තියෙන්නේ. මෙය කළේ කවුරු වුණත් මුදල් හොරාකෑමේ කුමන්ත්‍රණය මෙය තමයි. මේ පිළිබඳ සොයාබැලිය යුතුයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය
රුපියල් බිලියනයකට තමයි සැකකරුට ටෙන්ඩරය දී ඇත්තේ. නමුත් ඔහුට අවශ්‍ය කුප්පි සොයාගැනීමට නොහැකි වීම නිසා මෙය මේ ගණනින් නැවතුණේ. කුප්පි සොයාගැනීමට හැකිවුණා නම් රුපියල් බිලියනයක්ම නැති වෙනවා. ඒ සෑම රුපියලක්ම ගෙවීමට සිදුවෙන්නේ මේ රටේ බදු ගෙවන අහිංසක මහජනතාවටයි. හදිසි ඖෂධ අවශ්‍යතාවක් කියා ඖෂධ ගෙන්වුවත් එම ඖධෂ ලැබී ඇත්තේ මාස 05කට පසුවයි.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
පළමු සැකකරු පවසා ඇත්තේ කිසිම අවස්ථාවක ‘ලියාපදිංචිය අත්හැරීමේ සහතිකය’ නිකුත් කර නැති බවයි. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කිසිවකුත් මෙහි සැකකරුවන් වියයුතු නැහැ.
පස්වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක සේරසිංහ මහතා කරුණු දක්වමින් කැබිනට් පත්‍රිකා හදන්න කියා කීවේ තම සේවාදායකයා දැයි ප්‍රශ්න කළ අතර, ‘මේ නඩුවට අල්ලන්නේ පොඩි උන් විතරද? ලොකු උන් අල්ලන්නේ නැද්දැ’යි විමසීය.
ලොකු උන්ගේ ගෙවලවලට ගිහින් පොලිසිය කටඋත්තර ලියා ගන්නවා. නීතිය කාටත් එක හා සමාන වියයුතු යැයි කී නීතිඥ අශෝක සේරසිංහ මහතා, වැඩ්ඩෝ ටික එළියේ පොඩ්ඩෝ ටික ඇතුළේ යැයි කීය.
පළමුවැනි සැකකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින්, මුදල ගෙවීමට එපා කියා ඇමැතිගේ ලියුම එන විට මුදල් ගෙවලා ඉවරයි. ඇමැති ඒකෙන් බේරිලා. ඇමැති බේරන්න දැන් විවිධ දේවල් කරනවා. යැයි කීය.
ඇමැතිවරයා හරිම වාසනාවන්තයි. ඇමැතිගේ ගෙදරට ගිහින් කටඋත්තර ගන්නවා. ‘අපිව පාරෙදී අල්ලා ගන්නවා. රහස් පොලිසිය ඇමැතිට සුදුහුණු ගාලා, අපිව රිමාන්ඩ් කරනවා. අද හෙටම ඇමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට.මූලික අයිතිවාසිකම් නඩුවක් දාලා හරි රිට් පෙත්සමක් දාලා හරි මෙම උසාවියට එන එක නවත්වා ගනී යැයි කී ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ‘පහත් තැනින් යයි ගලා ජලේ’ යැයි කීය.
පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා කරුණු දක්වමින් මෙම සිද්ධියට ඇමැතිවරයා සම්බන්ධ බව මුල් අවස්ථාවේදීම තම සේවාදායකයා කීවත් ඔවුන් එය ලියා ගැනීම ප්‍රතික්ෂේප කළේ යැයි කීය.
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය
අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් පළමු සැකකරුට අධිකරණයට ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා. නැත්නම් රහස් පොලිසියට වැඩිදුර ප්‍රකාශයක් දීමට හැකියාව තියෙනවා.
මේ අවස්ථාවේදී සැකකරු ඇමතූ මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ප්‍රකාශයක් දීමට කැමති දැයි විමසූ අතර, ඊට ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් පළමු සැකකරු රහස් පොලිසියට ප්‍රකාශයක් දීමට කැමැති යැයි කීවේය.
නීතිඥ ජාලිය සමරසිංහ මහතා
මාව ඇල්ලූවේ කූඨ ලේඛන හැදුවා කියලා. දැන් කූඨ ලේඛන නැහැ. මට විරුද්ධව ඉදිරිපත් කර ඇත්තේ බොරු චෝදනායි. ඇමැතිවරයකුට තර්ජනය කරලා අතක් පයක් කඩාගන්නේ නැතුව ඉන්න පුළුවන් කියා දන්නේ දැනුයි.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
මේ සිද්ධිය සම්බන්ධයෙන් කවුරු මොනවා කිව්වත් රහස් පොලිසිය හරියට විමර්ශනය කරයි කියා අධිකරණය හිතනවා.
නීතිඥ ජාලිය සමරසිංහ මහතා
මගෙන් හෙට ප්‍රකාශ ගනිද්දී, කවුද කිව්වේ? කොච්චර සල්ලි ගත්තද? මේ ඔක්කෝම මං කියන්නම්.
මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය
රජයේ මුදල් පිළිබඳ කොච්චර සහනශීලීවද හිතන්නේ?
නීතිඥ ජාලිය සමරසිංහ මහතා
ඔව්. කෙහෙළිය තමයි කිව්වේ. මං කළා. විමර්ශනවලට මං බාධා කරන්නේ නැහැ. මොකද බාල ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දඩය රුපියල් 100/- යි. මට විරුද්ධව නඩු දැම්මොත් මේ දඩ ගෙවල මං යන්නම්.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය
මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 1,444යි. මෙය පොදු දේපළ පනත යටතේ චෝදනාවක්. ඊට වැරැදිකරු වුණොත් පාඩුව වගේ තුන්ගුණයක දඩයක් ගෙවිය යුතුයි.
නීතිඥ ජාලිය සමරසිංහ මහතා
ප්‍රශ්නයක් නැහැ. මට නඩුවක් දාන්න. මං ළඟ මුදල් තියෙනවා. රුපියල් ලක්‍ෂ 50ක් මං ගෙවන්නම්. මගේ රසායනාගාරය විතරක් රුපියල් කෝටි 1000ක් වටිනවා. කෙහෙළියගෙන් ප්‍රකාශ ගන්න විට ඔහුගේ දෙපැත්තේ නීතිඥවරුන් දෙදෙනකු හිටියා. මගේ සේවාදායකටත් ඒ වරප්‍රසාදය දෙන්න.
මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය
එය අධිකරණයේ කටයුත්තක් නෙමේ. ඔහුගේ ප්‍රකාශය භාරගන්නවාද කියාවත් අධිකරණය තීරණය කර නැහැ.
මෙම අධිකරණ වාර්තාව ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා ගත්තකි.










