ගල්කිස්සෙන් එහා රත්මලානෙන් මෙහා පොලීසියකට දවසක් මුහුදු වෙරළ ආසන්නයේ පදිංචිකරුවකුගෙන් මැදියම් රෑ ගෙවී එක දෙක පමණ වෙනවිට දුරකතන පණිවුඩයක් ලැබුණේය.(Sri Lanka Latest News)
ඉන් කියැවුණේ පිරිමියකුගේ මළ සිරුරක් ළඟපාත වෙරළට ගොඩගසා ඇති බවය. ඔය අවස්ථාවේ කාර්ය භාරව සිටි ස්ථානාධිපතිවරයා තරුණ රාලහාමිලා දෙදෙනකු කැඳවා පසුදා උදේ වෙනතෙක් මළසිරුර (ඩෙඩ් බොඩිය) මුරකර පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව වාර්තාවද රැගෙන එන ලෙසට රාජකාරි පැවරුවේය.
නිදි ගැට පිසදමමින් නිල ඇඳුම් ඇඳගත් රාළහාමිලා දෙදෙනා මැරිච්චි එකාට පමණක් නොව ඔහුගේ මවු දේවින්නාන්සේටද මදි නොකියන්නටම ශුභ ප්‍රාර්ථනා කරමින් මුහුදු හුළඟේ ගැහි ගැහී වෙව්ල වෙව්ලා ඩෙඩ් බොඩි එක ඇතැයි කී ඉසව්ව සොයමින් සැතපුම් පහක් පමණ ගියෝය. ඒත් හමුවුණේ නැත.
එතැන මඳක් නැවතී මියගිය එකාටයි ඔහුගේ මාතෘ දිව්‍යරාජයාටයි පමණක් නොව පණිවුඩේ දුන් එකාටත් එක්ක ඇතිවෙන්නටම දෙහි නොව ජම්බෝලම කපමින් ඹ ඔමරබ එකක් ගසා දෙදෙනා ආපසු හැරී වෙරළ පරීක්‍ෂා කරමින් ආවෝය. එහෙත් මිනිය තබා මළ අවතාරයවත් නැත. ඔය අන්දමට දෙසැරයක් තුන් සැරයක් එහාටත් මෙහාටත් ගමන් ගස්සන විට බඩු දෙකට පාං කියන්නවත් බැරිතරම්ය.
ඒ වෙලාවේ වටිං ගොඩිං එළිය වැටෙන ලකුණුද පහළවෙමින් තිබුණේය. කාක්කන් එකා දෙන්නා “කාක්” ගාමින් කැදලිවලින් එළිපහළියට එමින් උන්හ. (කාක්කන් දවල්ට “කාක්කාක්” ගා එක දිගට කීපවර නාද කළත්, පාන්දර කැදැල්ලෙන් ඉවත යන විට නාදකරන්නේ “කාක්”ගා එක්වරක් පමණි.)
මිනියක් ගොඩගසා ඇති බවත් පොලිසියෙන් එය සොයන බවත් ඔය අතරේ ඇහැරලා සිටි ගෙයින් ගෙට කටින් කට යමින් තිබුණෙන් එකා දෙන්නාද වෙරළට අවුත් බලන්නට වූහ. ඒ ආරංචිය ඇසූ තරුණියන් දෙදෙනෙක්ද නැගිට්ට හැටියේම ඩෙඩ් බොඩිය බලන්නට වෙරළ දිගේ දුවගෙන එනු අර රාලහාමිලා දෙදෙනාට මුලිච්චි වූවෝය.
නහුතෙට තදවෙලා සිටි රාලහාමිලා දෙදෙනා අරුං දෙන්නා දුටුගමං “කෝ බොඩිය, කෝ බොඩිය” යැයි ඇසූහ.
“අනේ රාලහාමි අපි නැගිට්ට ගමං දුවගෙන ආව මිසක් ඒව ඇඳ ඇඳ හිටියේ නෑ” යැයි එකියක් දෙදෙනා වෙනුවෙන්ම හිචිහිචි ගා කීවාය.
ඔය කියන ජාතිය කාලෙන් කාලෙට වෙනස්වෙන බව මහාකවි කාලිදාස මෙසේ කීවේය.
“බදරී කෝටි මුල්‍යංතු-තදර්ධං බිල්ව සුන්දරී,
නාරිකේල සහස්ස්‍රානි-ලම්බකං ක්‍රමුකං ද්වයං”
සුන්දරිය, කොලෙං (බදරී) ගෙඩියක් තරම් කාලෙදි වටිනාකම කෝටියකි. බෙලිගෙඩියක් තරම් වූ විට වටිනාකම කෝටියෙන් හරියටම අඩක් හෙවත් පනස් ලක්‍ෂයකි. එමෙන් පොල් ගෙඩියක් (නාරිකේල) තරමේ දී වටිනාකම දස දහසකි. එල්ලෙන විට කරුංකා ගෙඩි දෙකක වටිනාකමකි.
කාලිදාස අය්යාගේ ඔය ශ්ලෝකය අපට මෙසේද කිව හැකිය.
“දෙළුං කාලෙදි රැක්කා-තැඹිලි කාලෙදි වික්කා
පසුව වට්ටක්කා-වැලක එල්ලී තියෙනු දැක්කා” ඔය කියන වර්ගය අකුරු දෙකකින් හැඳින් වෙතදු (හැඳින් වෙතත්) ඒ හඬින්ම ඇසෙන තවත් වචනයක් ඇතත් එහි යෙදෙන්නේ
“ණ” අක්‍ෂරය වේ. පදය “තණ” යන්නය.
“අම්බලමේ පිනා පිනා-වළං කදක් ගෙනා ගෙනා
ඒක බිඳපි ගොනා ගොනා-ඒකට මට හිනාහිනා” යන පැදියේ යෙදී ඇත්තේ තණ ලෙසිනි. ඒ තෘණ යන අර්ථයෙනි.
අම්බලම යනු ඈත අතීතයේ (වාහන නැති සමයේ) දුර ගමනක් යනවිට එක් රාත්‍රියක් පමණක් ගතකෙරෙන තාවකාලික නැවතුම් පොළය. (ඉපිද ඉපිද මැරෙන සංසාර ගමනේ එක් භවයක් (ජීවිත කාලයක්) ජීවිතය නමැති අම්බලමට කුසල් විඤ්ඤාණයක් ඇත්තෙක් (පිංකාරයෙක්-පිනා) ආවේය (උපන්නේය.)
හෙතෙම වළං කදක් (පංචස්කන්දය-ශරීරය) රැගෙන ආවේය. මේ වළං කද වෘෂභයෙක් (ගොනෙක්) විසින් බිඳදමන ලද්දේය.
වෘෂභයාගේ ආහාරය තණ කොළය. තණ යනු තෘෂ්ණාවටද නමකි. තෘෂ්ණාව නමැති තණ කොළ කා විනාශ කළ වෘෂභ තෙමේ වනාහි බුදුන් වහන්සේය. උන්වහන්සේ මේ පිංකාරයාට බණ දේශනා කර රහත් ඵලයට පත්කර නැවත ඉපදීමක් (ශරීරය) නැතිකළ සේක් යන්න ඒ පැදියේ අරුතයි.
මේ ටීකාව කියන්න යෙදුණේ (පන්සල් භාෂාව) කාලිදාස ගොයියා අර අකුරු දෙකේ ජාතිය එල්ලී තියෙන ආකාරයටම අර වෘෂභයා කෑවා යැයි කියන ජාතියද ඊයේ පෙරේදා ගමක් ගමක් ගානේ (පාසා-ගැමි යෙදුමකි) නගරයක් නගරයක් ගානේ, කෝටුබෝටුවල, කොඩිවල කොඩිමිටවල්වල, වැටවල්වල, පොහොට්ටුවල එල්ලී නොව (හොඳ සිහි කල්පනාව ඇති මිනිසුන් විසින්ම) එල්ලා තිබුණේ මයිනෝ කාපිය, කාක්කෝ කාපිය, ගෝඨෝ කාපිය නාමලයෝ කාපිය කියන්නා සේ නොව කියන්ටමය. තොපි මිනිස්සු නොවේ හරක් යැයි කියන්ටමය.
තොපි තණකොළ කාපියව් යකෝ (කියන්නට ඕනෑ යකෝ නොවේ) යැයි මෙහෙම කියන්නට තරම් මේ රටේ මිනිසුන් මුන්නැහේලා (නැහෙන්න ඕනෑ වුණත් නැහෙන්නේ නැත. ඒ වෙනුවට නහින්නේ මේ රටේ අපය) සමග වෛර බැඳ ගත්තේ (ගම්මුන් කියන අන්දමට) ඇයි දැයි හිතන්න තරම් උකුණු මොළයක් (උකුණෙකුට තරං) තරං මොළයක්වත් මුන්ට නැති හැටියක් යැයි කෙනෙකුට හිතෙන්ට පිළිවන.
ලෝකෙ කා වතුර බී අංගිලපු එවුන්ට ඇත්තටම එසේ මොළේ නැතුවා නොවේ. එසේ සිටිය හැක්කේ කපටින්ටය. අංකූරයන්ය, බලේට කෑදර මළඋපං පෙරේතයින්ටය. දහජරා උන්ටය. තණ්හාකාරයන්ටය. (ගම්මුන් ඉඳිකිංවත් කියන්නේ ඔය වෙලාවටය.)
ඊයෙ පෙරේදා සුගතදාස ක්‍රීඩාගණයේ පැවැති සමුළුවේදී නායකත්වයට පත්කරවා ගනු ලැබූ අපේ මහින්ද ලොක්කා කීවේ තාමත් රටේ ජනතාව තමා එක්ක සිටින බවය. පොහොට්ටුවත් එක්ක බවය.
එහෙත් ක්‍රීඩාංගණය හාත්පස වැටේ සහ ක්‍රීඩාංගණයට එන පාර ඇතුළු සෑම පාරකම පාහේ එල්ලා තිබූ තණකොළ මිටි ටික නම් නොදකින්නට බැරිකමක් නැත.
මිනිසුන් රොද බැඳගෙන ඉන්නේ නම් ඇත්ත වශයෙන්ම සලකන්නටමය. ඒ උන්නැහේලා කරන ලද මේ රටේ සංවර්ධනය උදෙසාමය. අත්කර දුන් සමෘද්ධිය උදෙසාමය.
ඒ සංවර්ධනයේ, ඒ සමෘද්ධියේ කෙළවර අන්තිමට මිනිස්සු තෙල්ටික, ගෑස්ටික ගන්න පෝලිමේ ගියෝය. පෝලිංවල මැරිමැරී වැටෙනකං ගියෝය. (පුහ් මුන්නෙ කෙරුවාව).
ඒ සෞභාග්‍ය උස්මුරුත්තාවට ගිය කල මිනිසුන් සතුට ප්‍රකාශ කරන්නට ගංපිටින් පාරට බට (බැස්ස) කල සතුට ඉහවහ ගිය මහින්දයියා (පොඩිඋන් දයියා කියන්නේ ගින්දරටය) මාස ගානක් අතුරුදන්ව සිට ප්‍රාදුර්භූත වූයේ තිරිකුණාමලේ නාවික හමුදා කඳවුරෙනි.
රට බේරාගත් සටනේ විරුවකු වූද යුද හමුදාවේ ලොක්කෙකු වූද, රටේ ආරක්‍ෂක ලේකම්කවරයා වූද ගෝ(ට)යියා, රට පනින්න නැවක් ළඟට ජැටිය දිගේ දුවපු දිවිල්ල ටැලිවිසොං පෙට්ටියේ දුටු විට කටට ආවේ “ට” අක්‍ෂරය වෙනුවට “ප” අක්‍ෂරයය.
ඒ මක්නිසාද යත් අපේ කුඩා කාලයේ සිද්ධියක් මතකයට ආ හෙයිනි.
අප ගැටවර කාලේ කොළදිං (කුඹුරුවල ගොයම් කපා අස්වැන්න එකතුකරන සමය) නිමා වූ කුඹුරුවල ඉපනැල්ලේ තට්ටු පැන්නෙමු. චක්ගුඩු පැන්නෙමු. අක්කර හත්අට සියයක් තරම් වූ වෙල් යායේ මීහරක්ද එළහරක්ද දිගෙලි කර (බැඳ) හෝ ඉබාගාතේ යමින් හෝ තණකොළ උලාකමින් උන්හ.
(“ස” අක්‍ෂරය වෙනුවට “හ” අක්‍ෂරය යෙදෙන සිංහල භාෂාවේ සරමින් (ඇවිදිමින්) කන සතා (සර කා) හර කා වී තිබේ.) අර වෙල් ඉපනැල්ලේ උන් රංචුව අතරේ සිටි දාර ගොං නාම්බෙකුගේ නැට්ට මුලට අපේ හරකෙක් මගෝඩිකමට වයින් ස්ප්‍රිට් ටිකක් ඉස්සේය. වෛන් ස්ප්‍රිට් පැට්ට්‍රෝල් මෙන් ක්‍ෂාරීයය. ඒ සමයේ ගෙවල්වල රෑට පත්තු කළේ පැට්‍රෝල් මැක්ස් නමැති ලාම්පු ජාතියය. ඒවා දැල්වීමට මුලින්ම වෛන් ස්ප්‍රීත්තු ටිකක් අවශ්‍ය නිසා සෑම නිවෙකම පාහේ ඒවා බෝතලයක් හමාරක් තිබිණි)
ඒ ක්‍ෂාරීය දියරය වැටුණුහාම ගොනා පිටිපස්සේ දෙකකුල් ගස්සා ගාත් දෙක උඩ විසිකර බ්‍රේක් ඩාන්ස් එකක් දමා පැත්ත පළාතේ නොසිට දිව්වේය. ඒ දිවිල්ල දෙවැනි වුණේ ගෝටයියාගේ දිවිල්ලට පමණය.
උපං ගෙදර කචල් නිසා දෙවැනි ගෙදරට දුවන්නට තිබුණු හදිසිය කොච්චරදැයි කියනවානම් වියදමට අතේ තිබුණු සිල්ලර කාසි ටිකත් මෑන්ට ගන්නට අමතක වූවා සේය.
පැනල ගියේ මිනිහගෙම දෙවැනි ගෙදරට වුවත්දොර නාරිං අමල් බිසෝ යැයි කියනවා අසන්නට ලැබුණෙන් අතේ සල්ලි නැති නිසා යාළුවන්ගෙ ගෙවල්වලට රිංගන්න බැලුවේය.
මුලින්ම උම්බලක මුදලාලි හොයාන ගියේය. දොරේ අංද කෙළියෙ වරවානා කෙංද කහේ (කැන්ද ගහේ පක්කමූණා යැයි උමුබලකඩ මුදලාලි කීවේය.
ඔන්න ඔහොම වටම ගිහිං යන්න තැනක් නැතුව උපං ගෙටම ආපසු ආවේය. දැං මේ රටේ හිඟාකකා හෝ මිනිහට ඉන්න ගෙයක් හොයාදී කන්ඩ බොන්ඩත් අපේ අයම උපයා සපයා දෙන්නෝය.
මෑන් පුටුවට නැග්ග හැටියේම සීනි ගේන්ඩ වාගෙ තවත් මොනවද මොනවද සුළු සුළු උදව් දුන් (කෝටි පන්සියයක් විතර) හයිෆයිකාරයන් ළඟට ගියේ නැත. “කුකුල් අසූචිත් බේතට ඕනෑවෙනවා” කියන්නේ ඕකටය. (අනේ හැබෑට විළිලැජ්ජ නැතිහැටියක්)
අනිත් බඩ්ඩ චංදෙ දිනන මැසිම යැයි පාක්‍ෂිකයන් ගෙන් ඒ අවධියේ විරුදාවලිය ලද සිල් නොරැක්කත් සිල් ඇතැයි කියන (මරිසිල් නොව අබරා රැක්ක සිල්ය) බැසිල් අයියාය. දැන්නම් විරුදාවලියේ විරු කෑල්ල හැලී ගිය තැන ඇත්තේ අනිත් කෑල්ලය.
යහපාලනේ ආපු 2015දී මෑන් ඇමෙරිකාවට ගියා කියන්නේ නැගපු ප්ලේන් එක එහාට යන්නටත් ඉස්සරලු.
මැදමුලනෙ ජනෙල් පලුවේ වවුලකු සේ එල්ලී සිටි ලොක්කා පංසල් ගානෙ රිංග රිංගා හෝ මොන වෙඩිං එකෙන් (මඟුලෙං) හෝ යළි පුටුවට ආපසු සුං මදනාසේ නැග්ගේය. ඊළඟට යළිත් පරණ කතා කිය කියා රැඟුවේය. අරගලේ කොල්ලන් එනවිට දන්නෙ නැතුවම කෙළවුණේය. යළිත් පැන්නේය. යළිත් ආවේය.
“කලකදි වහලු, කලකදි රහ වෙනවාලු” කියන්නා සේ හොරා හොරා කී කෙනා ගැලවුම්කාරයා කර වෙලාව එනකල් හොරගල් ඇහිලුවේය. ඊයෙ පෙරේදා ලොක්කා කොහේදෝ ගියකල සිංහයන්ගෙයි නරින්ගෙයි වෙනස රටට කියමින් පරණ නෛයාඩගම නටන්න පටන් ගත්තේය.
මුන්ඩ මේක දමා යා නොහැකිය. අපේ රට ගසාකෑමට හැකි පැණි පට්ටේය. ඒ නිසා ගෙරි කුණකට වහවැටුණු කැනහිලුන් සේ කොහේ ගියත් ගිය පයින් එන්නෝය. මේ අයියලා රට බංකොළාත් කිරීමට වරදකරුවෝය. අධිකරණයෙන් ඊට ගෙවන්නට වන්දිද නියම කෙළේය. එහෙත් ඒවා පයිසෙකට හෝ මායිම් නැත.
සියයට දහඅටකින් වැට් එක පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්තෝය.
හෙට අනිද්දා වෙනවිට විසාලා මහනුවර මෙන් මිනිසුන් පාරවල් දිගේ බඩගින්නේ මැරි මැරී වැටෙන්නටද බැරි නැත.
මුන්වහන්සේලා වැට් එක සම්මත කළ ජොලියට අරලියගහ මන්දිරයට වී කේක් කැපුවෝය. පාටි දැම්මෝය. බුදුන් වහන්සේ වසල සූත්‍රය දේශනා කර ඇත්තේ මුන්වහන්සේලාටය. ඉවසන්න බැරි වැට් එකට ඡන්දය දී අනිත් පැත්ත හැරී ඒක වැරැදියි කියන එකය. මේ උදවිය ඉතිහාසයේ කියැවෙන රෝමයේ නීරෝ, ප්‍රංශයේ මාරි ඇන්ටොනයිට්ලාගේ පරම්පරාවෙන් පැවතෙන්නෝ විය හැක්කෝය.
මුන්නැහේලාගේ මවුදේවින්නාන්සේලා යහතින් ජීවත්ව සිටින්නේ නම් කීයක් ගියත් කමක් නැත. කීය දී හෝ හුරුල්ලං පන්සීයක් අරං කන්ඩ දෙන්න තිබුණේය.
චන්ද්‍රසේන මාරසිංහ










