අපේ ලොකු සීයා (පියාගෙත් පියාගෙ වැඩිමහල් සහෝදරයා) එකල (හතළිහ දසකයේ) ගමේ (අලගල්ල පාමුල ගංගොඩ) සිටි මහ ගොවියා යැයි කීම සත්‍යයට ඉතා ආසන්නය. දෙකන්න (යල-මහ) නොවැරැදීම වැඩකළ ඔහුට ලැබුණු වී අස්වැන්න අවුරුද්ද කෑමට නොව එක දිගට අවුරුදු හතරක් පහක් දහ පහළොස් දෙනකුගේ පවුලකට පවා ඉවර කළ නොහැකි තරම්ය.(Sri Lanka Latest News)
ඇතැම් ගොවි ගෙදරක වී අස්වැන්න දැමීමට වී බිහි (බිස්ස) තිබුණු අතර තවත් නිවෙසක පැහැක් (පැස) තිබුණේය. (පැස යනු බට පොතුවලින් වියාගත් වටය (පරිදිය) අඩි හත අටක් තරම් වූ ද උස අඩි පහක් තරම් විශාල කූඩයක් වැන්න. වී බිස්ස යනු මිදුලේ කෙළවරක අඩි දහයක් තරම් උස පතුල අඩි පහක හයක් වූත් මුදුන අඩි දහ දොළහක තරම් රවුමක් තිබුණු බටපොතුවලින් තැනූ විශාල කූඩයක් වටා මැටි ගසා ඉදිකර ඒ මත්තේ වහලයකින් (පියැස්සකින්) යුතු අව්වැසිවලින් ආරෂිත ගබඩාවකි.
එහෙත් අපේ ලොකු සීයාට ඔහුගේ තාත්තාගෙන් හෝ සීයාගෙන් හෝ යන පරිදි පරම්පරාවෙන් උරුමව තිබුණේ විශාල පෙට්ටියකි. එය වී අටුව නමින් හැඳින් වූවේය. අඟලක් හෝ අඟල් එකහමාරක් හෝ තරම් ඝනකම කොස් දැවයෙන් තනා තිබූ ඒ අටුව අඩි දහයක් තරම් දිගය, අඩි අටක් තරම් පළල්ය. අඩි හයක් හතක් උසය. එය තැබීමට නිවෙසේ විශාල කාමරයක් ද වෙන්කර තිබුණේය.
ඔය පෙට්ටිය වැසීමට පලු දෙකකට පියනක්ද තිබුණේය. පෙට්ටියෙන් වී ගත්තේ ඒ පියන ඇර නොවේ. යාන්ත්‍රික ක්‍රමයක් යොදා සකස් කළ (දැවමය) කරාමයකිනි. අටුවේ ඉතාම පහළින් තිබූ ඒ කරාමයේ අගුල කරකැවූ කල පයිප්පයකින් වතුර වෑස්සෙන්නා සේ මුළු පෙට්ටියේම වුවත් වී ගලාගෙන ආවේය.
එසේ වී ගන්නා අවස්ථාවක අවුරුදු හත අටක් තරමේ සිටි මම (මේ ලියුම්කරු) මේ අරුමය දෙස විස්මයෙන් බලා සිටින කල “පුතේ ඕවා සිංහල රජ කාලෙ අපේ වඩුවන්ගෙ ගුප්ත ශාස්ත්‍ර (උපක්‍රම) ක්‍රම” යැයි මගේ හිස අතගාමින් කියා දුන්නේය.
එමතුද නොව ඒ යාන්ත්‍රික ක්‍රමය ගෙවල්වල වට (වටේ) බිත්ති බැඳීමේදී යොදාගෙන තිබූවද කියා දුන්නේය. පැරණි මහ ගෙවල්වල (වලව්) බිත්ති අඩි එකහමාරක් දෙකක් තරම් ඝනකමට ඉදිකිරීමට හේතුව මා පසු කලෙක අවබෝධ කරගත්තේ ඒ අනුවය.
එකල නිවෙස්වල බිත්ති බැන්දේ විශාල කළුගල් යෙදීමෙනි. අර අන්දමේ අඩි දෙකක් පමණ ඝනකම බිත්තිය මැදින් අඟල් නවයක් තරම් පළලට සහ බිත්තියේ උසටම හිඩැසකි (හිදැසකි). ඒ හිඩැස පිරෙන්නටම වැලි පුරවා තිබේ.
කිසියම් සොරකු නිවෙසේ බිත්තියක් බිඳ ඇතුළට රිංගීමට උත්සාහ ගතහොත් මුළු බිත්තියේම ඇති වැලි කන්දරාව (තොගය) එතැනින් වෑස්සෙන්නේය. එවිට විශාල වැලි කන්දක් ගොඩගැසේ. ඒ තමන්ගේ වස්තුව ආරක්‍ෂා කරගැනීමට පැරැන්නන් යෙදූ එක් උපක්‍රමයකි. (විදුලි ආලෝකය නොවූ එකල සෑම කාමරයකටම පාහේ පහනක් පන්දමක් විලක්කුවක් මගින් ආලෝකය සැපයුණේ නැති බවද අඳුරේ පැවැතුණු බවද ඇතැම් විට නිවෙසක් ආරක්‍ෂා කිරීමට ප්‍රමාණවත් කීපදෙනකු පවුලේ සාමාජිකයන් වශයෙන් නොවූ බවද සඳහන් කළ යුතුය). ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් හොරු නිසි නින්දේ (තමන්ට කැමැති අන්දමට) හොර රහසේ ගෙවල් බිංදෝය. (ගෙවල් කැඩීම නොව බිඳීම (හෑරීම – බිම හාරනවා) යන වචනය වැහැරුණේ (යෙදුණේ) නිවාස කළු ගලෙන් ඉදිකෙරුණු නිසාය.
ඉදින් ඔය අන්දමේ නිවෙසක් සොරුන් බිඳිණු දැනුණු කල ගෙහිමියා හෝ ගෘහිණිය නිවෙස බිඳින තැන ඇතුළු පැත්තෙන් හොඳ මුවහත් මන්නයක් (කැත්තක්) අතැතිව රැක සිටින්නේය. එසේ රැක සිටින සූත්තරය ද දන්නා සොරු ඉන් ගැලවෙන්නට යෙදූ උපක්‍රමය හොඳටම කළු “මුට්ටියක්” අඳුරේම කෝටුවකින් අර සිදුරෙන් ගෙතුළට රිංගවීමය. ගේ තුළ සන්නද්ධව සිටින කවුරුන් හෝ මේ හිස දැම්මේ නොවැරදීම සොරාය යන හැඟීමෙන් යුතුව මන්න පහර දෙන්නේය.
ඉතින් නෝනාවරුනි, මහත්වරුනි. මුට්ටිය දැමීම හෙවත් මුට්ටිය දා බලනවා, දාල බලනවා යන ව්‍යවහාරයේ ආරම්භය, නිරුක්තිය ඔන්න ඔතැනය. ඒ අනුව මුට්ටිය දැමීමේ පුරුද්ද තිබුණේ පරණ කාලෙ හොරුන්ටය. ඊට හේතුව ගෙවල් බැඳීමට කළුගල් යොදාගත් නිසාය. එහෙත් දැං (වර්තමානයේ) ගෙවල් බිඳීමේදී මුට්ටිය දැමීමේ සිස්ටම් එකක් නැත. ඒ ගෙවල් බැඳීමේ (ඉදිකිරීමේ) සිස්ටම් එකද සම්පූර්ණයෙන්ම උඩුයටිකුරුවී ඇති නිසාය. ඒ නිසා ඒ ක්‍රමය (ගෙවල් බිඳීමේදී මුට්ටි දැමීම) අභාවයට ගොසිණි.
එහෙත් පරණ හොරුන්ගේ ඒ ක්‍රමය වඳවී ගියත් ඒ ව්‍යවහාරය (මුට්ටිය දැමීම) අලුත් හොරුන් උරුම කරගෙන ඇත්තේය.
තුන් ලොව තතු ලෙසට – දැනගෙන නොදත් මෙ ලොවට
දෙසුයෙන් නියම කොට යැයි ලෝවැඩ සඟරාවේ වීදාගම මෛත්‍රෙය මාහිමියන් පැවසූ අන්දමට කියන්නේ නම් ඒ මෙසේය.
ඔය වෘත්තීය සමිතිකාරයන් මොකේට හරි රාජ්‍ය සේවකයෝ උසිගන්වා වර්ජනයට දමනු ලබත්. ඒ ඇමය. (නමසිය හැට ගණන්වල විපක්‍ෂයේ කෙළිකාරයා සමසමාජ පක්‍ෂයේ නායක ඇන්.ඇම්. පෙරේරා සිරිමාවෝගේ ආණ්ඩුව දණගැස්සවීමට එක අවුරුද්දකදී වර්ජන දෙසිය ගණනක් පැවැත්වූවේය. මගේ සැමියා නොමරා මැරුවේ ඇන්.ඇම්. යැයි මැතිනිය කීවේ එහෙයිනි.)
වෘත්ත්තීය සමිති නායකයෝ, දේශපාලනඥායෝ දැං හාන්සිපයිස් ගසා සිටියාට ඒ කාලයේ (1980) වර්ජනයේ මාර්ගෝපදේශකයෝය. පස්සෙන් ඉන්නෝය. ඉස්සර ඔවැනි අවස්ථාවලදී ආණ්ඩුව වර්ජකයෝ අස්කර දමනු ලබත් (1983 ජූලි වර්ජනය උදාහරණයකි)
රැකියා අහිමිවී මහමඟට වැටෙන්නෝ වර්ජකයෝය. 1983 මහා වැඩ වර්ජනයෙන් රැකියා අහිමිවූවෝ බෙහෙවි. මට මතක හැටියට සියයට 100) ආසන්න පිරිසක් (කෑම ඉල්ලා අඬන දරුවන්ට දෙන්න දෙයක් නැතිව) සියදිවි නසාගත්හ.
රැකියා අවිමි වූ වර්ජකයන්ට රැකියා ලබාගැනීම සඳහා වෘත්තීය ක්‍රියාකාරීහු (ලෝකෙට පෙනෙන්නට) Plan සැලසුම් ගසති. (වෘත්තීය සමිති නායකයන් වෘත්තීය කටයුතු සඳහා රජයෙන් මුදාහැර සිටි බැවින් ඔවුන්ගේ රැකියා නැතිවන්නේ නැත) මහමගට වැටුණු පිරිසට සාධාරණය ඉල්ලා අධිකරණයට යති. වෘත්තීය සමිතිය විසින් පවරනු ලබන නඩුව පැරදුනහොත් ලැබෙන අපකීර්තිය වළකා ගැනීමට ඔහු කිසියම් වර්ජකයකු ලවා නඩුවක් පළමුවෙන් පවරනු ලැබේ. නඩුවෙන් පැරදුනොත්, පැරදුණේ අර රාජ්‍ය නිලධාරියාය. දිනුවොත් ඒ තීන්දුව මත සියලු වර්ජකයන්ට කරල පැහුණා වැන්න. ඉතිං එක් අයකු ලවා නඩු පවරා “ටෙස්ට්” කර බැලීම මුට්ටිය දමා බැලීම නම් වූයේය.
ඔය මුට්ටිය දා බැලමේ පැරණි ක්‍රමය වෘත්තීය ක්‍රියාකාරීන් උරුම කරගත්තේ ඔන්න ඔය ආකාරයටය.
අසූවෙ (1980) වර්ජනයට වෘත්තීය සමිති හැට හුට හමාරක් සහභාගි වූවේය. ඒවායේ ලොක්කක් එකිනෙකා මුණගැසුණු විට ඇහුවේ දාල බලමුද? දාලා..ආ.. බලමුද?යන්නය. අන්තිමේදී එක ලොක්කෙතු මරදාන පැත්තේ අම්මණ්ඩි කෙනකුගෙන්ද ඕක ඇසූ බවක් ද ප්‍රචාරය විය.
පොඩ්ඩක් හෝව්. ඔය දාල බලමු, හෙවත් දාලා… ආ බලමු යන්නෙහි ඇවැස්ස නෑනණ්ඩිය වනාහි දීලා..ආ බලමු යන්නය.
දැං (වර්තමානයේ) හැම පැත්තෙන්ම ඇසෙන්නේ දීලා බලමු, දීලා..ආ.බලමු යන්නය.
අපේ පුරුෂ පක්‍ෂය පමණක් නොව කාන්තා පක්‍ෂය පොරකන්නේත් දීලා බලන්නය. කන්තෝරුකාරියෝ ටිකත් (රාජ්‍ය අංශය) ඇඟලුම් ක්‍ෂේත්‍රයේ (පෞද්ගලික අංශයත්) පමණක් නොව අපේ ගමේ ඈයොත් කියන්නේ “ඔව් අනේ දීල බලමුකෝ” යන්නය.
අපට නං ඔය දීලා බලමු එකේ අමුත්තක් නැත. පනහේ (1950) දසකයේ සිට මේ විසිතුන විසි හතර (2023-2024) වෙනකම්ම ඔය කතාව කීප වරේ අසා ඇත්තෙමු. අන්තිමට අර මොකක්ද කර පැරදුණා වගේ දෙකට තුනට නැමී ඉන්න වුණා මිස වෙච්චි සංගදියක් නම් නැත. වෙච්චි දේට මක්කරන්ඩද?යැයි අපේ තානාපති ගායක රෝහණ බැද්දගේතුමා ඇහුවත් අපට අහන්න තියෙන්නේ “වෙච්ච දේට එන්න සෙයියරදු”යන්නය.
ඩඩ්ලි අයියා (සිරිසේන නොව සේනානායක) සත විසිපහට හාල් සේරුව (1950 දී තරම) දෙන බව කී නිසා අපි දුන්නෙමු.
බත්දුන් පියා බුදුවේවා යැයි අදත් සමහරුන් කීවද උන්නැහේත් කරන්ඩ බැරුව “බඩේ අමාරුව” යැයි කියා ඉල්ලා අස්ව ගියේය.
ඊළඟට හඳෙන් හරි හාල් ගෙනැත් දෙනවා යැයි සිරිමා මැතිනිය කී නිසා “අපෙ අම්මා ළඟ එනවා, ආපු ගමං දෙක දෙනවා” යැයි 1970 දී දීලා බැලුවෙමු. දෙක නෙමේ කන්ඩ සිද්ධ වුණේ බෑ යැයි ඇතැම්හු කීවෝය.
අපි නම් (කොල්ලො) අපේ තරුණ කාලෙ නිසා නිසා අපේ මගෝඩිකමට අහවල් කාරණා කාරණා පේන නොපෙනෙන ගානට ඇඳිවත් (සරං) අංශක විසිතුන හමාරටත් (ලෝක ගෝලය කැරකෙන්නේ අංශක විසිතුන හමාරක් ඇලව නිසා) ටිකක් ඉහළට ඔසවා ගෙන සමහර දාට “දෑතිං කන්නයි දෙක දෙක කන්නයි අතට ඡනදෙ දුන්නේ..ඒ..ඒ.., දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ, දෙක කෝ….ඕ..ඔ.. යැයි ගයමින්” ගමේ පාරවල් දිගේ නැටුවෙමු.
ඊළඟට ඇට දෙන බව හැට පැන්න ඡේ.ආර්. ලොක්කා කීවේය. අපි දීල බැලුවෙමු. දෙනකං බලාගෙන සිටියෙමු. මෑන්ට බැරිවුණේ ගෑනියකු පිරිමියකු කරන්න බැරි යැයි කියමින් තෙපර බබා සිට මැතිනියගේ ප්‍රජා අයිතියටද කෙළවා (මරික්කාර් මන්ත්‍රීතුමාගෙ වචනය) පක්‍ෂය ආසන අටට බස්සවා (මෑන් බෑණාට වැඩිය ටිකක් හොඳයි නේද?) ගෙදර ගියේය. ඒ හැට ඇලී තිබූ හෙයිනි.
ඊට පස්සේ පේමෙ අයියා ආවේය. උන්නාන්සේ “සාමය උදාවයි දුක්ගිනි නිමාවයි” කියාගෙන දකුණේ තිබුණු යුද්ධයට සමගාමීව පැමිණයේය. අපි ඒ දෙකම බලාන දීලා බැලුවෙමු. ඇසෑමයේවත් නැති සාමය කෙසේ වෙතත් කුසට යමක් දෙන්න නම් හෙතෙම උත්සාහ ගත්තේය.
අදත් කෙල්ලං කොල්ලං පනං හතරක් හොයාන පණ ගැටගහගන්නේ උන්නැහේ ඇතිකළ ගාමන්ට (ඇඟලුම්) සංකල්පය නිසාය.
අර බෝට්ටුවකින්ද, පාරුවකින්ද කියන මොකෙන්දෝ එහෙකින් හම්බන්තොට පැත්තෙන් ගොඩබැස්ස බව කියන විහාරමහා දේවි ටයිප් එකේ නෝනා ඊළඟට ආවාය. (ඇය එන්න අර ඇන්දේ සූරියකන්දේ මිනී වළවල් හෑරීමෙනි)
ඇයගේ ගමන නම් පාරුවක් යාත්‍රා කරනවා වගේමය. පද්දපද්දාය. නළව නළවාය. ඒවටත් එක්ක රැවටී අපි දීල බැලුවෙමු. දෙන්නේ මොනවාදැයි බලන්න බලාගෙන හිටියත්, ඇය දෙන බව කීවත් පෙන්නුවේවත් නැත.
ලෝස් නැතුව අපට දෙන්න ආ ඇය අන්තිමේදී ගියේ චෞර රැජින නමින් ලියැවුණු පොතකට ඇතිවෙන්නම කරුණු සපයා දීමෙනි.
යුද්ධෙ කියන කන්ද ගිලපු මට ආර්ථිකේ කියන අග්ගලාව මොන කජ්ජක් දැයි අසමින් මහින්ද ලොක්කා ආවේය. අපිත් කජ්ජ කන්න දීලා බැලුවෙමු. එහෙත් කන්න වූයේ කජ්ජ නෙමේය. (හිතාගනිත්වා)
අපට කොරන්න හෙතෙම චින්තනය ගෙනාවේය. චින් කෙසේ වෙතත් අනිත් හරියවත් අපට ලැබුණෙ නැත. එසේ වුව සද්දෙත් එක්ක යුද්ධෙ විකුණ විකුණා සුද්දේ දැම්මත් යුද්ධෙ නැති කරන්ඩ යමක් කළේය.
ඊළඟට ආවේ සක්‍රදේවේන්දරයාගේ ජයපුරා සක (හක්ගෙඩිය) පවා පිඹගෙන, කැලණි ගඟෙං අරූ..ඌ.. කවුද මේ මේ කහපාට වස්ත්‍රයක් පොරවා ගත් මහකෙළ නාග රාජයාගේ පෙණ ගොබේ උඩ පිපුණු පොහොට්ටු මස්තක්ප්‍රාප්තවැ දහරමංඩිය ගොතාන වැඩිල්ලක් වැඩ්ඩේ රට හදන විරුවාය. විරුවෙකුට නොදී පරයෙකුට දෙන්න දැයි අසමින් නොදී බැරි නිසා දීලා බැලුවෙමු.
ඌ තෙමේ කියත් පටිය නොව කියතම ගෙනාවේය. එහාට කැපුවේය. මෙහාට කැපුවේය. අපේ බෙල්ලම කැපුවේය. අහවල් දැක්මත් ගෙනාවේය.
අප්පුච්චේ…ඒ..ඒ. විරුවා පැදුරටත් නොකියා පැන දීවේය. ගොතාන ආවත් ඔතාන දිව්වේය. ඒ දුවන ගමනට අතේ වියදමට තිබුණු පොඩි සල්ලි ටික (රුපියල් එක්කෝටි හැත්තෑ ලක්‍ෂය) ගන්ඩ අමතක වී තිබිණි.
ඔන්න පිනෝ කනුං කියන්නා සේ දැං අපේ කෙරුම්කාර අනුර මල්ලියා එන්ඩ දඟලන හැටි පෙනේ. එහෙත් පෙනේ නම් කොහොම එකක් දැයි කියන්ඩ නම් බැරිය. හරියටම පෙනේ නොපෙනෙන නිසාය. මල්ලියාගෙන් කෙසේ වෙතත් හිටපු පුල්ලියලාගේ ඉතිහාස කෙරුම් පොජ්ජනම් කියලා වැඩක් නැත.
හැත්තෑඑක (1971) අසූනමය (1989)මතක් වෙන විටත් ඇඟේ හිරිගඩු (සීත බිබිලි) පිපෙන ගානය. සිවිඩි පොළන (වෙව්ලන) ගානය.
එහෙත් සියලු දෙනාම එක වාගේ නොවන නිසා මතවාදද වෙනස්වන බවද කිවයුතුය. ඒවා වළක්වන්නට අපට අවශ්‍යතාවක්ද නැත.
අපේ මැගී අක්කා පවා කියන්නේ දීල බලමු මල්ලියේ යන්නය.
මැගි අක්කේ දීපං කියන්නත් බැරිය. මැගි අක්කේ එපා කියන්නත් බැරිය. කොන්තනෝනගේ දේ කොන්ත නෝනට ඕනෑ හැටියට නොවැ.
අනුර මල්ලි, රට වටේ තියෙන මූදෙ මාළු අල්ලලා අපට ඕනැ කරෝල සැමන් අපේ රටේම නිෂ්පාදනය කරන්න පුළුවං බව කියයි. එප්පාවල පොස්පේට් ගැන කියයි. එහෙත් ඒවාට වෙළෙඳපොළක් මතු කරගන්නා හැටි නොකියයි. කොයි රටෙන් ආධාර ගන්නේ දැයි නොකියයි.
අරිසෙන් අහුබුදු මහත්තයලාගේ කණ්ඩායමක් දේශීය (සිරිලක දේ සිරිසැප දේ) නිෂ්පාදන ඉස්මතු කර දැක්වූවා පමණක් නොවේ. ඒවා නිපදවා වෙළෙඳපොළටද එක්කර ආදර්ශයෙන් පෙන්නුවේය. (යථාවාදී තතාකාරී-තතාවාදී යථාකාරී) කාලයක් හිස්පොල්ලේ යාමට තරං පිස්සු කෙළිය හැම අතින්ම යහපත් (හතර පැත්තෙන්ම භද්‍ර) උන්නැහේ මේ වෙනකොට කාන්තාවන් හැට හැත්තෑවක් යොදවා Agricultural Heram නමින් කුරුණෑගල පැත්තේ ගොවිපොළක් පවත්වාගෙන යන බව අසන්නට ලැබේ. ඒ වගේවත් කෙරුවනං ටොප්ස්ය.
දිව්‍ය ලෝකෙ සිටින හිතූපැතූ සම්පත් දෙන එළදෙන (සුරබිදෙන) ගැන මෙතෙක් සිටි හැමෝම ගන්ඩ (බලය) ඉස්සර ඔයවගේ සුරංගනා කතා අපට කියා දුන්නෝය. එහෙත් ගත්ත ගමන් සුරබි දෙන ඔවුන්ගේය. අපට යමක් දෙන්ඩ ගිය කල දෙනගේ බුරුල්ල තියෙන්නේ කොහේදැයි යන්නවත් ඔවුනට හොයාගන්න බැරි තරම්ය. ධර්මසේන හාමුදුරුවන් සද්ධර්මරත්නාවලියේ කියන්නා සේය. බුරුලු තබා අඟින් කිරි දොවන්නාසේය. (බුරුල්ලෙන් නොව අංවලින් දොවන්නට යන ගානය)
මල්ලිගෙ කතා පොජ්ජනං මසුරංය.
ටී.වී. එකේ කතුර, සටන, ඔන්න ඔය වගේ වැඩ සටහනකදී (මහල්ලා සහ මුහුද – ටෝල්ස්ටෝයි ලියූ බව කී) විමල් වීරවංශ ලොක්කාගේ කතාවට පිළිතුරු දුන් වි.ජ.මු. පණ්ඩිතයා කීයේ වාක්‍ය රචනයට හොඳටම ලකුණු දෙන්න පුළුවං බවය. ඒ වුණත් රොෂාන් රණසිංහ වාහන හොරකමකට මාට්ටු කරන්න ගිය වෙලේ ඊට එරෙහිව පාරලිමේන්තුවේදී එක වචනයක් හෝ කතා නොකර ලාඋළු කෑ පුංචි මහත්තයකු සේ සිටීම නම් අපේ හිතට ටිකක් දුකය.
චන්ද්‍රසේන මාරසිංහ










