අලි ඔළුව. අලි ඔළුව කියපු ගමන් අපට මතකයට එන්නේ ඔළුව ලොකු මිනිස්සු. නැත්නම් අහංකාර මිනිස්සු. හැබැයි අලි ඔළුව අපේ ජීවිතවලට හරි ළඟයි. පුල්ලෙයාරේ දෙවියෝ, ගණ දෙවියෝ අලි ඔළුවක් සහිත දෙවි කෙනෙක්.(Sri Lanka Latest News)
පුල්ලෙයාරේ දෙවියන්ව නිර්මාණය වෙන්නේ දකුණට වෙද්දී, බස්නාහිරට වෙද්දී අධ්‍යාපනය මූලික කරගෙන වුණාට වැව් ගම්මානවල මිනිස්සු පුල්ලෙයාරේ අදහන්නේ ගොවිතැන් බත් සරුසාර වෙන්න බවබෝග අස්වනු වැඩිදියුණු වෙන්න කියන බලාපොරොත්තුවෙන්. මිනිස් සිරුරකට අලි ඔළුවක් දීලා මේ දේව රූපය නිර්මාණය කරගෙන තියෙන්නේ සංකල්පමය වශයෙන් අලියා කියන විශාල සත්වයාගෙන් ආරක්ෂා වීම කියන දේ බලාපොරොත්තුවෙන් කියලයි අපිට හිතෙන්නේ.
ඒක යම් යම් විශ්වාසවල යම් යම් ඇදහිලිවල තියෙන අපූර්වත්වයට හේතුවක්. ඒත් මේ කතා කරන්න යන්නේ අලි ඔළුවක් ගැන වුණාට, මේ අලි ඔළුව අයිති වෙච්ච මනුස්සයෙක් නෑ. හැබැයි අලි ඔළුවට වැරැදි මනුස්සයෝ ඉන්නවා. අලි ඔළුව වැවකින් හම්බවෙනකොට අත පය නැති මනුස්සයෙකුත් තව තැනකින් හම්බවෙනවා. එතකොට අලි ඔළුවක් සහ අතපය නැති මනුස්සයෙක් දවස් කිහිපයක් තුළ සොයාගැනෙනකොට අපට හිතන්න කාරණා කිහිපයක්ම තියෙනවා. මේ කාන්තා සිරුරු අපට හම්බවුණු පළමු වතාව නෙවෙයි.
කාන්තා මළසිරුරු අපට හම්බවුණු හතරවැනි පස්වැනි වතාව වෙන්න ඇති. සමහර විට ඊටත් වැඩි ඇති. සූට්කේස් එකේ සිද්ධියෙන් පස්සේ කිහිප වතාවක්ම මේ විදියට කාන්තාවන් මියගිය අවස්ථා අපට දැනගන්න ලැබුණා. මේ කාන්තාව කවුරුත් මහපොළොවට ඕපපාතිකව ජනනය වෙච්ච අය නෙවෙයි. මේ අම්මලගේ තාත්තලාගේ දරුවෝ. මේ මිනිස්සු. හැබැයි මිනිස්සු මියයනකොට ඒ මරණ සම්බන්ධව වැරැදිකාරයෝ ඉඳලා හිටලා අත්අඩංගුවට ගන්නකොට මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සු මරණකොට අමානුෂික වෙනකොට, අතපය කපලා මරලා දානකොට මේ අමානුෂික බව ගැන ප්‍රශ්න කළ යුතු තැනක් රට ඇතුළේ නිර්මාණය වෙමින් යනවා.
ඒ අතරතුරේ අලි මළ සිරුරු තුනක් සොයාගැනීම, අලින් මරාදැමීම, අලින් ඝාතනය කරලා, උන්ගේ බෙල්ල, හොඬවැල කපලා, කෑලි කෑලිවලට වෙන් කරලා මරාදැමීම කියලා කියන්නේ ඉතා භයානක තත්ත්වයක්. මොකද මේ සියලු දේ ඇතුළේ එළියට එන්නේ ම්ලේච්ඡත්වය සහ අමානුෂිකත්වය.
මේ සියල්ල අස්සේ අපට තව කාරණයක් හදිසියේ මතක් වෙනවා. ඒ තමයි අපිට තවමත් පොලිස්පතිවරයෙක් හොයාගන්න බැරිවීම. පොලිස්පතිවරයෙක්ව ඉල්ලමින් හොයමින් පොලිස්පතිවරයෙක්ව ලැබේ යැයි ප්‍රාර්ථනා කරමින් ඉන්න අස්සේ දිගින් දිගටම හිටපු පොලිස්පතිතුමාට සේවා දිගු නිර්මාණය වෙනවා. දැන් මේක සමහර විට ඔහුටත් ඇතිවෙලා ඇත්තේ කියලා අපට හිතෙනවා. මොකද මාසෙන් දෙකෙන් මාස තුනෙන් මාස හතරෙන් ආයෙත් ඔහු පොලිස්පතිවරයා බවට පත්වෙනවා.
මේක රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. රටක ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් විය යුතු ප්‍රධානතම නිලය තවම පුරවාගත නොහැකි හිස් තැනක් වෙනකොට රටක් ඇතුළේ දහස් ගණන් ප්‍රශ්න නිර්මාණය වෙනකොට රට ඇතුළේ මිනිස්සු මියයනකොට මේ තර්ක විතර්ක සියල්ල අස්සේ අපි අසරණ වෙනවා අනන්ත අප්‍රමාණව.
මේ මරණ පිටිපස්සේ තියෙන්නේ වේදනාවේ හඬ හෝ භයානකත්වයේ හඬ හෝ දුක හිතෙන කතන්දරය නෙවෙයි. ඊට වඩා මේක ඇතුළේ තියෙනවා අමානුෂිකත්වයක්. ඊට වඩා මේක ඇතුළේ තියෙනවා හිත්පිත් නැති බවක්. ඒ නීතියේ ලිහිල් බව, නීතියේ දුහුල් බව නිසා, අපරාධ සරල වූ නිසා හෝ මනුෂ්‍යත්වය ලාභ වූ නිසා විය හැකියි. මේ සියල්ලටම වගකිව යුත්තෝ කවුදැයි අපි බලා සිටිනවා. අප විසින් ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට බැඳී සිටින්නා කවුදැයි අපි නොදන්නාමුත් ඒ බැඳී සිටින්නවුන් තැන් තැන්වල නාඩගම් නටන අයුරු අපිට පෙනෙමින් තියෙනවා.
ඔබට මතක ඇති පහුගිය දවසක අපි මේ පුවත්පතේම ලියා තැබූ ලිපියක තිබුණා ගස්ලබු ගෙඩි තුනක් කඩාගත් වරදට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පුරවැසියෙක්ගේ කතන්දරය. ගස්ලබු ගෙඩි තුනක් කඩාගත් පුරවැසියා සොයාගත් ඉක්මනින්ම මේ අලි ඔළු කපාදැමූ මිනිසා හොයා ගන්නවා නම් එය රටට යහපතක් වේවි. කෙසේ නමුත් මෙසේ අලි ඔළුවලට වගකිව යුතු අලි ඔළුකාරයෝ තවමත් මහ පුටුවල වැජඹෙන බව නම් අපට අමතක නෑ.
සියඹලන්ගමුවේ මහ ඇතා මියයන්නේ අලි ඔළු සහිත පාලකයන්ගේ අලි ඔළු තීරණ නිසාවෙන්. ඒවා අලි ඔළු නිසා සිදුවූ මරණද, එහෙමත් නැත්නම් අලි ඔළුව සහිත පාලකයන් විසින් අලි ඔළුවට ලෝභකමින් කරපු ඒවාදැයි අපි දෙපාරක් තුන්පාරක්ම සිතිය යුතුමයි. එය එසේ වන්නේ කුමන හෝ කාරණයක් නිසා ඒ ඇතා මියගිය පසු අලි ඔළුව කපාගෙන යන්නට බොහෝ වෙරදැරූ නිසාවෙන්. එහෙම වෙර දැරීම ඇතුළේ තිබුණේ සද්භාවයෙන් මරණ පරීක්ෂණය කිරීමද, එහෙමත් නැත්නම් ඇත් දළවලට වූ ප්‍රේමයදැයි අපට ගැටලුවක්. ඇත් දළ ප්‍රේමීන් අපේ රටේ බොහෝ සේ ඉන්නවා.
අලි ප්‍රේමීන් ඇත් ප්‍රේමීන්ටත් වඩා ඇත් දළ ප්‍රේමීන් වැඩියි. ඇත් දළ ප්‍රේමීන් අතර ඇත් දළවල වූ පෞරාණික බවටත්, ඇත් දළ තුළ වූ ගජමුතුවලටත් ප්‍රේම කරන දේශපාලකයන් පාලකයන් මහ පුටුවල වැජඹෙන්නන් ගැන අප අසා තිබෙනවා. වනය රකින්නට පත්කළ මහ ලොකු තනතුරු දරන්නන් වනයට ආදරය නොකරන බවත්, වෘක්ෂ දේවතාවියන් යැයි පෙනී සිටිමින් මහ පොළොව ආරක්ෂා කරගන්නට හුස්ම සමග සටන් වදින්නට ආ සමහර දේශප්‍රේමීන් හැබෑ ප්‍රේමීන් නොවන බවත් දැන් අපට දැනෙමින් තියෙනවා. එතකොට තමයි අපට දැනෙන්න පටන් ගන්නේ අපි අසරණ වෙලා වගේ කියලා. කොහොම නමුත් මේ කතන්දර එක වෙලාවෙම එළියට එද්දී අලි ඔළුවක් සහ මිනිස් ඇඟක් ගැන කතන්දරයක් අපිට ඉතුරු වෙනවා. කැපූයේ කවුදැයි නොදන්නා මුත් කපා දමන්නට තරම් ශක්තිය ඇත්තවුන් සිටීමම අපට ප්‍රශ්නයක්.
ජීවන පහන් තිළිණ










