අපේ සිංහල භාෂාව ඉතාම උසස් එක ලෙසට මවිසින් ප්‍රකාශ කරනු ලැබ චරිත සහතිකයක් දීම වනාහි මගේ අඥානකම සහ උද්දච්චකම ලෝකයාට ප්‍රදර්ශනය කිරීමක් යැයි මගේ හැඟීම නොව සම්පූර්ණ සත්‍යයමය. මන්ද මට (ලියුම්කරුට) යාන්තමින් සිංහලෙන් කතාකිරීමට සහ ඒ අන්දමින්ම වාක්‍යක් දෙකක් ලියාගත හැකි වීමක් විනා අපේ භාෂාව සම්බන්ධව පරතෙරට ගිය දැනුමක් නැති හෙයිනි.(Sri Lanka Latest News)
සිංහල ගැන එසේ නම් වෙනත් භාෂා ගැන එවන් දැනුමක් පවා නැති කල ඒවා ලඝු කොට අපේ භාෂාව පමණක් උසස්ම එක යැයි කීම අරුත් සුන් ආකල්පයක් නොවන බව බුද්ධිමත් ඔබද පිළිගනු ඇතැයි සිතම්හ. එහෙත් අපට ඕනෑ දේ අපට ඕනෑ හැටියට කියාගන්නට අපට අපේ භාෂාවෙන් හැකියාව ඇතැයි කීම නම් සත්‍යයකි.
යම් පදවියක් හෝ බලයක් හෝ ලද එකෙකු එය දරාගත නොහැකිව අන් මත පිටුදැක පිස්සු කෙළිනවා නම් “කටුස්සගෙ කරේ රත්තරං බැන්දා වගේ” යැයි කීම උචිතය. එසේම පලියා (බල්ලා) වෙල්ලෑවට නැග්ගා වාගෙ, මෝල්ගස් ගිලපු ගැරඬියා වාගෙ යනුද පරියාය වේ.
“බරණිඳු ගෙලෙ වසන නා රජ වෙමින් ගරු
ගුරුළිඳු වෙතින් ඇසි කිමැ යහළු තොරතුරු” යනුවෙන් අලගියවැන්න මුකවැටි උන්නැගේ ලොකු කතාවක් කෙටි කර කීවේ ඕකමය. එහෙත් “අං ආවා වාගේ” ඔහොම පුම්බාගෙන හිටපු උන් වැටුණහම බල්ලොත් කටට මොනවදෝ වක්කර යතැයි කියති. එවිට පැන්සොං ගිය පොලිස්කාරයා වගේ යැයි හඳුන්වනු ලබන්නෝද ආන්න ඒ “ඇච්චෝ”ය. (අපේ ගමේ ඉස්සර භාෂාවේ වචනයකි).
සුනඛ ධේනුවන්ගෙ පුත්‍රයනට අපහාස නොවේවා.
ඔවුන්ට ලොං හැලුණු බල්ලො වගේ යැයි කීවාටද කාරි (කමක්) නැත.
මහත්තයෙකුට බූරුවා කීම අපහාස කිරීමක් වශයෙන් සලකා නඩු ගත හැකි වරදක් බව සැබැවි. එහෙත් බූරුවකුට මහත්තයා කීම නම් එසේ වන්නට බැරි නැත. එසේ නම් ඔය සිද්ධාන්තය ඕනෑම නාම පදයකට වුවද ආදේශ කිරීමේ වරදක් වේ නම් නීතිවේදීහු පැහැදිලි කරදෙත්වා. ඒ නිසා තනතුරු, බලය යනු රදවගෙ (ඩෝබි) පිරුවටේ වාගෙ යැයි පැරැන්නන් කීවේ ඔන්න ඔය කරුණු කාරණා නිසා මිස හබරල කා කට කහනවාට නොවේ.
‘නම්බු කාරකං නිලේ තියෙනකං
අහංකාරකං බලේ තියෙනකං
ගණං කාරකං හයිය තියෙනකං
මේ ඔක්කොමකං පණ ටික යනකං’
කැඩිච්චි රෝද දෙකේ බයිසිකලේ පැදපු උන්ට රජයේ (මහජන) වාහනවල යන්ට ලැබුණු විට ඔක්කොම අමතකය. ගොලෑ හොරුන්ට අතේ ලොලෝ (ලෙවකා) කහට බීපු හැටි අමතකය. නෙලුම් කොළේ බතේ ඔතාන (ඔතාගෙන) ගෙනාපු එකාට රාජ භෝජන ගිල්ල විට කොළේ අමතකය. කෝච්චියේ මාල කඩාපු එකා සිරාටත් (සිරිසඟබෝටත්) වඩා ධාර්මිෂ්ටය. පම්පෝරි රජාණෝය. කාකිකෝට් එකක් වැනෙන විට කසිප්පු බූලිය කරේ තියාගෙන කටු අකුල් දෙපරැන්ද අස්සේ දමාගෙන දුවපු එකා… කියලා වැඩක් නැත. ඇයි හොරහරක් පටෝපු එකා. ඔය බලයේ හැටිය. වෙස් මාරුවෙන අන්දමය. චේන්ජ් එක කියන්නෙත් ඔන්න ඕකට වෙන්ඩ ඕනෑය. (වෙන්ඩ ඕනෑය, එන්ඩ ඕනෑය, යන්න ඕනෑය යන ශෛලිය තියෙන්නේ එදිරිවීර සරච්චන්ද්‍රතුමාගෙ ‘මළගිය ඇත්තෝ’ පොතේය. මිනිස්සු එන්නෝය. මිනිස්සු යන්නෝය. එන්ඩනං යන්නම ඕනෑය.)
එහෙත් අපේ කනගාටුව නං ආපු කෙනා යන පාටක් නැති එක ගැනය. නොයන පාට පේන්ටම තියෙන හිංදාය.
ඒ විතරක් නම් මදෑ. විළිස්සන්නේය. නියවන්නේය. බුරාගෙන පනින්නේය. ඒ ගෙදර උදවියට සේම මේ දක්වාම ගෙදර බලාගත් ගෙදර දේපොළ ආරක්‍ෂාකර වැඩපළ ටික හොඳට බලාගත් සේවක කාරකාදීන්ටය.
ඉස්සර මෙයා කන්ඩ මොනවත් හොයමින් හැමතැනම ඉව අල්ල අල්ලා යනවිට ‘ඉජුහ්’ කීවිට නැට්ට අහවල් දිහා හංගාගෙන දුවගෙන ආවේය.
ඉස්සර ‘හව් හව්’ කියමින් ඉංගිරිසියෙන් කියපු කෙනා (ඊට හේතුව රොබට් නොකස්ලා සමග එංලගලන්තයේ සිට පැමිණි පරම්පරාවෙන් පැවැතෙන නිසාය) දැං අනිත් අයට ‘ෂටප් ඇන්ඩ් සිට් Shut up and sit භාෂාවෙන් කියන්නේය. දැං ඉතිං අම්මේ මුත්තේ කීවත් මෙයා නං යන්ඩ ලෑස්ති නැත.
ඩොනමෝර් උන්නැහේ අපට වර්තමාන පාලනය නිර්දේශ කළ වාර්තාවේ නවසිය තිස් ගණන්වල සඳහන් කෙළේ මිනිසුන් විසින් මිනිසුන් සඳහා මිනිසුන් අතරින් නිර්මාණය කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් බවය. By the people for the people of the peopleය.
එහෙත් දැං තියෙන Shut up and sit කෙරේමෙ (ක්‍රමය)ය. පේන හැටියට වලිගෙ පෑගී තියෙන්නේ උන්නැහේටද අපටද යන්න පවා හිතාගැනීමටද නොහැකිය. මෙයා වැදුවේ (ප්‍රසූථ කෙරෙව්වේ) මයිනලාය. උප්පැන්නෙ දුන්නේත් ඌලාය.
හැබැයි ඕක හැමදාටම තියාගන්ඩ බැරි බලයකි. ඇත්තේ දිමිගෝඨාගේ කෑල්ලේ ඉතුරු කොටස පමණකි. ඒ කාලය අවසන් වූ විට නිකම්ම නිකං සුම්මාය. එහි අර්ථය රඟන්නට ඇත්තේ “හුංගා”ගේ කොටස බවය. හුංගා යනු වෙනත් කෙනකුගෙ වැඩ කොටස ඉටු කරන්නාය. ඒ පවත්නා කාලය අවසන් වූ කල හුංගාගේ උපදෙස් කිසිවකු පිළිපදින්නේ නැත. නීතියට පටහැනි නියෝගද නොකෙරෙන්නේය.
අරගලයේ කොල්ලන් අරලියගහ මන්දිරයේ තාප්පෙ පනින විට කිසිවෙක් නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක කෙළේ නැත. ඔය ටික මහජනතාව දැනුවත් වීම සඳහා පමණක් දැනට සෑහේ.
අපේ “ගෝටයියා” (“ට” අක්‍ෂරය වෙනුවට ගැළපෙන “අක්‍ෂරයක්” දමාගත්තත් කාරි නැත) නොහොත් දිමි ගෝඨා ‘ගම සමග පිළිසඳර’ ලෙසින් මොකක්දෝ මඟුලක් නැටුවේය. ඒ තමන්ගෙ හිතේ ඇති ද්වේෂය පාකර ගැනීමට මෙනි. ඒක උැරුලෑවා ගිය පාර වගේය.
රාජ්‍ය නිලධාරීන්ට කතා කෙළේය. මහජනයාට ඇහෙන්නට අම්ම මෝ නැතිවෙන්ඩම බැන්නේය. හෑල්ලු කෙළේය. පලිච්චි කෙළේය. දූෂණය නාස්තිය නැතිකරන්ඩ බැරි මුන් නිසා බව රටට ඇහෙන්න පාරම් බෑවේය. රාජ්‍ය පරිපාලනය ගැන මෙලෝ හසරක් නොදන්නා අයකු මහාචාර්ය කෙනකු සේ රැඟීමය.
අනෙක් අතට ඒක හරියට වෑයේ උපමාව වාගේ යැයි අපේ ගමේ පීටරා උන්දෑ කීවේය. (ලීවල ඇදය අරින්ඩ ඇති වෑය (ආවුදය) ඇදය සහිතය) දූෂණ නැතිකරන්ඩ කතා කරන්නේ ඊටත් වඩා හත්කූරු (ඉතාම නරකයි යන්න කීමට යොදන ගැමි වචනයයි) එකෙකි. පල් හොරෙකි.
ඒ ශුද්ධවන්තයා රුපියල් කෝටි පහළොවකට ඇමෙරිකාවේ නිවෙසක් මිලට ගත් බවට රන්ජන් රාමනායක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ල කෙළේ මේ ලියුම්කරු සමග ගොස්ය.
(මෑන් පස්ස දොරෙන් පැන දුවන විට අත්හැර දමා ගිය රුපියල් දෙකෝටියකට ආසන්න මුදල ගැන පමණක් සිතා බලත්වා.) ඒ සාන්තුවරයන්ගේ හැටි සුබාවයය.
කාක්කාද ඔය වගේමය. මල්වානෙ ඇටවූ (ගොඩනැගූ) මාලිගාව සහ මහරගම ක්‍රීඩාපිටිය ගැන එල්ලවූ චෝදනා යටපත් කර “සුංමදනා” කියමින් පිලාත් මෙන් අත සෝදාගත්තේය.
එසේම මහජන ගිණුම් කාරකසභාවේදී (Public account committee-P.A.C) “කවුද ඕයි Audit එකට බය යැයි වහසි බස් දොඩා ”විගණන නිලධාරීන් Audit officers ප්‍රමුඛ සෙසු රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ බිරුවේය.
ප්‍රේමදාස මහත්තයා අගමැති වශයෙන් සිටියේය. ජනාධිපති වශයෙන් රාජකාරි කෙළේය. රාජ්‍ය නිලධාරීන්ට ඔය අන්දමින් පලිච්චි කෙළේ නැත. ගරු කළ යුත්තාට නියම ගෞරවය With Due Respect දුන්නේය. දුටුගමන් දක්‍ෂයන් හඳුනා ගත්තේය. ඔවුන්ගෙන් රටට වැඩක් ගත්තේය.
කතරගම ගම්උදා උත්සවයට දින දෙක තුනක් තිබියදී වැඩබිමේ දෙතුන්දාහක් වැඩ රාජකාරියේ යෙදී උන්හ. ඒ අවස්ථාවේ ගොඩනැලිල්ලක ඉහළ බිත්තියක පලංචියක් උඩ සිට තීන්ත ආලේප කරමින් සිටි පිරිසෙන් කෙනකු පාන්දර එකට පමණ “බඩගිනියි අනේ අගමැතිතුමාවත් හිටියනං” යැයි නිකමට හයියෙං කීවේය.
පිනි බානවාට සාළුවක් හිසේ ඔතාගෙන වැඩකරන දෙස බලා සිටි අයෙක් වහාම එහි සියලු පිරිසට ඒ මොහොතේම කෑමත් බීමත් සපයා දුන්නේය. ඒ ප්‍රේමදාස මහත්තයාගේ හැටිය. සේවකයන් ගැන සොයාබැලූ අන්දමය.
මේ ලියුම්කරු මොනරාගල රාජකාරි කරන සමයේ (1980 දී තරම) රඹුක්කන සිට යන එන අතරතුරේ ඇඹිලිපිටිය ආසන්නයේ නිවෙසක් ඉදිරියේ ඉතා අලංකාර ලෙස සකස් කළ වලස් ඇඳිරිය වැටක් තිබුණේය. අඩි පනහක් තරම් දිගට වත්තේ මායිම දක්වා තිබූ එහි මස්තකය සකස් කර තිබුණේ ලොකු ගෝලාකාර විදුලි බුබුළු පෙළක් ආකාරයෙනි.
වාහනය නවත්වා ඒ දෙස බලා සිටියදී නිවෙස් හිමිකාර මැදිවියේ තැනැත්තා අවුත් කීවේ ඒ තම පුතාගේ වැඩක් බවය. ඒ අවස්ථාවට පැමිණි ඒ ඉලංදාරියා තමා උසස් පෙළ සමත්ව රැකියාවක් ලැබෙන තුරු සිටින අතර නිකං සිටිනවාට මෙසේ මල්වැට සකස් කළ බවය.
ඊට මාසයකට පමණ පසුව මම (ලියුම්කරු) යළිත් එහි රැඳුණු විට තාත්තා පමණක් ආවේය. “කෝ පුතා පේන්න නැත්තෙ” ඇසුවේය.
“අගමැතිතුමාත් (ප්‍රේමදාස මහත්තයා) දවසක් මේ පාරෙ යනකොට ඔය වාගෙ නවත්තල පුතත් එක්ක කතා කෙරුව”.
“ඔයා කැමති නැද්ද පිඟන් සංස්ථාවෙ රස්සාවකට යන්ඩ? අගමැතිතුමා ඇහුව සර්” ඔහු මට කීවේය.
මේ ටික කීවේ අපේ රටේ මෙහෙමත් අගමැතිවරයකු සිටි බව නොදන්නවුනට කියා දීමටය. ඔහු සේවකයනට සැලකූ අන්දම ගැන කීමටය. දුටු ගමන් දක්‍ෂයකු හඳුනා ගැනීමේ අරුම පුදුම හැකියාවක් ඔහුට තිබූ බව කීමටය. එහෙත් දැන් දේශපාලන ක්‍ෂේත්‍රයේ සිටින්නෝ ප්‍රේමදාස මහත්තයාගේ මයිල් ගහක් තරම්වත් වටිනාකමක් නැති පඟරනැට්ටෝය.
අපේ රටේ තැපැල් දෙපාර්තමේන්තුව ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති කීර්තිමත් රාජ්‍ය ආයතනයකි. මා කුඩා කාලයේ බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරුණු (මේ දක්වාත් ධාවනය කෙරෙන) දුම්රියේ ලියුම් (තැපැල්) ප්‍රවාහනය කිරීම සඳහා වෙනමම මැදරියක් තිබුණේය. එයත් මේ දක්වාම එසේම තිබේ. ඒ මැදිරිය හරියට තැපැල් කාර්යාලයක් බඳුය.
තැපැල් කාර්යාලවලට වෙලාවට භාරදෙන්නට බැරිවූ ලියුම්ද ඒ දුම්රියට භාරදීමට එකල බොහෝ දෙනා පුරුදුව උන්හ. එසේ ලැබෙන ලියුම් තෝරා දැමීමට රාක්ක (පිජන් හෝල්) වෙන්කළ කොටසක් තිබේ. නිලධාරීහුද හත්අට දෙනෙකි.
ඒ දුම්රිය මැදිරියේ දෙපැත්තේම ලොකු අකුරින් ROYAL MAIL යන්න ලියා තිබුණේය. ඒ දුම්රිය ඒ කාලයේත් මිනිසුන් අතරේ මේල් එකය. අදත් මේල් එකය. එහෙත් එනවුන්ස් කෙරෙන්නේ රාත්‍රී අටයි පහළොවට බදුල්ල බලා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය වශයෙනි. ඒ දුම්රිය ඒ දවස්වල වටිනාම දුම්රියයි. වතුවල පඩි (වැටුප්) ගෙවීමට සුද්දන් සල්ලි ගෙන ගියේ මේ දුම්රියේ බැවිනි.
හැත්තෑ දෙකෙන් පසුව ඒ වෙනුවට රජයේ තැපැල් සේවය යන්න ලියැවුණේය. තැපැල් දෙපාර්තමේන්තුව “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවකි. ‘ඒ’ ශ්‍රේණියේ යනු රජයට ආදායම් උපයා දෙන ආයතනයකි.
ඒ සමයේ රජයට වැඩිම ආදායම ලබාදුන්නෝ පෙම්වත්තුය. ඒ තැපෑලෙන් පෙම් කළ නිසාය. කෙල්ලන්ට කොල්ලන්ට තැපැල් පියුම් හිතූපැතූ සම්පත් සදන කප්රුක වගේය. ඔහු එනතුරු ඇඟිලි ගැන්නෝය. මේ කාලයේ රේගුව, සුරාබදු සහ දේශීය ආදායම් දෙපර්තමේන්තු බඳුය. දෙපාර්තමේන්තුව ඇද දැම්මේ විවෘත ආර්ථිකය රට ආක්‍රමණය කිරීමෙනි. තැපැල් නියෝජ්‍ය ආයතන නමින් පෞද්ගලික තැපැල් කාර්යාල ප්‍රසූථ වීම නිසා රාජ්‍ය ආදායම බින්දුවටම බැස්සේය. ජංගම දුරකතන වෛරසය පැතිරීමත් සමග තැපල් පණිවුඩ සේවය, TELEGRAM වඳ වුණේය.
ඔය මාමණ්ඩිගෙ කාලයේය. දැං බෑණන්ඩියා ලංකාවේ ඇති ඓතිහාසික නුවරඑළියේ තැපැල් කන්තෝරුවත් ඉන්දියාවට දෙන්ඩ දඟලයි. දැක්ක නේද ඔහේලා පෝස්ට්මාස්ටර් ජනරාල් උන්නැහේට පෙන්නපු ගෑස්.
මගේ මිත්‍රයකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියකුද වන නුවරඑළියේ ඒකාබද්ධ වෙළෙඳ සංගමයේ සභාපති ඩග්ලස් නානායක්කාර මහතා පැවැසුවේ නගරයේ කිරුළ හැටියට දිස්වෙන තැපැල් කාර්යාලය 1894 දී ඉදිකර ඇති බවයි. එහි ඇතුළත තිබූ සියල්ල තේක්ක දැවයෙන් සහ පිත්තල සහ පිත්තල බටවලින් නිර්මාණය (ඉදිකර) තිබූ බවයි.
ඔබ නොදන්නා තවත් කතාවක් තිබේ. ඉංගිරිසි පාලන යුගේ සිට රජගෙදර ආසන්නයෙන්ම තිබී 1975 දී සිරිමාවෝ මැතිනිය ලක්සලට පවරා දෙන ලද කොටුවේ රුපියල් කෝටි හත්අට සියයක් වටිනා ලක්සල ගොඩනැගිල්ල මතකද?
එය බැංකුවකට රුපියල් කෝටි පනහකට උකස් කරනු ලැබ ණය නොගෙවීමෙන් මේ වන විට දිරාපත් වන බව කිසිවෙක් නොදන්නේය. අනෙක් අතට එහි තිබූ ඉංගිරිසි යුගයේ සෝපානය පමණක් කෝටි පනහක් වටින බව එහි සේවය කර විශ්‍රාම ලද මගේ (ලියුම්කරුගේ) මිතුරකු වන ගණකාධිකාරීවරයෙක් කීය. එහි තිබූ සියලු තේක්ක දැවද හොරාගෙන ගියේය.
දැං ගෑස් දම දමා බල්ලෙකු වගේ බුරා පැන පැන හෝ ඉන්දියාවට දෙන්ඩ තියෙන්නේ උන්නෙ මවු දේවින්නාන්සේගේ දහරුවය. කාලයක් තිස්යේ ටයර් එක ටයර් (සංස්ථාව) සීනි එක, සිමින්ති එක, ප්ලයිවුඩ් එක, ලංලෝ එක ඔය ඔක්කොම දුන්නේය. රෙද්දක් ගන්ඩ තිබූ ලක්සලත් දුන්නේය. ළඟදී ලංකාවට සංචාරක සුද්දෙක් ආවේය.
අපේ ජනාධිපතිතුමා වරක් කී පරිදි ඒ සුද්දා රතුලූනු ගෙඩියකුත් සමග පාන් කාලක් කා වේල පිරිමසාගෙන අපෙන් කීයක් හරි ඉල්ලාගෙන ජාතියේ එකෙකි. මෑන් අඩු ගානට කොළොඹ රවුම් ගසන්නට ලෝකල් ගයිඩ් කෙනකුද අල්ලා ගත්තේය. ගයිඩා දන්නේත් බ්‍රෝකන් ඉංගිරිසිය. බතික් සරමක් ඇඳගෙන යන කෙනකු දුටු සුද්දාට රෙද්ද ගැන හිත ඇල්ලුවේය.
‘වට් ඊස් දැට් ක්ලෝත්?’ සුද්දා ඇසුවේය. ඒත් බතික් කියන්නට ගෝලයා දන්නේ නැත. ඌ කල්පනා කෙළේය. ලංකාවෙ හදන කෙමිකල් ලංකෙම්ය. ලංකාවේ ලෝහ ලංලෝය. ‘සර් දැටීස් ලංක්ලෝත්’ යැයි කීවේය. ඒ වායේ මිල ඇසූ කල අපේ එවුං සුද්දා සුද්ද කරන්ඩ ගනං කී නිසා මෑන් පස්ස ගැසුවේය. කොළඹ පාරවල් ටිකක් හුරුවූ පසු දවසක් සුද්දා තනි පංගලමේ මරදාන, මරියකඩේ පැත්තේ රවුමක් යන අතරේ ඒ පැත්තෙ අක්කා කෙනෙක් පේමන්ට් එකේ බතික් රෙදි විකුණනවා දුටුවේය.
උක්කුං පෙයාර් එකෙං තුන්කාලක් පේන හැට්ටය සමග චීත්තයක් ඇඳ බුලත්විටක් කකා සිටි ඇගෙන් සුද්දා “හව් ඊස් ලංක්ලෝත්” යැයි ගනං ඇසුවේය.
ඇය සිටි අයුරෙන්ම බුලත්විට සපමින් පාරේ දෙපැත්ත බලා සිනා සී “මහත්තයා ලං කොළොත් රුපියල් සීයයි, ඇතුල් කොළොත් දෙසීයයි” කීවාය.
අපටත් කියන්ඩ ඇත්තේ ඔන්න ඕකය.
චන්ද්‍රසේන මාරසිංහ










