‘ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයන් පසුගිය වසර 12ක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 56.5ක් (රුපියල් කෝටි 5,650ක්) විදේශ රටවල තැන්පත් කර ඇති බවට කරුණු හෙළිව තිබෙනවා. මෙරට ආර්ථික කඩාවැටීමටත් මේ තත්ත්වය හේතු වුණා. එම මුදල් ප්‍රමාණයන් එම අදාළ ව්‍යාපාරිකයන් විසින් වංචනිකව උපයන ලද මුදල් නොවුණත් ඒවා මෙරටට ගෙන ඒම සිදු නොකළ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට පත්වුණා.(Sri Lanka Latest News)
මෙලෙස අපේ රටේ මුදල් විදෙස් රටවල තැන්පත් කළ ව්‍යාපාරිකයන් අද වන විටත් එම රටවල විවිධ ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් මේ මුදල් අපේ රටට, ජනතාවට අයිති මුදල් වෙනවා. 2006 වසරේ අජිත් නිවාඩ් කබ්රාල් මහබැංකු අධිපති වශයෙන් පත්කිරීමෙන් පසුවයි මෙම තත්ත්වය උද්ගත වුණේ. එදා ඔහු එම තනතුරට පත්කරන විට මම විරුද්ධත්වය ප්‍රකාශ කළා. පසුව මේ තත්ත්වය යටතේ එම ක්‍රියාවලට විරුද්ධ වෙමින් එම රාජ්‍ය බැංකු කටයුතු අමාත්‍ය ධුරයෙන්ද ඉවත් වුණා. එම පත්වීම සිදුකිරීමට විරුද්ධවයි මම එසේ කළේ. කෙසේ හෝ මේ ආකාරයෙන් අපේ රටේ මුදල් විශාල වශයෙන් විදෙස් රටවල තැන්පත් කිරීම නිසා විදෙස් සංචිතයද පහත වැටුණා….’
මේ අමුතු ආකාරයේ කතාන්දරය කියා සිටින්නේ කවුරුන් විසින්ද? මෙයට දින කිහිපයකට පෙර අසන්නට ලැබුණු මෙම කතාව ප්‍රකාශ කර සිටින්නේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාය. කලකින් අසන්නට නොලැබුණු මෙම වගතුග මෙරට ආර්ථිකය කඩාවැටීමට හේතු දක්වමින් ප්‍රකාශ වන්නකි. එම වගතුගෙහි සත්‍යය හෝ අසත්‍යය ගැන අපි නිසි ලෙස නොදන්නෙමු. එහෙත් පසුගිය වසර ගණනාව පුරා මෙරට සිටින ප්‍රකෝටිපතියන් තමන්ගේ ධනය පරිහරණය කළ හැටි නම් රහසක් නොවේ. මෙම ප්‍රකෝටිපතියන්ට මෙරට සිටින නමගිය දේශපාලකයන් ගණනාවක්ද අයත් වෙති. විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා මෙම පසුබිම තුළදීම ප්‍රකාශ කර ඇත්තේ තවත් අපූරු කතාවකි. ඒ ගැනද සොයා බලමු.
‘ජාත්‍යන්තර පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් වන පරිදි ශ්‍රී ලාංකිකයන් විසින් රහසිගතව ඩොලර් බිලියන 09ක මුදලක්ද විදෙස් රටවල තැන්පත් කර ඇති බව ප්‍රකාශ වෙනවා. පසුගිය කාලයේ මෙලෙස මුදල් තැන්පත් කළ අයගේ නම්ගම් පවා ජාත්‍යන්තරයෙන් හෙළිව තිබුණා. ශ්‍රී ලංකාවේ අල්ලස් කොමිසම මේ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. එහෙත් එම තනතුරු කිසිවක් මේ වනතෙක් සිදුවී නැහැ. එම පරීක්ෂණ සිදුකිරීම සඳහා තවමත් ව්‍යවස්ථාදායක සභාව අවශ්‍ය පත්කිරීම් සිදුකර නැහැ. මෙලෙස එම කටයුතු ප්‍රමාද වන්නේ ඒ නිසයි. ඒ නිසා මෙම විමර්ශනයන් සිදු නොකිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාව භාරගත යුතුයි. පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? එම පත්‍රිකාවල මෙම ශ්‍රී ලාංකික ප්‍රකෝටිපතියන්ගේ නම්ගම් සහ අනෙක් විස්තර සියල්ලමද පැහැදිලිවම සඳහන් කෙරී තිබෙනවා…’
විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාගේ කතාව තවත් දීර්ඝව ගලායන එකකි. එහෙත් ඒ සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩක් නැත. ඔහු මෙම වගතුග පසුගියදා පාර්ලිමේන්තුවේදීත්, මාධ්‍ය සාකච්ඡාවකදීත් ප්‍රකාශ කර තිබිණි. ඔහු එහිදී දැඩි ලෙස අවධාරණය කර සිටියේ මෙරටට අයත් මුදල් විශාල වශයෙන් විදෙස් රටවලට අවසරයෙන් හෝ අනවසරයෙන් ඇදී යෑම හේතුවෙන් මෙරට විදෙස් සංචිතයන් හීනවී ගොස් ආර්ථිකය දරුණු ලෙස කඩාවැටුණු බවයි. මෙම ඇදීගිය මුදල් නැවත මෙම රටට ගෙන්වා ගැනීම අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ඔහු පෙන්වා දෙයි. එසේම දූෂිතව මෙම කටයුතු සිදුකළ පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළදීම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියි.
ජාත්‍යන්තරයෙන් ඇසෙන ‘පැනමා පත්‍රිකා’ (Panama Papers) සහ ‘පැන්ඩෝරා පත්‍රිකා’ (Pandora Papers) යන වගතුග දැනට වසර කිහිපයකම සිට අප රටට ඇසෙන කතාන්දරයකි. මේ වගතුග ගැන අවස්ථා කිහිපයකදීම අප දීර්ඝ ලිපි ලියා තැබුවෙමු. ලෝකයේ රටවල් රැසකට අදාළ වන මෙම වගතුග අප ශ්‍රී ලංකාවටද අදාළ වීම එයට හේතුවයි. ලෝකයේ සිටින විවිධ තරාතිරමේ ධනකුවේරයන් විසින් තමන් උපයාගන්නා මුදල් තමන් ජීවත් වන රටෙහි තැන්පත් නොකර, වෙනත් රාජ්‍යවල ඇති මූල්‍ය ආයතනවල හෝ වෙනත් රහසිගත ආයතනවල හෝ හොර රහසේ තැනපත් කිරීමේ ක්‍රියාවලිය මෙම ලියකියවිලි හරහා ප්‍රකාශ විය.
ශ්‍රී ලංකාවට මෙම වගතුග මුලින්ම අසන්නට ලැබුණේ මෙයට වසර 07කට පමණ පෙර, එනම් 2016 වසරේදීය. එවිට ප්‍රකාශ වී තිබුණේ පැනමා පත්‍රිකා පමණි. පැන්ඩෝරා පත්‍රිකා පසුව ප්‍රකාශ වූයේ 2021 වසරේදීය. මුලින් 2016 වසරේදී පැනමා පත්‍රිකා හෙළිදරව්වේදීම ශ්‍රී ලංකාව ගැන සඳහන්ව තිබිණි. එනම් ඉහත ආකාරයට හොර රහසේ මුදල් තැන්පත් කර ඇති ශ්‍රී ලාංකිකයන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත්ව තිබිණි. මෙම අතීතය ගැන සොයා බලමු.
පසුගිය කාලයේ මෙම රහසිගත ජාත්‍යන්තර ලේඛන හරහා මෙරට ශ්‍රී ලාංකිකයන්ගේ නාමයන් 60ක් ප්‍රකාශයට පත්කෙරී තිබිණි. එම වගතුග කෙසේදැයි සොයා බැලීමට ප්‍රථම පැන්ඩෝරා ලේඛන හෝ ලියකියවිලි යනු කුමක්දැයි අවබෝධ කර ගනිමු. පැන්ඩෝරා පේපර්ස් යනු ලෝකයේ තිබෙන ප්‍රධානතම පිළිගත් එමෙන්ම ප්‍රබල ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් වන ඉන්ටර්නැෂනල් කොන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට්ස් (International Consortium of Investigative Journalists) නමැති සංවිධානය විසින් සිදුකරනු ලබන ප්‍රකාශයක් නොහොත් හෙළිදරව්වකි. මෙම සංවිධානය සිංහල බසින් අර්ථකථනය කළ හැක්කේ ‘ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සුසංවිධානය’ ලෙසිනි. මෙහි මූලස්ථානය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ලෝකයේ රටවල් 100ක් නියෝජනය කරන ගවේෂණාත්මක මාධ්‍යවේදීන් 600ක් මෙම සංවිධානයේ සාමාජිකත්වය දරයි.
1997 වසරේ ඇරැඹි මෙම සංවිධානයට දැනට වසර 24ක් සපිරී ඇත. ලෝකයේ සිටින මාධ්‍යවේදීන් ගත්කල විවිධ ක්ෂේත්‍රයන්හි වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් රාශියක් සිටින අතර, ගවේෂණශීලී මාධ්‍යකරණය සඳහා සිටින්නේ යම් සීමිත මාධ්‍යවේදීන් පිරිසක් පමණි. එසේ වන්නේ එම මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කටයුතු කිරීම ඉතා දුෂ්කර, වගකීම්සහගත කටයුත්තක් බැවිනි. එනම් මෙම සංවිධානය තුළ සිටින්නේ එවැනි විශේෂිත වූ මාධ්‍යවේදීන් පිරිසකි. එලෙස මෙහි සිටින ගවේෂණශීලී මාධ්‍යවේදීන් 600 දෙනා යනු ලෝකයේ රටවල් 100ක් නියෝජනය කරන ප්‍රබලයන් පිරිසකි.
මෙවැනි වටපිටාවකදී මෙම මාධ්‍යවේදීන්ගෙන් සිදුවන විශාල වැදගත් මෙහෙවර කුමක්ද? එනම් මෙම ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගෙන් සිදුවන ප්‍රධානතම කාර්යය වන්නේ ලොව විවිධ රටවල සිදුකෙරෙන විවිධ මූල්‍ය වංචා, දූෂණ වංචා, අපරාධ වර්ග, අසීමිත ධන වත්කම්, දේශපාලනික දූෂණ, හමුදාමය දූෂණ වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සංවිධාන ගැන කරුණු ගවේෂණය කර ලොවට හෙළිකරීමය. මෙහිදී ඔවුන් දැඩි අවධානයක් යොමුකරන ක්ෂේත්‍රයක් වන්නේ මූල්‍ය වංචා සහ බදු වංචාය.
දැන් ඔබට මෙම වටපිටාව හොඳින්ම පැහැදිලි ඇතැයි සිතමි. එසේ නම් අප දැන් මෙම කතාවේ පැමිණ සිටින්නේ යම් හැරවුම් ලක්ෂයක් වෙතය. පසුගිය කාලයේ මෙරට මෙලෙස මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ වූ විවිධ පුද්ගලයන්ගේ නාමයන් 60ක් පමණ ප්‍රකාශයට පත්වූ අතර එම ලේඛනයේ සේයාරුවක්ද මෙම ලිපිය සමග පළකර ඇත. එහෙත් මෙම නාමයන් මෙම ලිපියෙහි වෙන වෙනම ලියා තබන්නට ඉඩක් නැත.
මේ ආකාරයට මුදල් විශුද්ධිකරණයට චෝදනා ලැබූ මෙම ශ්‍රී ලාංකික පිරිස්වලට එරෙහිව ගෙන ඇති නීතිමය පියවරයන් කුමක්ද? විදේශීය වශයෙන් හෝ දේශීය වශයෙන් හෝ එලෙස ගෙන ඇති පියවර කුමක්ද? මෙම චෝදනාවලට ඉහත රාජපක්ෂ යුවලගේනම්ගම් ප්‍රකාශ වූ විට එකල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහා නියෝග කර සිටියේ එම සිදුවීම ගැන විමර්ශනයක් සිදුකරන ලෙසය. ඔහු එහිදී ශ්‍රී ලංකා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් සිදුකළේය. එහිදී ඒ වන විට නිරූපමා රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නොසිටි අතර, ඇගේ සැමියා පමණක් මෙරට සිටියේය.
විමර්ශනයට අනුව ඔහු කොමිසම වෙත ගෙන්වා දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගත්තේය. එහෙත් එසේ නම් දැන් වසර දෙකකට ආසන්න කාලයක් ගතව ඇතත් සිදුව ඇත්තේ කුමක්ද? මෙම වගතුගෙහි කනගාටුදායක තත්ත්වය උදාවී ඇත්තේ එම පැනයට විසඳුම් සෙවීමේදීය. මෙම ලිපියෙහි මුලින්ම විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේද මේ හා සමාන වගතුගකි. මෙම සිදුවීම් පිළිබඳ අල්ලස් කොමිසම පරීක්ෂණ පැවැත්විය යුතු බවත්, එහෙත් මේ වන විටත් ව්‍යවස්ථාදායක සභාව එම පත්කිරීම් සිදුකර නොමැති බවත්ය. ඒ අනුව විමර්ශනය නොකිරීමේ වගකීම ව්‍යවස්ථාදායක සභාව භාරගත යුතු බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.
අද සමාජයේදී රුපියල් 500ක් අල්ලස් වශයෙන් ගත් මිනිසාත් කොමිසමට ගෙනැවිත් පරීක්ෂණ පවත්වන වටපිටාවක මෙම වංචනික පිරිස් ඩොලර් මිලියන ගණනින් වංචා කරන විටදී කොමිසම තමන්ගේ මුනිවත රැකගෙන සිටියි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලාංකික චූදිතයන් ගැන මෙසේ සිදුකෙරෙන්නට තිබූ විමර්ශන සියල්ලම හමස් පෙට්ටියට ගොස් ඇති බවය. මෙහිදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මෙන්ම ශ්‍රී ලංකා ආදායම් බදු දෙපාර්තමේන්තුවද මෙම විමර්ශනයන්ට සම්බන්ධ විය යුතුය. ඉන් පසුව චූදිතයන්ට එරෙහිව අධිකරණ නඩුවක් ගොනුකළ යුතුය. චූදිතයන්ට යම් දඬුවමක් ලැබෙන්නේ එවිටය. ඒ අනුව ඉහත රාජ්‍ය අංශ මේ වන විටත් මෙම සිදුවීම්වලට අදාළව කිසිදු අවසන් විමර්ශන වාර්තාවක් සකස් කර නොමැත.
පැනමා පත්‍රිකා සහ පැන්ඩෝරා පත්‍රිකා හරහා චෝදනා ලැබ ඇති ලෝකයේ වෙනත් රටවල චූදිත පුද්ගලයන්ට මේ වන විට එම සමහර රටවල් තුළදී ප්‍රබල ලෙස නීතිය ක්‍රියාත්මක කර ඇත. මෙම චෝදනා ජාත්‍යන්තර විමර්ශනයකට ගෙනයනු ලබන්නේ ප්‍රථමයෙන් තමන්ගේ මවු රටවල විමර්ශනයන් අවසන් කිරීමෙන් පසුවය. මෙවැනි බරපතළ චෝදනා විමර්ශනය සඳහා 2017 වසරේදී එංගලන්තයේදී International Anti-Corruption Coordination Centre නමින් නව සංවිධානයක් ආරම්භ කෙරිණි. එහෙත් අපේ රටේ සියල්ලම බල්ලන්ට ගොසිණි.
ප්‍රියන්ත හෙට්ටිගේ
අලුත්ම නම් ලැයිස්තුව එළියට ආවා…
මේ වනවිට පැන්ඩෝරා පත්‍රිකා මගින් විදේශයන්හි මුදල් තැන්පත් කර ඇති ව්‍යාපාරිකයන්ගේ තවත් අලුත්ම නම් ලැයිස්තුවක් අනාවරණ කොට ඇත. එහි මෙරට ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිප දෙනකුගේ සහ බිරින්දෑවරුන්ගේ නම්වලින් මුදල් ආයෝජනය කොට ඇති බව අනාවරණ කර තිබේ. ඒ අනුව අප අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අභියෝග කරන්නේ හැකි නම් මෙම නම් ලැයිස්තුව හෙළිදරව් කරන ලෙසත්, සඟවා ඇතැයි කියන මෙම මුදල් රටට යළි රැගෙන ඒමට පියවර ගන්නා ලෙසත්ය.










