රට තුළ දැනට මතුව ඇති තත්ත්වය මුල්කරගෙන පාර්ලිමේන්තුව හදිසියේම යළි කැඳවීම කෙරෙහි ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව ඇති බව දැනගන්නට තිබේ.
මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර දුරකතන සංවාදයක්ද සිදුව ඇති බව දැනගන්නට ඇත.
එම සාකච්ජාවේදී ආණ්ඩුව පවත්වාගෙන යාම සහ ඊට අවශ්‍ය මුදල් වෙන්කරවා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සකච්ජා වී ඇති අතර මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්ද අදහස් හුවමාරු වී ඇති බව වාර්තා වේ.
මීට අමතරව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද සිය නිවෙසේ සිට වීඩියෝවක් නිකුත් කරමින් කියා සිටියේ වහාම පාර්ලිමේන්තුව රැස් කිරීමට පියවර ගන්නා ලෙසය.
පවතින නීතියට අනුව මැතිවරණ කොමිසමට මැතිවරණය කල් දැමිය හැක්කේ මාසයක කාලයකට පමණි. ඊට වඩා කාලයක් මැතිවරණය කල් දමන්නේ නම් ඒ සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත විය යුතුය. එමෙන්ම ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා මුදල් පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගත යුතුය.
ඒ අනුව මෙම කරුණු 2 අරමුණු කරගෙන වහාම පාර්ලිමේන්තුව රැස් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා පක්ෂ නායක රැස්වීමක් කැදවීමටත් ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ.
පසුගිය සිකුරාදා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට ආණ්ඩුව සූදානමින් සිටියද හදිසියේම ඇදිරි නීතිය පැනවීමට සිදුව තිබූ බැවින් එම හමුව නොපැවැත්විණ.










