තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදු හා අතුරුදහන් වු ගුවන් හමුදා රණවිරුවන් සිහිකිරිම මෙන්ම සක්‍රීය සේවයේ යෙදී සිටින සේවා පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීමේ බෞද්ධ ආගමික පූජෝත්සවය 2023 ඔක්තෝම්බර් මස 22 හා 23 දිනයන්හීදී මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණ. (Sri Lanka Latest News)
මෙම බෞද්ධ ආගමික උත්සවය යුධ සමයේ තම මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු මෙන්ම සේවයේ යෙදී සිටියදී මියගිය සියලූම රණවිරුවන් සිහිකිරීමේ අරමුණින් ගුවන් හමුදා සුභසාධක අධක්ෂක කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.
මෙම බෞද්ධ ආගමික උත්සවයේ ප‍්‍රථම දිනය වු 2023 ඔක්තෝම්බර් මස 22 වන දින සවස ගිලන්පස බුද්ධ පූජාවක් පැවැත්වු අතර 23 වන දින විශේෂ බුද්ධ පූජාවක් සහ මහා සංඝරත්නය උදෙසා අෂ්ට පරිෂ්කාර සහිත සාංඝීක මහා දානයක්ද පිරිනමන ලදි.
මෙම ආගමික උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාජපක්ෂ මහත්මිය, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානිතුමන්, ගුවන් හමුදා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිළධාරීන්, ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් මෙන්ම ගුවන් හමුදා සේවයේ යෙදි සිටියදි මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගී විය.










