අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය.
මන්ත්‍රීවරුන් දෙදෙනා ගේ ප්‍රකාශ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
කතානායක වරයා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප කළ විශේෂ අනාවරණය!
විජයදාසයි මහින්දානන්දයි එක පාරේ!
අවසන් වරට පැවැති පාර්ලිමේන්තු සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සාමාජිකයන් පත් නොකිරීමට තවමත් පියවර ගෙන නොමැති වීම පිළිබඳ අදහස් දක්වමින් අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාත්, ආණ්ඩුවේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාත් කළ කතාවක් මුල්කරගෙන දේශපාලන ක්ෂේත්‍රයේ මේ වනවිට විශාල ආන්දෝලනයක් මතුව තිබිණි. ඊට මුල්වූයේ අධිකරණ අමාත්‍යවරයා මෙම චෝදනාව ඍජුවම ව්‍යවස්ථාදායක සභාව වෙත එල්ල කරමින් අදහස් දැක්වීමට කටයුතු කොට තිබීමය. එහිදී විජයදාස කෙළින්ම කියා සිටියේ ජනතාව දේශපාලකයන්ගේ ගෙවල් වට කිරීමට ප්‍රථම ව්‍යවස්ථාදායක සභාවේ සිටින අයගේ ගෙවල් වට කළ යුතු යැයි කියාය. විජයදාසගේ මෙම කතාව ආණ්ඩුවේ මන්ත්‍රී මහින්දානන්දද අනුමත කරමින් කතා කිරීම නිසා ඊට මාධ්‍ය තුළ විශාල ප්‍රතිචාරයක්ද ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.
ගිය පාර කියලා වෙච්ච දෙයක්!
කෙසේ වෙතත් ඉකුත් අරගල සමයේදී දේශපාලකයන්ගේ ගෙවල් වටකිරීමට කතා කළ සහ පාර්ලිමේන්තුව වටකිරීමට කතා කළ බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වගකිව යුතු ආයතන ප්‍රකාශ ගෙන තිබුණද ව්‍යවස්ථාදායක සභාවේ සිටින නියෝජිතයන්ගේ ගෙවල් වටකළ යුතු බව කී අධිකරණ ඇමැතිගෙන් හෝ මහින්දානන්ද මන්ත්‍රීවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක්වත් හෝ සටහන් කරගැනීමට අදාළ පාර්ශ්ව කටයුතු කළ බවක් දැකගන්නට තිබුණේ නැත.
ආරක්ෂාව ගැන ප්‍රශ්නයක්!
ඒ කොයිහැටි වෙතත් ප්‍රශ්නය පැනනැගුණේ ව්‍යවස්ථාදායක සභාව තුළ දේශපාලන නියෝජිතයන්ට අමතරව සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනකුද රාජකාරි සිදුකිරීම නිසා විජයදාසගේ සහ මහින්දානන්ගේ කතාවලින් පසුව එම සිවිල් නියෝජිතයන් තිදෙනාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව තිබීමය. ඒ බව පළමුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට දැනුම් දුන්නේ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මහතාය. ඒ අනුව අපට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මෙම අදහස් දැක්වීමෙන් පසු ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් කතානායකවරයා ඉදිරියේ මේ සම්බන්ධයෙන් බරපතළ ලෙස සාකච්ඡා කොට ඇති බවය. එහිදී විජයදාස සහ මහින්දානන්ද කළ මෙම ප්‍රකාශ මුල්කරගෙන දැඩි තීන්දුවක් ගත යුතු බව මෙහිදී එම නියෝජිතයන් කතානායකවරයාට පෙන්වා දී ඇති බවක්ද ආරංචිය.
පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්!
ඒ අනුව මෙම නියෝජිතයන්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් පසුව කතානායකවරයාද මේ පිළිබඳ දැඩි තීන්දුවක් ගෙන ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට තිබේ. ඒ අනුව ලබන පාර්ලිමේන්තු සතියේදී කතානායකවරයා විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානමින් සිටින බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.










