මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ අපේක්ෂාවෙන් එම මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙනින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය නියම කළාය. (Sri Lanka Latest News)
පලාපත්වල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ප්‍රධාන මෙහෙනින් වහන්සේ නමක මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .
මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැරදමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු සිව් දෙනාවද සුදුසු භාරකාරත්වයකට පත්කරන ලෙස ඉල්ලමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්.කේ. රමනි නිලධාරිනිය ඊයේ පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය.
මෙහෙනින් වහන්සේලා ලෙස සිටි අවුරුදු 12,15 සහ 18 ක් වයසැති එම දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත් නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී එම සිවුදෙනා විසින් ප්‍රකාශ ලබාදුන් බවට අධිකරණයේදී සඳහන් විය. ඉන් අනතුරුව දැරියන් තිදෙනාව සහ කාන්තාව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි. එම අධිකරණ වෛද්‍ය වාර්තා සමග දැරියන් තිදෙනා සහ කාන්තාව නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි.
රිමාන්ඩ් භාරයට පත් එම ප්‍රධාන සිල් මෑණියන් විසින් සිදුකරන හිංසා ඉවසාගත නොහැකිව බොරගොඩවත්තේ පිහිටි මෙහෙණි ආරාමයේ සිටි කුඩා සිල් මෑණියන් තිදෙනෙකු එම මෙහෙණි ආරාමය තුළ සිවුරු ගලවා දමා වෙනත් ඇදුම් ඇදගෙන මහණ වීමේ අපේක්ෂාවෙන් එහි සිටි කාන්තාවක් සමග ඉකුත් 24 වෙනිදා අලුයම මෙහෙණි ආරාමයෙන් වෙනත් මෙහෙණි ආරාමයක් සොයා පලාගොස් තිබූ බවත් පසුව එම සිව්දෙනාව නුවරඑළිය පොලිසිය භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබු බවටත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය.
lankadeepa










