ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල සෝකෝ නිලධාරීන් විසින් ලබාගත් වීඩියෝ දර්ශන හා සියලු ඡායාරූප වහාම විද්වත් වෛද්‍ය කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළාය.Sri Lanka Latest News
ෂාෆ්ටර් මහතා සියදිවි හානි කර ගත්තා ද? නැත්තම් ඝාතනය කළා ද? යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය මණ්ඩලය පවත්වන විමර්ශන සඳහා අදාළ නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට නියෝග කෙරිණ.
ගාල්ල කරාපිටිය රෝහලේදී පැවැත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ කටයුතු අවසන් කර ඇති බවත් මරණය සම්බන්ධ අවසන් නිගමනයක් ලබා ගැනීම සඳහා විද්වත් මණ්ඩලය දෙදිනක සාකච්ඡා වටයක් පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත් වූ අතර තවත් තෙදිනක සාකච්ඡාවක් නුවර පැවැත්වූ බවට අධිකරණයේදී කරුණු අනාවරණය විය.
සිද්ධිය ඊයේ (22) නැවත කැඳවූ අතර ෂාෆ්ටර් මහතාගේ මවගේ ලේ සාම්පලයට අදාළ ජීන්ටෙක් වාර්තා ලැබී ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ෂාෆ්ටර් මහතාගේ මරණය සිදුවීමට පෙර මාස හයක් ඇතුළත ලබාගත් දුරකතන විශ්ලේෂණ වාර්තාවන් අධිකරණය වෙත ගොනු කළේය.










