නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු දැනට සීමිත සංඛ්‍යාවක් පමණක් සිටින විශේෂඥ වෛද්‍යවරුන්ට විදේශ ගතවීම සඳහා මින් ඉදිරියට නිවාඩු අනුමත නොකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත සඳහන් කළේ, සෞඛ්‍ය සේවයේ වෛද්‍ය හිඟය දැඩිව පවතින ක්ෂේත්‍ර කිහිපයක් මේ වනවිට හඳුනා ගෙන ඇති බවයි.Sri Lanka Latest News
යම් හෙයකින් අමාත්‍යාංශයට නොදන්වා ඔවුන් විදේශගත වුවහොත් සේවයෙන් නෙරපා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ද ලේකම්වරයා ප්‍රකාශ කළා. ඇතැම් ක්ෂේත්‍රවල විශේෂඥ වෛද්‍යවරුන් මෙරට සිටින්නේ ඉතා සීමිත සංඛ්‍යාවක් වන අතර පසුගිය කාලයේ එවැනි වෛද්‍යවරුන් විදේශගත විම හේතුවෙන් මෙරට සෞඛ්‍ය සේවාවේ අර්බුද රැසක් හට ගැණුනා.
ලේකම්වරයා ප්‍රකාශ කළේ, විශේෂඥ පුහුණුව සඳහා වෛද්‍යවරුන් 600 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට විදේශ ගතව ඇති බවත් ඉන් 300 ක් පමණ මේ වසරේ දිවයිනට පැමිණිමට නියමිතව බවයි. ඔවුන් පැමිණි පසු එක් එක් ක්ෂේත්‍රවල දැනට පවතින විශේෂඥ හිඟය යම් තාක් දුරකට සමනය වනු ඇති බව ලේකම්වරයා සඳහන් කරනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනාවරණය කළේ, පසුගිය මැයි 31 න් අවසන් වූ වසරක කාලසීමාව තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274 දෙනෙකු රට හැර ගොස් ඇති බවයි. එම කාලසීමාව තුළ ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන් 842 දෙනෙකුද රටහැර ගොස් ඇති බව එම සංගමය පවසනවා.










