මේ දිනවල රටේ හැමතැනම කතාබහට ලක්වන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඇතුළේ ඇති දේශපාලන අර්බුදයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔන්න මෙන්න කියා තිබියදීත් මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ කෙසේද? එහි සලකුණු කුමක්ද යන්න සම්බන්ධයෙන් අවශය තීන්දුවක් එජාප ප්‍රධානීන් ගෙන නොතිබීම එජාප පාක්‍ෂිකයන් පවා මේ වන විට සිටින්නේ මහත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදීය. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිතවත් පාර්ශ්වය පවසන්නේ එජාප ලකුණ වූ ‘අලියා’ ලකුණ යටතේ හෝ එජාපයට හුරුපුරුදු ‘හංසයා’ ලකුණ යටතේ මහමැතිවරණයට තරග වැදිය යුතු යැයි කියාය. නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය පවසන්නේ එම ලකුණු දෙක යටතේ තරග වැදීමට එකඟ නමුත් එය නව සන්ධානය වූ ‘සමඟි ජන බලවේගයට’ කෙටි කාලයකට හෝ ලබා දිය යුතු යැයි කියාය. නමුත් ඊට වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය එකඟ නැත. ඒ අනුව ප්‍රේමදාස පාර්ශ්වය කියන්නේ එසේ නම් තමන් ‘හදවත’ ලකුණ යටතේ හෝ ‘දුරකතනය’ ලකුණ යටතේ තරග වැදීමට සූදානම් බවකි. නමුත් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති අතර, එය පවතින්නේ සාකච්ඡා මට්ටමේය.
ඒ කෙසේ වුවත් මෙවර මහ මැතිවරණයේදීත් එජාපයේ පැත්තෙන් යළිත් වතාවක් බොහෝ දෙනාගේ තේරීම වී ඇත්තේ ‘අලියා’ නැත්නම් ‘හංසයා’ය. 1947 සිටම අලියා ලකුණින් තරග කළ එජාපයට සහ එහි පාක්‍ෂිකයන්ට අලියා නැතිනම් හංසයා කියන තරමට මේ හංසයා ළං වූයේ කොහොමද? මේ හංසයා ආවේ කොහෙන්ද? හංසයාගේ අයිතිකාරයෝ කවුද?
හංසයා බිහිවූයේ කොහොමද?

ඇත්තටම කියනවා නම් හංසයා හා අලියාට ඇත්තේ ඉතා සමීප සබඳතාවක්ය. එහෙමත් නැතිනම් හංසයා බිහිවූයේද අලියාගෙනි. ඊට මූලිකත්වය ගත්තේ ලලිත් ඇතුලත්මුදලිත්, ගාමිණී දිසානායකත්, හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාත් සමඟ එවකදී ඇතිකරගත් ගැටුම්වල ප්‍රතිඵලය වූයේ මේ කියන ලලිතුත් – ගාමිණීත් එජාපයෙන් එළියට යෑමය. ඒ ගිය ලලිත් – ගාමිණී ‘රාජාලියා’ යටතේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ බිහිකිරීමට කටයුතු කළහ. පසුව ලලිත්ගේ අභාවයෙන් පසු පක්‍ෂය ඇතුළේ ඇති වූ බල අරගලයත් සමඟ ලලිත්ගේ බිරිඳ වූ ශ්‍රීමතී ඇතුළත්මුදලි මහත්මිය සහ ඇයට හිතවත් කණ්ඩායම ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වීමට කටයුතු කළහ. ඒ අනුව ඔවුන් පිහිටුවා ගත් අලුත් පක්‍ෂය වූයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණය. ඒ 1995දීය. ඒ සඳහා සලකුණක් තෝරා ගැනීමට මැතිවරණ කොමිසමට ගිය පසු තිබූ බොහෝ මැතිවරණ සලකුණු අතරින් ඔවුන්ගේ සිත එක්වරම ඇදී ගියේ ‘හංසයා’ දෙසටය. ඒ හංසයා ජීවමාන සලකුණක් වූ නිසාය. ශ්‍රීමතීගේ නායකත්වයෙන් බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණට හංසයා ලකුණ හිමි වූයේ ඒ ආකාරයටය.
කෙසේ වෙතත් ශ්‍රීමතීගේ අභාවයෙන් පසුව පක්‍ෂය භාරවූයේ එදා ලලිත්ගේ කාලයේ සිටම විශ්වාසවන්ත දේශපාලන සගයා ලෙස කටයුතු කළ රවි කරුණානායකය. ඒ අනුව එදා සිටම ‘හංසයා’ පක්‍ෂයත් තිබුණේ රවි යටතේය. එහි ලේකම්වරිය ලෙස එදා සිටම කටයුතු කළේ ෂර්මිලා පෙරේරාය.
හංසයා පළමුවරට එළියට ආවේ කොහොමද?
එදා ශ්‍රීමතී යටතේ තිබී රවි අතට ආපු හංසයා පළමු වරට ප්‍රසිද්ධියේ පියාඹන්න පටන්ගත්තේ 2010දීය. ඒ 2010 ජනාධිපතිවරණයේදීය.

එවකදී බොහෝ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ යෝජනාවක් වූයේ 2010 ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට එජාපය පියවර ගතයුතු යැයි කියාය. ඊට හේතු වශයෙන් කියැවුණේ මහින්ද රාජපක්‍ෂ ඒ වන විට යුද ජයග්‍රහණය මුල්කොටගෙන ඉතා ජනප්‍රිය තලයේ පසුවීමත්, මේ නිසා එජාප නායක රනිල් තරග කරනවා වෙනුවට පොදු අපේක්‍ෂකයකු ඊට ඉදිරිපත් කළ යුතු බවත්, විපක්‍ෂයේ සියල්ලන්ම ඒකරාශී කරගත යුතු නිසා එජාපයේ අලියා ලකුණ වෙනුවට සියල්ලන්ටම එක්විය හැකි පොදු සන්ධානයක් හා සලකුණක් තෝරාගත යුතු බවත්ය. ඒ සම්බන්ධව පැවැති සාකච්ඡාවලට රනිල් – රවි – අනුර කුමාර – විජිත – හකීම් – රිෂාඞ් හා සුමන්තිරන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඒ අනුව ඒ පිළිබඳව සොයා බලද්දී රවි තමන් සන්තකයේ සිටින හංසයා සහ පක්‍ෂය විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වෙනුවෙන් ලබා දීමට එකඟතාව පළකළේය. ඒ වෙනුවෙන්ම රවි 2009 වසරේදී ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ’ යනුවෙන් සිය පක්‍ෂයේ නම වෙනස් කිරීමටද පියවර ගත්තේය. 2010දී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් හංසයාගෙන් පළමු වරට තරග වැදුණේ ඒ අනුවය. කෙසේ වෙතත් පළමු පාර හංසයාගේ ආගමනය එතරම් සුබ වූයේ නැත. ඒ ෆොන්සේකා පරදා මහින්ද දෙවැනි වතාවටත් ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීම නිසාය.
දෙවැනි වර හංසයා ජයග්‍රාහීව ඉගිළෙයි

දෙවැනි වර හංසයා යළි එළියට බැස්සේ 2015 ජනාධිපතිවරණයේදීය. ඒ පිටුපස ඇත්තේද අපූරු කතාන්දරයකි. 2014 සිටම සාකච්ඡා වූයේ මෙවරද පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ යුතු බවත්, අලියා ලකුණ යටතේ කිසිසේත්ම එවැනි පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් නොවනු ඇති බවත්ය. ඒ අනුව පොදු අපේක්‍ෂකයකු සොයා ගැනීම සම්බන්ධයෙන් තිරය පිටුපස සාකච්චා පැවැත්වූයේ රනිලුත් – චන්ද්‍රිකාත්ය. ඊට එවක රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම ශ්‍රීලනිප මහලේකම්වරයා වූ මෛත්‍රිගේ නම යෝජනා වීමත් සමඟ මෛත්‍රිගේ පාර්ශ්වයෙන් ඒ සඳහා යෝජනා කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි. ඉන් පළමුවැන්න වූයේ අලුත් සන්ධානයක්, අලුත් ලකුණක්ය. එහි අවසන් සාකච්ඡාව රනිල් – චන්ද්‍රිකා සහ මෛත්‍රි අතර පැවැත්වූයේ මෛත්‍රි ආණ්ඩුවෙන් එළියට බහින්න දින කිහිපයක් තියා කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂ නායක කාර්යාලයේදීය. දොරගුළු ලාගෙන මහ රෑ පැවැති මෙම සාකච්ඡාවේදී අවසානයේදී නීතිමය කරුණු සියල්ල සාකච්ඡා කිරීමෙන් පසු මෛත්‍රි හංසයාගෙන්ම යන්නට එකඟතාව පළ කළේය. ඒ ඉල්ලීම රවිට ආ පසු රවිද ඊට දෙවරක් නොසිතාම කැමැත්ත පළකළේය.
ඒ අනුව රවිගේ හංසයා එවර ජයග්‍රාහී ලකුණ බවට පත්වූයේ යුද්ධය නිමා කරන්නට අණදුන් මහින්දව පරාජය කරන්නට සමත් වූ සලකුණ ලෙස වාර්තා තබමින්ය.
තුන්වැනි පාර හංසයා දුන්නේ සජිත්ට

2015 ජයග්‍රාහී හංසයා යළි කරළියට ආවේ 2019දීය. ඒත් ජනාධිපතිවරණයේදීමය. ඒ වනවිටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා රනිල් – කරු – සජිත් යන තිදෙනාගේම නම් ඉදිරියෙන්ම කියැවුණු අතර, සන්ධානයක් ලෙස ඉදිරිපත් විය යුතු බවද කියැවිණි. අවසානයේදී තීන්දු වූයේ සජිත්ට අපේක්‍ෂකත්වය ලබා දීමටය. ඒත් සමඟම නැවැත ආවේ සලකුණේ ප්‍රශ්නයය. සියල්ලන්ම පොදු ස්වාධීන ලකුණක් අවශ්‍ය බව කියද්දී නායක පිරිස් නැවැතුණේ රවි ඉදිරියේය. අරලියගහ මැඳුරේ පැවැති එම අවසන් සාකච්ඡාවට රනිල් – රවි – සජිත් – මලික් – මංගල – අකිල – හකීම් – රිෂාඞ් – මනෝ – දිගම්බරම් – රාජිත – චම්පික ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.
නමුත් සියල්ලන්ම බය වුණේ ඒ වන විටත් රවි හා සජිත් අතර පැවැති නයි වෛරය නිසා රවි තමන්ගේ හංසයා සජිත්ට ලබාදේවිද යන්න කියාය. නමුත් රවි ඒ දේශපාලන තරහමරහ කම් ජනාධිපතිවරණයක් වැනි තීරණාත්මක ඡන්දයක් ඉදිරියේ ඉස්සරහට දාන්න ගියේ නැත. නිහතමානීව රවි තමන්ගේ හංසයා සජිත්ට ලබාදෙන්න ඉදිරිපත් වුණා පමණක් නොව සජිත්ගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල වැඩකොටසක්ද කළේය. අන්තිමේදී සජිත් ඒ වෙනුවෙන් රවිට ස්තුතිය පළකළේ රවි කරපු දෙය තමන් අගය කරන බව කියමින් රවිට ස්තුති කරමිනි.
මේ පාරත් හංසයාට කැරකෙයිද?
‘එතකොට මේ පාර මහජන්දෙට එන්නෙ හංසයාද?, අලියද? හදවතද? දුරකතනයද?
මේ ප්‍රශ්නයට පිළිතුරු මේ සති අන්තයේදී එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට දැනගත හැකිවනු ඇත.
කපිල පුංචිමාන්නගේ











