බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ ගිහින් අපි ඉදල්ගස්හින්නෙ බහිද්දී හරියටම උදේ පහයි. ගොඩක් අය කියන විදියට ඉදල්ගස්හින්න තමයි ලංකාවේ ලස්සනම දුම්රිය ස්ථානය. ඒ හින්දම මේ වෙද්දි ඉදල්ගස්හින්න සංචාරකයන් අතර බොහොම ජනප්‍රියයි. හැබැයි මොන තරම් ලස්සන වුණත්, උදේ පාන්දර පහට ඉදල්ගස්හින්නේ තියෙන සීතල නම් දරා ගන්න හරිම අමාරුයි. ඉදල්ගස්හින්න ස්ටේෂන් එක පිහිටලා තියෙන්නේ හුළං කපොල්ලක. ඒ හින්දා ඒ සීතලට වහන් වෙලා ඉන්න එක කොහොමත්ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
හතර වටේට තිබුණු කළුවර මැකිලා ගිහින් ඉදල්ගස්හින්නට එළිය වැටෙද්දී උදේ හය විතර වෙලා. ඒ එක්කම වට පිටේ මැවෙන දර්ශනය නම් හරිම අපූරුයි. මීදුම මැද්දෙන් දිගට දිගේ වැටුණු රේල් පාර දිලිසෙන්න ගනිද්දී, ඈතින් තියෙන පුංචි ගෙවල්වල වහල පේළිය සුදු පාටට දිලිසෙන්න ගන්නවා. ස්ටේෂන් එක පිටිපස්සෙන් බෙරගල, ඉඳන් උඩවලව පැත්තට විහිදිලා ගිය කඳු පන්ති පේළිය සහ නිම්න පහළින් පේන්න ගන්නේ ඊටත් පස්සේ. ඒ දර්ශන පෙළේ ලස්සන වචනවලින් කියන්න නම් හරිම අමාරුයි. ඒක තමයි ඇත්ත.

අද වෙද්දී ඉදල්ගස්හින්න ස්ටේෂන් එක අවට බොහෝ දුරට ජනාකීර්ණයි. පුංචි පුංචි ගෙවල් පේළි ගොඩක් මේ වෙද්දී ඉදි වෙලා. ඒත් මීට අවුරුදු දහයකට පහළොවකට කලින් එතැන තිබුණු පරිසරයට මීට බොහොම වෙනස්. ජනාවාස වීමත් එක්ක ඉදල්ගස්හින්නේ තිබුණු ලස්සන ඉස්සරට වඩා අඩුවෙලා කියලා කවුරු හරි කියනවා නම් ඒකෙ වැරැද්දක් කියන්නත් බැහැ තමයි.
අපි කොළඹ ඉඳන් මෙච්චර දුර ගෙවා ගෙන ගියේ ඉදල්ගස්හින්නේ ලස්සන බලන්න විතරක්ම නෙවෙයි. ඒ ගමනේ තවත් අරමුණක් තිබුණා. ඉදල්ගස්හින්නේ දුම්රිය ස්ථානයේ ඉඳන් හල්දුම්මුල්ලට වැටිලා තියෙන අප්‍රකට පාර දිගේ පයින් ඇවිදන් යන එක තමයි ඒ අරමුණ. ලංකාවේ පොදු ප්‍රවාහන සේවා අතරින් දුම්රියෙන් පමණක් ගමන් කරන්න පුළුවන් දුම්රිය ස්ථාන කිහිපයක්ම ලංකාවේ තියෙනවා. ඉදල්ගස්හින්න ඒ අතරින් එකක් කියන එකත් ගොඩක් අය දන්නවා. ඒත් ඉදල්ගස්හින්නේ ඉඳන් බදුල්ල- කොළඹ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වෙන අතුරු මාර්ගය ඉදිකරලා තියෙන්නේ ඉංග්‍රීසි ආණ්ඩු සමයේදීමයි. ඒත් නිසි නඩත්තුවක් නොමැතිකම සහ මාර්ගයේ දුෂ්කර බව හින්දා ඒ මාර්ගය ඒතරම් භාවිතයට අරගෙන නැහැ. ඉදල්ගස්හින්නට ළඟම නගරය වෙන්නේ හපුතලේ. අතුරු පාර දිගේ පහළට ගිහින් ආයෙත් ප්‍රධාන මාර්ගය දිගේ හපුතලේට යනවට වඩා ගොඩක් ඉක්මනට දුම්රියෙන් ඉදල්ගස්හින්නේ ඉඳන් හපුතලේට යන්න පුළුවන්. ඒ හින්දා තවමත් ඉදල්ගස්හින්න අවට ජනතාව තමන්ගේ ප්‍රවාහනය පහසුකම් සලසා ගන්න වැඩි වශයෙන් භාවිත කරන්නේ දුම්රිය සේවයම තමයි.

යකාගේ පඩිපෙළ එහෙම නැත්නම් Devil’s Staircase ගැන හැමෝම වගේ අහලා තියෙනවා. ලංකාවේ තියෙන දුෂ්කරම වගේම සුන්දරම මාර්ගයක් විදියට හඳුන්වන මේ මාර්ගය ඔහියේ ඉඳන් කළුපහන දක්වා තමයි වැටිලා තියෙන්නේ. ඉංග්‍රීසි ජාතිකයන් ඒ මාර්ගය ඒ විදියට හඳුන්වලා තියෙන්නේ එහි තියෙන දුෂ්කර බව හින්දමයි. ඒ වගේම ඊට සමාන්තරව වැටිලා තියෙන අපි මේ කතා කරන ඉදල්ගස්හින්නේ ඉඳන් හල්දුම්මුල්ලට වැටිලා තියෙන පාර යකාගේ පඩිපෙළ 2 කියලයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ. කවුරුත් දන්න යකාගේ පඩිපෙළ තරමටම නොවුණත් මේ පාරත් ගොඩක් දුෂ්කරයි.
ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ ඉඳන් ඔහිය පැත්තට ටික දුරක් යද්දී හමුවෙන රේල් ගේට්ටුව ළඟින් තමයි මේ පාර පටන් ගන්නේ. එතැන ඉඳන් දකුණු පැත්තට ගියොත් බොරලන්ද හරහා හපුතලේට එන්න පුළුවන්. වම් පැත්තට ගියොත් තමයි හල්දුම්මුල්ලට යන්න පුළුවන් වෙන්නේ. පාර පටන් ගන්න තැනම පිහිටලා තියෙන පුංචි පුංචි ගෙවල් ටික පහු කළාම එතැන ඉඳන් මඟ දිගට හරිම පාළුයි. ලංකාවේ සංචාරකයන් අතර බොහොම ජනප්‍රිය කඳවුරු බිමක් විදියට සැලකෙන ඉදල්ගස්හින්න කන්ද තමයි අපිට දකුණු පැත්තෙන් පෙනුණේ.

මේ පාරෙත් බොහෝ දුරකට දෙපැත්තේ තියෙන්නේ තේ වතු. එක වෙලාවකට පහළ බෑවුම දිහාවට කෙළින් වැටිලා තියෙන පාර ආයෙමත් කන්ද වටේ වංගු ගහන්න ගන්නවා. වංගු වංගු විදියට කන්ද වටේට වැටිලා තියෙන පාර අපිට පහළින් පේනවා. ඒ ලස්සනට ඇස් වශී වෙලා තියෙද්දී කකුල් දෙකේ මහන්සිය ගැන හිතන්න හිතට වෙලාවක් ලැබෙන්නේ නැහැ කිව්වොත් හරි. ටික ටික පහළට යද්දී වට පිටේ ලස්සන බලන්න හදලා තියෙන පුංචි නැරඹුම් කුටි කිහිපයකුත් දකින්න තියෙනවා. ඒ තැන්වල නැවතිලා ඇති තරම් පහළ නිම්න දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඒ නිදහසට බාධා කරන්න මේ පාරේ කවුරුත්ම නැහැ. ඉඳ හිටලා මුණ ගැහුණු තේ වතු සේවකයන් කිහිප දෙනකු හැරෙන්න පහළට යනකම් අපිට අතර මඟ කවුරුත් මුණ ගැහුණෙත් නැහැ.
සාමාන්‍යයෙන් අපි කොහේ ගියත් දුරකතන සන්නිවේදන කුලුනු දකින්නේ අපි හිසට ඉහළින්. ඒත් අපිට පහළින් ඉදි කෙරුව සන්නිවේදන කුලුනු කිහිපයක්ම අපිට මේ ගමනෙදි දකින්න ලැබුණා. ඉදල්ගස්හින්නේ ඉඳන් හල්දුම්මුල්ලට තියෙන දුර කිලෝමීටර් 8කට ආසන්නයි. යකාගේ පඩිපෙළ එක්ක බැලුවොත් නම් ඒක ඒ තරම් දුරක් නෙවෙයි. තැනින් තැන ගැලවුණු තාර කට්ට අතරින් වළ ගොඩැලි මැදින් වැටිලා තියෙන අබලන් පාර නීඞ්වුඞ් තේ ෆැක්ටරිය ළඟ ඉඳන් කාපට් පාරක් බවට පත් වෙනවා. ඒ හරියේ ඉඳන් නම් මාර්ගය දෙපැත්තෙම ජනතාව පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම හපුතලේ ඉඳන් නීඞ්වුඞ් දක්වා බස් රථයකුත් ගමන් කරනවා.

අපේ ගමනේ තවත් විශේෂ සන්ධිස්ථානයත් තිබුණා. ඒ තමයි හල්දුම්මුල්ල පෘතුග්‍රීසි බලකොටුව. ඇත්තම කිව්වොත් මේ ගමන යන්න කලින් අපි මේ බලකොටුව ගැන දැන ගැන හිටියේ සිතියමෙන් විතරයි. ඒ හින්දා සිතියම දිහා බලන් අපි දිගටම පල්ලම් බැස්සා. ඒත් සිතියම දිහා බලන් එතැනට යන්න බැහැ. ඒක තේරුම් ගනිද්දී අපි ගොඩක් පහළට ගිහින් හිටියා වුණත්, ආපහු ඒ දුර උඩහට එන්න අපි තීරණය කළේ එක බලන්න ඕන තැනක් කියලා හිතුණු හින්දමයි. අහල පහළ අයගෙන් පාර අහගෙන උඩට ඇවිත් ආපහු අපි නීඞ්වුඞ් තේ ෆැක්ටරිය ළඟට ආවා. එතැනින් තමයි බලකොටුවට යන පාර වැටිලා තියෙන්නේ.
නීඞ්වුඞ් ෆැක්ටරිය ළඟින් ඇතුළට ගියාම හම්බ වෙන්නේ ෆයිනස් කැලයක්. ඒ මැදින් වැටිලා තියෙන අඩි පාර දිගේ තමයි බලකොටුව ළඟට යන්න තියෙන්නේ. ෆයිනස් කැලේ මැද්දේ අඳුරු පරිසරය දිගේ යන ගමන ආස හිතෙන එකක් වුණත්, ෆයිනස් කොළ වැටුණු පොළොවේ ඇවිදින එක නම් ඒ තරම් ලේසි වැඩක් නෙවෙයි. දෙතුන් පාරක්ම අපි ඒ හරියේ ලිස්සලා වැටුණා. ෆයිනස් කැලේ මැදින් තවත් කිලෝ මීටරයක් විතර ගියාම තමයි මේ කියන බලකොටුව දකින්න තියෙන්නේ. බලකොටුවක් කිව්වත් වර්තමානයේදී එතැන දකින්න තියෙන්නේ පැරැණි බැමි කිහිපයක් විතරයි.

මේ බලකොටුව පෘතුග්‍රීසීන් විසින් 17 වැනි සියවසේදී ඉදි කළ බව තමයි ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ. කන්ද උඩරට රාජධානිය පාමුල පිහිටි අවසන් බලකොටු අතරින් එකක් විදියට මේක පෘතුග්‍රීසීන් විසින් භාවිත කළ බව නිගමනය කරන්න පුළුවන්. බලකොටුව බලා එතැනින් තව ටිකක් ෆයිනස් කැලේ දිගේ ඉදිරියට ගියාම බදුල්ල- කොළඹ ප්‍රධාන මාර්ගයට යන්න පුළුවන්. ඒත් ඒකටත් ලොකු බෑවුමක් දිගේ පහළට බහින්න ඕනෑ. ටිකක් අවදානම් ගමනක්.
ඔන්න ඔය විදියටයි යකාගේ දෙවැනි පඩිපෙළේ ගමන නිමා වුණේ. බදුල්ල- කොළඹ ප්‍රධාන මාර්ගයට ගිහින් එතැනින් බස් එකක නැඟලා තමයි අපි ආපහු ආවේ. වැඩි සැලසුමක් නැතිව ඉක්මනින් කොහෙ හරි ගිහින් එන්න කැමැති අයට මේක හොඳටම ගැළපෙන ගමනක්. ඒ වගේම නියම යකාගේ පඩිපෙළේ පයින් යන්න බෑ කියලා හිතෙන කෙනකුට ඒ අත්දැකීම තරමක් දුරට හරි විඳ ගන්නත් මේ ගමන හොඳයි.
චන්දන පොන්නම්පෙරුම











