ආණ්ඩුව විසින් දූෂණ විරෝධී පනත්, ත්‍රස්ත විරෝධී පනත්, මහ බැංකු පනත් ආදී මොන පනත ගෙනාවත් අවසානයේ සිදු වන්නේ මෙම ආයතනවල සිටින ස්වාධින අපක්ෂපාතී නිලධාරීන් රජයේ අණට කීකරු නොවී ජනතාව පැත්තෙන් සිතා වැඩ කරන විට වරප්‍රසාද කමිටු ඉදිරියට යාමට බවත් මේ වරප්‍රසාද කමිටු, තේරීම් කාරක සභා හරහා රාජ්‍ය නිලධාරීන්ට තාඩන පීඩන එල්ල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද ඉහළින් තිබෙන තාක්කල් මේ කිසිදු පනතකින් ඵලක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේ පැවැති මහ බැංකු පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයට එක් වූ අවස්ථාවේදීය.
එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ රට නැවත ගොඩ ගැනීමට නම් ගජ මිතුරු ධනවාදය මෙන් ම ගජ මිතුරු දේශපාලනයද තුරන් කළ යුතු බවත් ඒ තුළින් මේ දූෂිත දේශපාලන සංස්කෘතියේ ව්‍යූහාත්මක වෙනසක් සිදු කර ලක්ෂ 220ක් වූ ජනතාවගේ නව වරමින් රටට වගකියන වගවෙන පිරිසුදු දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතු බවත් ය.
එසේ ම තමන්ගේ මැතිවරණවලට මුදල් වියදම් කළ ගජ මිතුරු ව්‍යාපාරිකයන්ට රුපියල් බිලියන ගණනින් බදු සහන ලබා දුන් නිසා පසුගිය කාලයේ සීනි වංචා, පොල්තෙල් වංචා, ගෑස් වංචා, ඖෂධ වංචා ආදිය රට තුළ සිදු වූ බවත් අසූචි පොහොර නැව්වලින් පවා අල්ලස් ගත් මේ පිරිසට 2048 හෝ රට ගොඩ ගත නොහැකි බවත් ඒ සඳහා නව දේශපාලන වරමක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
අයි.එම්.එෆ් එක විසින් ඉදිරිපත් පත් කළ කොන්දේසි ක්‍රියාත්මක කිරිමට මෙවැනි පනත් ගෙන ආවත් වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට හොරු ඇල්ලීමට, පැන්ඩෝරා පත්‍රිකා පරික්ෂා කිරිමට හෝ රටින් පිටට ගෙන ගිය ජාතික සම්පත් නැවත රටට ලබා ගැනීමට උවමනාවක් නොමැති බවත් ජනාධිපතිවරයා රනිල් රාජපක්ෂ නොව රනිල් වික්‍රමසිංහ යැයි ඔප්පු කිරීමට නම් ඇත්තේ රටින් ගෙන ගිය මුදල් සහ සම්පත් නැවත රටට පවරා හොරු අල්ලා පෙන්වීම බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කරමින් පැවසීය.










