පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු, ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී.Sri Lanka Latest News
2022-07-09 දින සිට 2022-07-14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාල සීමාව තුළදී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු භාණ්ඩ රැසක් අතුරුදහන් වී ඇති අතර ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන (Coats of Arms) ගණනාවක් ඒ අතර වෙයි.
නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡන යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්තකයේ තබා ගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම් දෙයි.
තවද, මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0112354354 දරන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට මහජනතාව දක්වන සහාය ඉතා අගය කොට සලකන බව සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය










