රජය විසින් නිකුත් කර තිබෙන නව ගැසට් නිවේදනයකට අනුව කල් ඉකුත්වී ඇති මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා ඉතාමත් කුමන්ත්‍රණකාරී දේශපාලන මැදිහත්වීමක් සිදු කෙරෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. දින නියමයක් නොමැති ලෙස කල් තබා තිබෙන 2023 මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවණය නොපවත්වා ආණ්ඩුව මේ සුදානම් වන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වනසා දැමීමට බවයි ඔහු කියන්නේ. Sri Lanka Latest News
“ජනතාව සතු මූලික අයිතියක් තමයි ඡන්ද අයිතිය. ආණ්ඩුව ඉතාමත් නිර්ලජ්ජිත විදිහට ඒ අයිතිය පාගා දමමින් ඉන්නවා. අපි දන්නවා පසුගිය මාර්තු 09 වෙනිදා පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරමින් පැවති පළාත් පාලන මැතිවරණය විවිධ හේතු දක්වමින් බාධා කරමින් කල්දමා තිබෙන බව. ඒ සඳහා අධිකරණ නියෝගයක් පවා නිකුත් කර තිබිය දී යි මේ කල් දැමීම කර තිබෙන්නේ. ඡන්දය පැවැත්වීමේ නීත්‍යනුකූල අයිතිය ඉල්ලලා ජනතාව පාරට බැහැලා නොනවත්වා අරගල කරමින් ඉන්නවා.
රනිල් රාජපක්ෂ ආණ්ඩුව දන්නවා තමන්ට ඇති මහජන අකමැත්තෙ, මහජන විරෝධයේ තරම. ඒ නිසා දැන් මේ හදිසි ගැසට් නිවේදනයෙන් ආණ්ඩුව උත්සහ ගන්නේ තමන්ගේ හෙන්චයියලා නඩත්තු කරන්න ගනු ලබන උත්සහයක්. මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා ‘පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සදහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දී රටේ ඇතිවී ඇති යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි වන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක ඉහත 10 (2)(ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධුර කාලය දීර්ඝ කරන ලද කාලසීමාව මාස 12ක් ඉක්මවී තිබුණේ වී නමුත් අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තවත් යම් කාලසීමාවක් සදහා අදාළ විසිරුණු සභාව නැවත කැදවිය හැකි විය යුත්තේය’ කියලා.
මේ කියන්නේ දැන් වෙනකොට නීත්‍යානුකූලව කල් ඉකුත් වෙලා, අහෝසිවෙලා තියෙන පළාත් පාලන ආයතන ටික ආයෙමත් පරණ ගෝල බාලයන්ගෙන් පුරවගන්න. ඒ අයව නඩත්තු කරගන්න. ප්‍රජාතන්ත්‍රවාදය අකුලන්න.
මේක ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. භයානකයි. විනාශකාරියි. මේ එන්න හදන්නේ ජේ.ආර්. ජයවර්ධන පන්නයේ වැඩ පිළිවෙලකට. අපි මේ සඳහා ඉඩ දෙන්නේ නැහැ. ආණ්ඩුවේ මේ ලැජ්ජා නැති, නිරුවත් උත්සාහයට එරෙහිව ගතහැකි හැම ක්‍රියා මාර්ගයක්ම අපි ගන්නවා. ඉතාමත් ඉක්මනින් පළමුවෙන්ම අපි මීට එරෙහිව අධිකරණට යනවා. ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිනාගන්නවා” යි වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනවා.










