• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම හෙල්ලූ හාර ලක්ෂයේ මංකොල්ලය ආයෙත් කියවමු I Sri Lanka Latest News

June 15, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුත්තලම-අනුරාධපුර පාරේ යන කොට මිනිස්සු බය වෙන්නෙ ඇයි?

කැලයට ඇදගෙන ගිහින් මරාදාපු ජෝන් සිල්වාගේ කෑගහන හඬ තවමත් ඇහෙනවද?

‘හාරලක්ෂේ මංකොල්ලය’ නමින් ප්‍රකට කලම්බො ටර්ෆ් ක්ලබ් නොහොත් කොළඹ තුරඟ තරග සමාජයේ මහා මංකොල්ලය සිදුවූයේ මින් වසර 73කට පමණ ඉහත එනම් 1949 ජනවාරි 31 වැනි දිනය. එවක සිදුවූ විශාලතම මංකොල්ලය ලෙස එය ඉතිහාසයට එක්විය.(Sri Lanka Latest News)

අහිංසක මෝටර් රථ රියැදුරකුට නිරපරාදේ තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ එම මංකොල්ලයට සම්බන්ධ විත්තිකරුවන් අටදෙනකුට චෝදනා හතරක් යටතේ නඩු පැවරිණි. මෙම කොල්ලයේ මහමොළකරු වූ එම්. ඒ. දොන් ජේම්ස් සෙනෙවිරත්න මෙම කොල්ලය සැලසුම් කරන ලද්දේ තම මස්සිනා වූ ‘ලෑතර බාස්’ නමැත්තා බේරාගැනීම සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනීමට බව පැවසේ. ලෑතර බාස් යනු වයිට් හවුස් මිනීමැරුමේ ප්‍රධාන සැකකරුවාය.

මින් ඉහත පෝස්ටුවකින් මා සඳහන් කළ වයිට් හවුස් මංකොල්ලයේ පළමුවැනි විත්තිකරු වූයේ ලෑතර බාස්ය. වතු පාලකයකු වූ වයිට්හවුස් මහතා ඝාතනය කර මුදල් කොල්ලකෑමට උත්සාහ කළද ලෑතර බාස්ට මුදල් හමුවූයේ නැත. ඒ වෙනුවට ලැබුණේ එළව`ඵ මල්ලක් පමණි.

කලම්බො ටර්ෆ් කල්බ් හෙවත් කොළඹ තුරඟ තරග සමාජයේ අශ්ව රේස් පැවැත්වූයේ සෙනසුරාදා දිනවලය. මෙරට ඉහළ සමාජයේ ධනවතුන් හා සුදු මහත්වරුන් විනෝදය පිණිසද සාමාන්‍ය පුද්ගලයෝ කිසියම් මුදලක් දිනාගැනීමේ අරමුණ ඇතිවද එහි ඔට්ටු ඇල්ලීමට පුරුදුව සිටියහ. සතියකට වරක් විශාල මුදලක් එම සමාජයට ලැබිණි. රුපියල් 2, 5, සහ 10යේ නෝට්ටු මිටිවලින් සමන්විත එම මුදල් සඳුදා දිනයේ බැංකුවේ තැන්පත් කරන තුරු ප්‍රධාන අයකැමිවරයා යටතේ පැවති මුදල් සේප්පුවක තැන්පත් කෙරිණි.

වර්තමානයේ කොළඹ රීගල් සිනමාහල අසල එදා තිබුණේ කුලියට රථවාහන සපයන සංචාරක සමාගමකි. ආම්ස්ට්‍රෝං ටුවරිස්ට් ඒජන්සිය නම් එම සමාගම ප්‍රකට වූයේ ආම්ස්ට්‍රෝං ගරාජය ලෙසිනි. සෑම සඳුදාවකම කොටුවේ පිහිටි චාටර්ඩ් බැංකුවට (කාර්ගිල්ස් හා මිලර්ස් සමාගම ආසන්නයේ මෙය පිහිටා තිබිණි.) යෑම සඳහා මගීන් සත්දෙනකුට පහසුවෙන් ගමන් කළ හැකි වාහනයක් තුරඟ තරග සමාජයට ලබාදුන්නේ ආම්ස්ට්‍රෝං ගරාජයෙනි. ආම්ස්ට්‍රෝං ගරාජය සතුව ෂවලේ (චවලට්) විශාල මෝටර් රථ හතරක් තිබූ අතර බොහෝ විට තුරඟ තරග සමාජයේ සේවය සඳහා යැවුණේ Z 6033 වර්ගයේ නිල් පැහැති මෝටර් රථයයි. එහි රියැදුරු වූයේ ජෝන් සිල්වා නමැත්තෙකි.

එවක 56 හැවිරිදි ජෝන් සිල්වා ඉතා සුහද කාරුණික පුද්ගලයකු විය. සෑම සඳු දිනකම Z 6033 රථය තුරඟ තරග සමාජය වෙත යන්නේ උදෑසන 8ටය. එය පිටකොටුව පොලිසියට ගොස් එහි සේවය කරන පොලිස් නිලධාරියකුද රථයට නංවා ගන්නේ මුදල්වල ආරක්ෂාව පිණිසය. පොලිස් නිලධාරියාද සමග රාජකීය විද්‍යාලය ඉදිරිපිට ඇති තුරඟ තරග සමාජය වෙත එන ජෝන් සිල්වා එහි පිවිසි විට එයට මුදල් සහිත ට්‍රන්ක පෙට්ටි පැටවීම සිදුවේ.

Sri Lanka Latest News

තුරඟ තරග සමාජය සතු වෑන් රථයක් විය. එම රථයේ රියැදුරා වූයේ ගිල්බට් ඩයස් නම් නිත්‍ය රියැදුරෙකි. සයිමන් සිල්වා ඇතුඵ තවත් සේවකයන් කිහිප දෙනෙක් පොලු කිහිපයක් ද රැගෙන ආරක්ෂාව සඳහා එයට ගොඩවන අතර ප්‍රධාන මුදල් අයකැමිවරයා සහ තවත් අයකැමිවරුන් දෙදෙනෙක් මුදල් පෙට්ටි සහිත මෝටර් රථයට ගොඩවෙති. ඉදිරි අසුනේ රියැදුරා හා පොලිස් නිලධාරියාය. මෝටර් රථය ඉදිරියෙන් ගමන් ගන්නා අතර වෑන් රථය එයට ආරක්ෂාව සපයමින් පසුපසින් ගමන් කිරීම සතිපතා අනුගමන කළ ක්‍රියාමාර්ගය විය.

එම්.ඒ. ‍දොන් ජේම්ස් සෙනෙවිරත්න පදිංචිව සිටියේ වැල්ලම්පිටියේය. ඔහුගේ ව්‍යාපාරය වූයේ මිනීපෙට්ටි වෙළෙඳාමය. ඔහුගේ මස්සිනා වූ ලෑතර බාස් මිනීමැරුම් චෝදනාවක්‌ මත සිරගතව සිටි අතර, ඔහුට එරෙහි චෝදනාව ඔප්පු වන ලකුණු පෙනෙන්නට තිබිණි.

එහෙයින් ඔහු බේරාගැනීම සඳහා දක්ෂ නීතිඥයකු සොයා ගැනීමට ඔහුට මුදල් අවශ්‍ය වී තිබිණි. ඔහුද තුරඟ තරග සඳහා ඔට්ටු අල්ලන්නකු විය. තම මස්සිනා ගලවා ගැනීම සඳහා මුදල් සොයමින් සිටි ඔහුට තුරඟ තරග සමාජයට සතියකට එකතු වන මුදල් සම්භාරය දැකගත හැකි විය. එයින් මුදල් ටිකක්‌ සොරාගත හැකි නම් තම ගැටලුව විසඳෙන බැව් ඔහුට හැඟී ගියේය.

ජේ.පී රාජපක්ෂ නොහොත් ටිප් ටොප් වෙද මහත්තයා ජීවත් වූයේද වැල්ලම්පිටියේය. යුද්ධය නිසා හිමිකරුවන් අතහැර ගිය කාමර පේළි හතරක් සහිත ගොඩනැගිල්ලක මැද කාමරයක හුදෙකලාව ජීවත් වූ ඔහුට මුදලින් අගහිඟයක් තිබුණේ නැත. ඔහුද ඉඳහිට තුරඟ තරග සමාජයේ ඔට්ටු අල්ලන්නට පුරුදුව සිටි අයෙකි. දිනක් තුරඟ තරග පිටියේදී රාජපක්ෂට සෙනෙවිරත්න හමුවිය. ඔහුගේ මස්සිනා පිළිබඳ කෙරුණු කතාබහකදී තමාට රුපියල් 300ක් තිබේ නම් ප්‍රශ්නය පහසුවෙන් විසඳාගත හැකියැයි සෙනෙවිරත්න, රාජපක්ෂට පැවැසීය. ඒ කෙසේදැයි රාජපක්ෂ ඇසූ විට තම අරමුණ පැහැදිලි කළ සෙනෙවිරත්න, තමාට මිනිසුන් පස්දෙනකු අවශ්‍ය යැයිද කීවේය. රාජපක්ෂට එයට එකඟ වන මෙන් ඉල්ලා සිටි අතර, එයට කැමැත්ත පළකළ රාජපක්ෂ ඔහුට රුපියල් 300 දීමටද එකඟ විය.

පුංචි සිංඤෝ වීරසිංහ කොළඹ බ්‍රවුන් සමාගමේ කාර්මිකයෙකි. ඔහුද කොලොන්නාවේ වැසියෙකි. රාජපක්ෂ තම අරමුණ ඔහුට පවසා තමන් සමග එක්වන ලෙස ඉල්ලා සිටියද වීරසිංහ එයට අකැමැති විය. එසේ නම් තමාට රිවෝල්වරයක් සොයා දෙන්නැයි ඔහු වීරසිංහගෙන් ඉල්ලා සිටියද වීරසිංහ එයටද අකැමැති විය. මේ අතර සෙනෙවිරත්න තමාට අවශ්‍ය පිරිස සොයාගන්නට සමත් විය. කොළඹ රේස් ඔට්ටුපළක සේවය කළ රූපානන්ද සිල්වා, දෙවැනි ලෝක යුද සමයේ හමුදා රියැදුරකු වූ විජයදාස පෙරේරා, හිටපු පොලිස් කොස්තාපල්වරයකු වූ වර්ලිස් මුණසිංහ එම කණ්ඩායමට එක්වූ පිරිස විය.

මුදල් කොල්ලය සඳහා සූක්ෂ්ම වැඩපිළිවෙළක් සකස් කළ යුතු විය. ආම්ස්ට්‍රෝං ගරාජයේ සිට පැමිණෙන මෝටර් රථය වෙනුවට වෙනත් රථයක් සපයාගත යුතු විය. සී.ඊ. 757 අංකය දරන මෝටර් රථයේ හිමිකරු වූයේ ඇම්.කේ. විල්සන් නමැත්තෙකි. 1949 ජනවාරි 29 දින එක්තරා පුද්ගලයෙක් ඔහු වෙත පැමිණ කොළඹ සිට පුත්තලම් පාරේ සැතපුම් 100 පමණ දුරක් ගමන් කිරීම සඳහා කොපමණ මුදලක් අවශ්‍යදැයි ඇසීය. විල්සන් ඒ සඳහා රුපියල් 100ක් ඉල්ලා සිටියේය. ගමන යා යුත්තේ ජනවාරි 30 වැනිදා යැයි පැවැසූ අමුත්තා ඒ සඳහා රුපියල් 50ක අත්තිකාරමක්ද ගෙවීය.

ජනවාරි 30 වැනි දින වතු අධිකාරිවරයකුට සමාන පුද්ගලයෙක් අම්ස්ට්‍රෝං ගරාජය වෙත පැමිණ මගීන් 7 දෙනකු සමග පුත්තලමට යෑම සඳහා මෝටර් රථයක් ඉල්ලා සිටියේය. වාහන කුලිය ලෙස රුපියල් 186ක් අයකැමිවරයාට ගෙවූ ඔහුට ලැබුණේ ජෝන් සිල්වා රියැදුරු ලෙස කටයුතු කළ Z 6033 මෝටර් රථයයි. පෙට්‍රල් ගැලුමකින් සැතපුම් 16ක් ගමන් කළ හැකි එම රථයට පෙට්‍රල් ගැසීමට හා රියැදුරු බටා ලෙස අයකැමිවරයා ජෝන් සිල්වාට රුපියල් 40ක් ලබා දුන්නේය. එම රථය වෙන් කරගෙන තිබුණේ රූපානන්දය. එදින සවස 2.30 එම රථයෙන් පුත්තලම බලා යෑමට රූපානන්දත්, මුණසිංහත් පිටත් විය. වික්ටෝරියා පාලම අසලදී විජේදාසද රථයට ගොඩවිය.

මේ අතර විල්සන්ගේ රථයට අත්තිකාරම් ගෙවූ පුද්ගලයා තවත් පුද්ගලයන් දෙදෙනකු සමග පුත්තලම බලා යෑමට විල්සන්ගේ නිවෙසට පැමිණියේය.

විල්සන්ගේ වාහනය පුත්තලමට ළඟාවූයේ සවස 5.30ට පමණය. තවත් සැතපුම් 12ක්‌ පමණ ගමන් කළ ඔවුහු එම මාර්ගයේ 13/4 දරන බෝක්කුව අසලින් බැස තමන් වෙනත් හිතවතකුගේ මෝටර් රථයකින් පැමිණෙන හෙයින් තමන් එනතුරු පුත්තලමේ සිටින ලෙසට පවසා විල්සන්ගේ රථය පිටත් කර හැරියේය. එම රථයෙන් පැමිණි දෙදෙනා සෙනෙවිරත්න සහ රාජපක්ෂය.

ජෝන් සිල්වා පැදවූ වාහනය සවස 5ට පමණ පුත්තලමේ වික්ටරි හෝටලය ඉදිරිපිට නවතන ලදී. රූපානන්දත්, මුණසිංහත්, ජෝන් සිල්වාද සමග හෝටලය වෙත ගියහ. අරක්කු ටිකක් බොමුදැයි ජෝන් සිල්වාගෙන් ඇසූ ඔවුහු අරක්කු ගෙනෙන ලෙස වේටර්වරයකුට අණ කළහ. ජෝන් සිල්වාට අරක්කු පෙවූ නමුදු රූපානන්ද මත්පැන් බීවේ නැත. ආහාර ගැනීමෙන් පසු ඔවුහු අනුරාධපුර දෙසට ගමන් ඇරඹූහ.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව ප්‍රදේශයේ පිහිටි 13/4 බෝක්කුව අසලට ඔවුහු පැමිණියහ. ඒ වන විට රාජපක්ෂත් සෙනෙවිරත්නත් එහි පැමිණ සිටියහ. අඳුර ක්‍රමයෙන් වැඩිවෙමින් තිබූ අතර රථයෙන් බැසගත් මුණසිංහ හා රූපානන්ද මඳක් මත් ගතියෙන් සිටි ජෝන් සිල්වාද රථයෙන් බස්සවා ගත්හ. අන්දමන්ද වූ ජෝන් සිල්වා ඇයිදැයි විමසූ විට එහි පැමිණි රාජපක්ෂත් සෙනෙවිරත්නත් ඔහුට පහර දී ඔහුගේ දෑත බැඳ මීටර් 200ක් පමණ වනාන්තරය තුළට ඇදගෙන යන්නට වූහ. මරණ බයෙන් තැතිගත් ජෝන් සිල්වා කෑගසන්නට විය. එහෙත් ඒ පාළු ප්‍රදේශයේ ඔහුගේ කෑ ගැසීම අසන්නට සිටියේ කැලයේ සිටි වන අලි රංචු පමණි.

සෙනෙවිරත්න ඇතුළු පිරිස ජෝන් සිල්වා විශාල පළු ගසකට තබා බැඳ දැමූහ. රාජපක්ෂ අත ගෑස් වෙස් මුහුණක් තිබිණි. ඔහු එය ජෝන් සිල්වාගේ මුහුණට දමා හුස්ම ගැනීමට ඇති නළය සිරකරනු රූපානන්ද දුටුවේය. මහත් අසීරුවෙන් ටික වේලාවක් දැඟලූ ජෝන් සිල්වාගේ හිස පහතට කඩාවැටෙනු ඔහු දුටුවේය. හුස්ම ගැනීමට නොහැකි වීමෙන් ඔහු මරණයට පත්ව තිබිණි.

පිරිස ජෝන් සිල්වා පදවාගෙන පැමිණි රථයෙන් කොළඹ බලා පිටත් වූහ. පසුදින උදෑසන 8 වන විට ඔවුහු කොළඹට ළඟා වූහ. මරදානේ බුහාරි හෝටලයට ගිය රූපානන්ද ආම්ස්ට්‍රෝං ගරාජයට දුරකතන ඇමතුමක් දී තමා ටර්ෆ් කල්බ් එකේ අයකැමිවරයකු බවත්, මුදල් ගෙනයාම සඳහා එදින වාහනය අවශ්‍ය වන්නේ උදෑසන 8ට නොව 10ට පමණ යැයි පැවසීය.

පුත්තලමට ගිය වාහනය එතෙක් නොපැමිණ තිබූ හෙයින් ආම්ස්ට්‍රෝං ගරාජයේ කළමනාකරු වූ ජලල්දීන් CL 1128 වාහනය එහි යැවීමට සූදානම් කර තිබිණි. එහි රියැදුරු වූයේ ජයවර්ධන නමැත්තෙකි. රූපානන්දගේ දුරකතන ඇමතුම ගත්තේ ඔහුය. ඒ අනුව උදෑසන 8 නොව 10ට එහි යෑමට ඔහු සූදානම් විය.

Sri Lanka Latest News

එදින තුරඟ තරග සමාජයේ මුදල් ට්‍රන්ක් පෙට්ටි දෙකකට පැටවිණි. එකක රුපියල් 3,22,000ක්ද තවත් පෙට්ටියක රුපියල් 75,699,50ක මුදලක්ද වූ අතර තවත් රුපියල් 53,634ක චෙක්පත් අයකැමිවරයා අත විය. හරියටම උදෑසන 8.30 වන විට ආම්ස්ට්‍රෝං ගරාජයේ Z 6033 මෝටර් රථය තුරඟ තරග පිටියට ඇතුඵ විය.

එහි ප්‍රධාන අයකැමිවරයා වූයේ එස්.ආර්. පීරිස් මහතාය. ඔහු වසර 24ක් එහි සේවය කළ අවංක නිලධාරියකු විය. වාහනයට මුදල් පෙට්ටි පැටවූ අතර එලෙස මුදල් පැටවූ එක් සේවකයකු වූ ඩිංගිරි බණ්ඩා සුපුරුදු රියැදුරා වූ ජෝන් සිල්වා නොමැති බැව් දැක ජෝන් අයියා කොහේදැයි ඇසීය. ඔහු අසනීපයෙන් පසුවන හෙයින් තමා පැමිණියේ යැයි අලුත් රියැදුරා ඔහුට කීය. අලුත් රියැදුරා වූයේ විජේදාසය. පොලිස් වෙස් ගෙන සිටි මුණසිංහ ඉදිරි අසුනේ සිටියේය.

මුදල් පෙට්ටි රථයට පැටවීමෙන් පසු ප්‍රධාන අයකැමිවරයා වූ පීරිස් මහතාද සහකාර අයකැමිවරුන් වූ ඇල්බට් සිල්වා හා ඩී.බී. පෙරේරාද වාහනයට ගොඩවූහ. රථය රාජකීය විදුහල දෙසින් දකුණට හරවා ගමන් කරන්නට විය මුදල් ගෙනයන වාහනයේ ආරක්ෂාවට එහි පසුපසින් ගමන් ගන්නා වෑන් රථය කාර්මික දෝෂයක් ඇති වූ බැවින් පණගැන්වීමට මඳක් ප්‍රමාද විය. එහෙයින් ඔවුනට මෝටර් රථය මඟහැරිණි. ඔවුහු කෙළින්ම බැංකුව වෙත ගියහ. එහෙත් ඒ වන විටත් මෝටර් රථය බැංකුව වෙත පැමිණ තිබුණේ නැත.

මෝටර් රථය ඇල්ෆ්‍රඩ් චන්ද්‍රවංකය අසලට ළඟාවූවා පමණි. (කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගය) පොලිස් නිලධාරියා ලෙස පෙනී සිටි මුණසිංහ එක්වරම අයකැමිවරුන් වෙත පිස්තෝලය එල්ල කර ‘පණට ආදරේ තියෙනවනං බැහැපියව්’ යනුවෙන් අණ කළේය. මේ අතර වාහනයේ වේගය අඩු වූ අතර කොහේදෝ සිට දිව ආ පුද්ගලයන් දෙදෙනෙක් වාහනයේ එල්ලෙනු අයකැමිවරයා දුටුවේය. එක් පුද්ගලයකු අත රිවොල්වරයක් විය. අයකැමිවරයා රථයෙන් නොබැස මුදල් පෙට්ටි මත හිඳගෙන එය තරයේ අල්ලා ගත්තේය. පොලිස් නිලධාරියා වූ මුණසිංහ ඔහුගේ මුහුණට වෙඩි තැබීය. ශ්‍රාවස්ති මන්දිරය ඉදිරිපිටදී ඔහු එළියට ඇදදමනු ලැබීය. රථයේ එල්ලුනු දෙදෙනා සෙනෙවිරත්න හා රාජපක්ෂ වූහ.

එදින සවස් වන විට Z 6033 මෝටර් රථය බොරැල්ල නොරිස් පටුමගේ දමාගොස් තිබියදී පොලිසියට හමුවිය. මංකොල්ලයට රූපානන්ද හවුල් නොවූ අතර ආම්ස්ට්‍රෝං ගරාජයට දුරකතන ඇමතුම ලබා දීමෙන් පසු ඔහුගේ සේවය අවසන් විය. මංකොල්ලයෙන් පසු එදින සවස රූපානන්ද හමුවට පැමිණි රාජපක්ෂ ජෝන් සිල්වා බැඳ දැමූ ස්ථානය පිළිබඳ සඳහන් කොට පුත්තලම පොලිසියට තැපැල් පතක් යැවිය යුතුයැයි කීවේය. ඒ අනුව මරදාන පොලිසියට එක් තැපැල් පතක්ද පුත්තලම පොලිසියට තවත් තැපැල්පතක්ද යැවීමට ඔවුහු පියවර ගත්හ.

පසුදින පුවත්පත්වල මෙම මංකොල්ලය පිළිබඳ වාර්තා විය. රාජපක්ෂ විසින් පිස්තෝලයක් සපයා දෙන ලෙස ඉල්ලා සිටි පුංචි සිංඤෝ වීරසිංහට මංකොල්ලය පිළිබඳ දැනගන්නට ලැබිණි. සෙනෙවිරත්න හමු වූ ඔහු කොල්ලකෑ මුදලින් තමාටද කොටසක් අවශ්‍ය යැයි කීවේය. සෙනෙවිරත්නගේ පිළිතුර වූයේ තුන් මසක් ගතවන තෙක් මුදල් බෙදා නොගන්නා බවයි.

මේ අතර පොලිසිය අතුරුදන් වූ ජෝන් සිල්වා පිළිබඳ විමර්ශන අරඹා තිබිණි.

පුත්තලම පොලිසියේ ස්ථානාධිපතිවරයා වූයේ බී.එල්. එන් ෆර්ඩිනැන්ඩෝ මහතාය. පෙබරවාරි 01 දින ඔහුට තැපැල්පතක් ලැබිණි. එහි සඳහන් වූයේ කිසියම් පුද්ගලයකු පළු ගසක බැඳදමා ඇති බවටය. එය රූපානන්ද විසින් එවූ තැපැල්පතයි. ඔහු එම ස්ථානය සොයා ගියේය. පැය ගණනක වෙහෙසකර ව්‍යායාමයකින් පසු ඝන කැලෑවේ පළු ගසක ගැටගසා සිටි මිනිසකු සොයාගැනීමට පොලිස් කණ්ඩායමට හැකි විය. දැඩි උෂ්ණ ප්‍රදේශයක් වූ හෙයින් ඒ වන විටත් මළ සිරුර ඉදිමී දැඩි දුර්ඝන්ධයක් හමමින් තිබිණි. එම මළසිරුර තම සොහොයුරා වූ ජෝන් සිල්වාගේ බවට පසුව ඔහුගේ සොහොයුරු ඒබ්‍රහම් සිල්වාත්, මස්සිනා වූ බී.ඇස්. පෙරේරාත් හඳුනා ගත්හ.

ටර්ෆ් කල්බ් මංකොල්ලයට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන්නකුට විශාල මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට පොලිසිය ප්‍රකාශ කළේය.

තුන් මසකින් මුදල් ලබාදෙන බවට සෙනෙවිරත්න කළ ප්‍රකාශය වීරසිංහගේ සිත් ගත්තේ නැත. ඔහුට කඩිනමින් මුදල් අවශ්‍ය වූ අතර සෙනෙවිරත්නගෙන් මුදල් ලබාගැනීම අසීරු බැව් ඔහුට වැටහිණි. එහෙයින් පොලිසියට ඔත්තුව දී එම ත්‍යාග මුදල ලබාගැනීමට ඔහු තීරණය කළේය.

වීරසිංහගේ ඔත්තුව මත ප්‍රථමයෙන් විජේදාස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. මෙම විමර්ශනය මෙහෙය වූයේ කොළඹ නියෝජ්‍ය පොලිස් අධිකාරිවරයා වූ ලයනල් ගුණතිලකය. විජේදාසගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී කොල්ලය පිළිබඳ සියලු තොරතුරු ඔහු පොලිසියට අනාවරණ කළේය. ඉන්පසු රූපානන්ද අත්අඩංගුවට ගැනිණි. ඔහු මිනීමැරුමට හෝ මංකොල්ලයට සම්බන්ධ නොවූ බැව් ප්‍රකාශ කළ අතර, පසුව රජයේ සාක්ෂිකරුවකු විය. දින කිහිපයකට පසු මංකොල්ලයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. ඒ අනුව විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව නඩු පැවරිණි.

  1. හත්වැල්ලගේ ගිල්බට් ඩයස්
  2. මලිගස්පෙකෝරළගේ විල්සන්
  3. සුබවීරගේ ලුවිස් ඩයස් නොහොත් මදාවියා
  4. නානායක්කාර අතලුගමගේ සයිමන් ද සිල්වා ජයසිංහ නොහොත් ආරච්චිරාළ
  5. මාකවිටගේ විජේදාස පෙරේරා
  6. මුණසිංහ ආරච්චි ලේකම්ලාගේ වර්ලිස් මුණසිංහ නොහොත් මුණසිංහ අරච්චි ලේකම්ගේ වජිර මුණසිංහ
  7. මනිකුමාර ආරච්චිගේ දොන් ජේම්ස් සෙනෙවිරත්න
  8. රාජපක්ෂ ලියනගේ ජයනන්ද ප්‍රේමලාල් නොහොත් ජේ.පී. රාජපක්ෂ නොහොත් ටිප්ටොප් වෙද මහතා එම චූදිතයෝ වූහ.

පළමුවැනි විත්තිකාර ගිල්බට් ඩයස්, තුන්වැනි විත්තිකාර ලුවිස් හා සිවුවැනි විත්තිකාර සයිමන් ද සිල්වාට එරෙහිව කිසිදු චෝදනාවක් නොවූයෙන් නඩු විභාගය අතර ඔහු නිදහස් කෙරිණි. සොරකමට වරද පිළිගත් ඇම්. කේ විල්සන් හට බරපතළ වැඩ සහිත දස වසරක සිර දඬුවමක් නියම විය. විජයදාස පෙරේරා, වර්ලිස් මුණසිංහ, ජේම්ස් සෙනෙවිරත්න, සහ ජේ.පී රාජපක්ෂ යන සිවු දෙනාට මරණ දඬුවම නියම විය.

1950 මාර්තු 31 දින විජේදාසද, අප්‍රේල් 01 දින මුණසිංහද, අප්‍රේල් 04 දින සෙනෙවිරත්නද, අප්‍රේල් 05 දින රාජපක්ෂද පෝරකයට නංවන ලදහ. රූපානන්ද රජයේ සාක්ෂිකරුවකු වීම නිසා සියලු චෝදනාවලින් ඔහු නිදහස් විය. අනෙකුත් විත්තිකරුවන්ගේ ඥාතීන්ගෙන් ඔහුට අනතුරක් විය හැකි බැවින් එවක සිටි පොලිස් අධිකාරිවරයකු වූ අශ්විනි කුමාර් රොක්වුඩ් මහතා ඔහුට රැකියාවක් සොයාදී වෙනත් නමකින් නුවරඑළිය ප්‍රදේශයේ පදිංචි කළේය. නව දිවියක් ආරම්භ කළ රූපානන්ද පිළිබඳ ඉන්පසු අසන්නට ලැබුණේ නැත. ඔහුගේ පවුලට සෑම මසකම රුපියල් 50ක ආධාර මුදලක් රජයෙන් ලැබිණි.

කොල්ලකරුවන් විසින් මරාදැමූ ජෝන් සිල්වා යහපත් පුද්ගලයකු විය. ඔහුට සිටියේ එකම පුතෙකි. ඔහු නමින් කේ.පී. සිල්වාය. තම පියාගේ මරණයෙන් දැඩි කම්පාවට පත් ඔහු පිටකෝට්ටේ දේවානන්ද හිමි නමින් කඩවැද්දුවේ ජිනවංශ හිමියන් යටතේ පුහුල්වැල්ල ආරණ්‍යයේ පැවිදි විය. කලක් අතුරුගිරියේ ඥානවිමලාරාමයේ වැඩවිසූ උන්වහන්සේ දායකයන්ගේ ආරාධනාවෙන් බෞද්ධාලෝක මාවතේ ජර්මන් බෞද්ධ ධර්මදූත මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන් වැඩසිටි අතර පසු කාලයේ අපවත් වූහ. දේවානන්ද හිමි ගිහි සමයේ ජීවත් වූයේ නුගේගොඩ තිලක උයනේ මහාචාර්ය සුනිල් ආරියරත්න හා තිලකරත්න කුරුවිට බණ්ඩාර යන සොහොයුරන්ගේ පියා වූ තෝමස් සිල්වා මහතාට අයත් නිවෙසකය.

පසු සටහන
අනුරාධපුර පුත්තලම් පාරේ කරුවලගස්වැව ප්‍රදේශයේ 12 කණුව අසල ජෝන් සිල්වාගේ ඥාතීන් විසින් 1976දී පමණ තනවන ලද සිහිවටනය තවම දැකිය හැකිය. එම සිහිවටනය අසලින් මීටර 200ක් පමණ වනය තුළට ගමන් කරන විට ඔහු මරාදැමූ ස්ථානය හමුවේ. 1950 දසකයේ එම ස්ථානයේ තනවන ලද සිහිවටනයක සුන්බුන් පමණක් ඉතිරිව තිබෙනු දැකිය හැකිය. ඔහු මරාදැමුණු දැවැන්ත පළු ගස මේ වන විට දිරාගොස් ඇති අතර, ඉන් ශේෂ වූ විශාල අතු කැබැල්ලක් පමණක් ඉතිරිව තිබේ. අද වන විටද පාළු හුදෙකලා බවක් දැකිය හැකි එම ප්‍රදේශය මෙයින් දශක 7කට පමණ ඉහත කොතරම් ඝන කැලෑවක් වන්නට ඇතිදැයි සිතාගත හැකිය. මෙම ලිපිය සමග පළවනුයේ අප එම ස්ථානයට ගොස් ගන්නා ලද ඡායාරූප කිහිපයකි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

SendShareShare
Previous Post

ජීවිතේ කියා දුන් විදුහල් මෑණියන් කෙලෙසූ පවුකාර සිසුන්ට පොලිසියෙන් අමතක නොවෙන පාඩමක් කියාදෙයි ! VIDEO I Sri Lanka Latest News

Next Post

හපුතලේ ගංවතුරට ජිප් රථයක් ගසාගෙන යන දර්ශන අපේ රටේ නොවේ! විදෙස් රටක වීඩියෝවක් බව තහවුරු වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.