කෑගල්ල දිස්ත්‍රික්කය
පුරාම දැකගන්න ලැබෙන වළගම්බා රජතුමා සමඟ බැඳුණු ස්ථාන අතරින් එක තැනක් තමයි දෙගලතිරිය කියන්නෙ. දෙගලතිරියේ මහ පර්වතය පාමුල ලෙන් විහාරයක් පිහිටලා තියෙනවා. මේ පර්වතයට තරමක් ඈතින් මානගල කියන කන්ද දැකගන්න පුළුවන්. ලෙන් විහාරය තියෙන පර්වතයට කියන්නෙ මහගල කියලයි. මානගලත් මහගලත් අතරෙ තියෙන බිම් තීරුව දෙගලතිරිය විදියටයි හඳුන්වන්නේ.
කෑගල්ලෙ ඉඳලා බුලත්කොහුපිටිය පාරෙ කිලෝ මීටර් 13ක් විතර දුරක් ගියාම හමුවෙනවා මාබෝපිටිය හන්දිය. එතැන ඉඳලා වම් පැත්තට තියෙන පාරෙන් දේවාලෙ හන්දියත් බෝගහමුල හන්දියත් පහුකරගෙන කිලෝ මීටර් 3ක් විතර තරමක අපහසු පාරක යන්න ඕනෑ දෙගලතිරියෙ ලෙන් විහාරෙට. දෙගලතිරියේ මහගල පාමුලට ගියාම විහාරය හමුවෙනවා.

ලෙන ඇතුළෙ විහාර මන්දිරය දැකගන්න ලැබෙනවා. විහාරයේ බිතු සිතුවම් තරමක් මෑත කාලයක ඇඳපු ඒවා බවයි පෙනෙන්නේ. 1946 අවුරුද්දෙදී විතර ප්‍රතිසංස්කරණය කරන තුරුම මේ ලෙනේ තිබිලා තියෙන්නෙ මහනුවර යුගයට අයිති බිතු සිතුවම්. 1816 අවුරුද්දෙදී මේ ලෙන් විහාරයේ මුලින්ම ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටිය බවට ලිඛිත සාක්ෂි තියෙන බවයි අපට දැනගන්න ලැබුණේ. මේ ගල් ලෙන ඉදිරියේ බිත්ති බැඳලා සකස් කරලා තියෙන කොටසේ පැරණි යයි කියන්න පුළුවන් ආධාරක ගල් කණු කීපයකුත් දැකගන්න පුළුවන්. ඒවා පසු කාලෙදී කරපු අලුත්වැඩියාවකදී නැවත සවි කරලා තියෙන බව පේනවා. ඒවා මුල් කාලයේ තිබුණු විහාරෙන් ගත්තු ඒවා වෙන්න පුළුවන්.
වළගම්බා රජතුමා මේ පළාතෙ වාසය කරපු කාලෙක පාත්තරයක බෝ පැළයකුත් අරගෙන ගමන් කළාලු. බෝ පැළය මේ ස්ථානයෙ තියලා නැවත අරන් යන්න බලනකොට ඒක මුල් ඇදලා පැළවෙලා තිබිල තියෙනවා. ඒ වෙලාවෙ රජ්ජුරුවො කීවලු “මහ බෝ පිහිටියා” කියල. “මාබෝපිටිය” කියන ගමේ නම හැදුණේ ඒ විදියට කියලයි කියන්නෙ. දෙගලතිරියේ ගල පාමුල විහාරෙ ළඟ අදත් දකින්න තියෙන බෝධිය ඒ කාලෙ රෝපණය කරපු බෝධියෙන් පැවත එන බව තමයි කියවෙන්නේ.

මහගල අතරින් එහා මෙහා යන්න පුළුවන් තරමක් විශාල කපොල්ලක් විහාර ගල් ලෙන ළඟ තියෙනවා. විහාරය පිහිටලා තියෙන දෙගලතිරියත් ගල් පර්වතේට අනෙක් පැත්තෙන් තියෙන අතුරුපාන කියන ගමත් යා කෙරෙන්නෙ මේ කපොල්ලෙන්. විහාරෙට අනෙක් පැත්තෙන් කපොල්ලට කිට්ටුවෙන් දකින්න තියනවා විශාල ගල් පහනක්. මේ පහන ගැනත් කියවෙන අපූරු කතාවක් තියෙනවා.
ඉස්සර කාලෙ මේ කපොල්ලෙන් එහා මෙහා ගිය අයට එළිය සපයලා තියෙන්නෙ මෙතැන තියන ගල් පහනෙන්. සතුරු කරදර පැවතුණු කාලෙක ඈතින් විශාල ශබ්දයක් ඇහිලා ආරක්ෂක උපක්‍රමයක් විදියට පහන නිවා දාන්න කියල අණක් ලැබුණලු. පහන නිවා දමන්න, එහෙමත් නැත්නම් අඳුරු කරන්න අණ ලැබුණු හින්දා “අඳුරු පාන” වෙලා පස්සෙ “අතුරුපාන” කියන නම හැදුණා කියලයි කියන්නෙ. සංඝාවාසයට යන තැන පියගැට පේළිය දෙපැත්තෙත් විහාර මන්දිරයයි දාගැබයි අතරෙ තියෙන පියගැට පේළිය දෙපැත්තෙත් කැටයම්වලින් තොර මුරගල් ආකාරයේ පුවරු දකින්න පුළුවන්. සංඝාවාසය ළඟ තියෙන මුරගල් දෙක සමානත්වයක් පෙන්නුවත් දාගැබ ළඟ තියෙන මුරගල් දෙක නම් එකිනෙකට තරමක් වෙනස්. කැටයම් රහිත මුරගල් දකින්න ලැබෙන්නෙ ඒවා හදපු මුල් යුගයෙදී බවයි ඉතිහාසයෙ කියැවෙන්නේ.

දෙගලතිරියේ ලෙන් විහාරයට එන කෙනකුට ඒ අසලම තියෙන මහගල මුදුනට නැඟලා අවට පරිසරයේ සුන්දරත්වය දැකගන්න පුළුවන්. ගල් ලෙනට පිටුපසින් ගලේ අනෙක් පැත්තෙන් මුදුනට පහසුවෙන් නැඟගන්න කුඩා පියගැට පේළියකුත් තියනවා. මුලදී කියපු විදියට දෙගලතිරියත් අතුරුපානත් වෙන් කරන මේ ගල් පර්වතය කිලෝ මීටර් භාගයක් විතර දුරට විහිදෙනවා. ඒ මුදුනේ ඉඳලා ඈතින් ඈතට පෙනෙන දර්ශනය නම් හරිම චමත්කාරජනකයි. එක් පැත්තකින් ඌරාකන්ද, බතලේගල, වගේම රාමසැර කඳුවැටිය පෙනෙනවා. තවත් පැත්තකින් පෙනෙන්නෙ දෝතල්ඔය කඳුකරය.
අවට විශාල ප්‍රදේශයක් දර්ශනය වෙන මේ ගල් පර්වතය දිගේ කෙළවර දක්වාම ඇවිදගෙන යෑමත් අපූරු අත්දැකීමක් ගෙන දෙන්නක්. පර්වතයේ පළල සමහර තැනකදී අඩි තුනක් හෝ හතරක් පමණ දක්වා පටුයි. ඒ හින්දා ඒ තැන්වලදී බොහොම පරිස්සමින් තමයි ඇවිදගෙන යන්න වෙන්නේ. මේ විදියට පහසුවෙන් ළඟාවෙන්න පුළුවන් ගල් පර්වතයක් නම් කෑගලු දිස්ත්‍රික්කය පුරාවට විතරක් නෙවෙයි ලංකාව පුරාවටත් බොහොම අඩු බව කියන්න පුළුවන්. ගල් පව්වේ කෙළවර දක්වාම ඇවිදගෙන ගියාම දැකගන්න ලැබෙනවා ඉබ්බකුගේ හැඩය ගත්තු අපූරු ගල් කුළක්.
තවත් විශේෂ දෙයක් තමයි පර්වතයේ අතුරුපාන පැත්තට ඇති බෑවුමේ මැද කොටසේ තියෙන කිසිම දවසක වතුර හිඳෙන්නෙ නැති බව කියන පොකුණ. මුදුනේ ගල් තලාව දිගේ ඇවිදගෙන යනකොට වම් පැත්තෙ බෑවුමට බැහැල යන්න පුළුවන් විදියේ කුඩා පියගැට පේළියක් හමුවෙනවා. බහින එක නම් තරමක් අමාරුයි. ඒත් මේ පඩි පේළි බැහැගෙනයි කිසිදා දිය නොසිඳෙන පොකුණට යන්න වෙන්නේ. තරමක් දිග පොකුණ පළලින් අඩුයි. පොකුණ ළඟට ගියාම පෙනෙනවා මහා තාප්පයක් වගේ විහිදෙන ගල් පර්වතය. ඒ වගේම මහල් කීපයකින් යුතුව ඒ පර්වතය උස්වන ආකාරයත් හරිම අපූරු දර්ශනයක්. දෙගලතිරියෙ ලෙන් විහාරය වැඳපුදාගන්න එන කෙනකුට මහගල මුදුනට නැඟලා අවට පරිසරයේ සුන්දරත්වය හිතේ හැටියට විඳගන්න පුළුවන්. නිතර කවුරුත් මෙතෙන්ට එන්නෙ නැති හින්දත් පූජා භූමියක් හින්දත් මේ අවට පරිසරය තවමත් අපවිත්‍ර වෙලා නෑ. ඒ තත්ත්වය ඉදිරියටත් රැකගන්න මෙතැනට එන හැමදෙනාම කටයුතු කරනවනම් හොඳයි.
මහේෂ් ඉන්දික විජේතිලක











