අභිරහස් ලෙස මිය ගිය කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කළුතර ඉසුරු උයනේ පදිංචි ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති 29 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් හික්කඩුව ප්‍රදේශයේ දී වැටලීම කර තිබේ.
ඒ අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර, කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.
මියගිය පාසල් සිසුවිය තවත් තරුණයින් දෙදෙනකු සහ තරුණියක් සමඟ ප්‍රදේශයේ හෝටලයකට පසුගිය 06 වනදා පස්වරු 6.30ට පමණ පැමිණ තිබුණි.
පසුව ඔවුන් සිය ජාතික හැඳුනුම්පත් ඉදිරිපත් කර අදාළ හෝටලයෙන් කාමර දෙකක් වෙන්කරගෙන තිබේ.
එලෙස කාමර දෙකක් වෙන්කරගෙන ඒ වෙත ගමන් කළද සිව්දෙනාම එක් කාමරයක සිට මත්පැන් පානය කරන බව හෝටල් සේවකයෙකු දැක තිබුණි.
පසුව අදාළ පිරිසෙන් එක් තරුණියක් සහ තරුණයෙක් හෝටලයෙන් පිටත්ව ගොස් ඇත.
ඉන් මිනිත්තු 20කට පමණ පසු අනෙක් තරුණයාත් කලබලයෙන් මෙන් හෝටලයෙන් පිටතට යන අයුරු සේවකයන් දැක තිබේ.
අනතුරුව අදාළ හෝටලයට ආහාර ලබාගැනීමට පැමිණි අයෙකු හෝටලයට යාබඳ දුම්රිය මාර්ගයේ කාන්තාවක් නිරුවතින් වැටී සිටින බවට හෝටල් කාර්ය මණ්ඩලයට පවසා තිබුණි.
ඒ පිළිබඳ පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඒ වන විටත් අදාළ තරුණිය මියගොස් ඇති බවය.
මෙලෙස මියගොස් ඇත්තේ නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි කළුතර පාසලක 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවියකි.










