X – press Pearl නෞකා සිද්ධිය සම්බන්ධව ලබන සතියේ එක්දින විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවත්, චාමර ගුණසේකර නැමැති පුද්ගලයාගේ ක්‍රියා කලාපයේ විශ්වාසනීයභාවය පිළිබඳව සොයා බැලිය යුතු බවත් මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා අද (02) පෙරවරුවේ නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේදී කියා සිටියේය.
එංගලන්තෙ මුදල් විශුද්ධිකරණ නීති ඉතා ප්‍රබල බවත්, මෙම සිද්ධි දාමය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා රටට ප්‍රකාශ කළ යුතු බවත්, එය ඔහුගේ වගකීමක් වන බවත් පීරිස් මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුව සැම විටම IMF නොගිහින් කරන්න පුළුවන් විකල්ප අවස්ථා ඉදිරිපත් කරන ලෙස කියන බව කී පීරිස් මහතා එයට පිළිතුරු වශයෙන් රටට හිමිවිය යුතු මෙම වන්දි මුදල ලබා ගත්තා නම් IMF ණය මුදල මෙන් දෙගුණයක් බවත් කියා සිටියේය..
මෙම සිද්ධිය ශ්‍රී ලංකා ජල තිරයේ සිදු වූවා නම් එයට නඩු දැමිය යුත්තේ ශ්‍රී ලංකා අධිකරණයේ මිසක් සිංගප්පූරු අධිකරණයක නොවන බව කී පීරිස් මහතා මෙම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට වහාම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතු බවත් කියා සිටියේය.










