වසර 35කට පෙර ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප්‍රදේශය ඉන්දීය හමුදාවේ අණසකට නතු වී තිබිණි. එය 1987 වසරේ, ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ඉන්දු-ලංකා ගිවිසුම් අස්සන් කළ කාලපරිච්ඡේදයයි. ජූලි මස 27 වැනිදා අස්සන් තැබූ මෙම ගිවිසුමෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මෙරට පළාත් සභාද ස්ථාපනය කෙරිණි. එය ඉන්දීය සාමසාධක හමුදාව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල කඳවුරු ලාගෙන සිටි කාලයයි. ඉන්දීය හමුදාව සාමය නමැති නාමයෙන් උතුරු නැගෙනහිර ජීවත්වූ දෙමළ ජනයා වෙත ප්‍රචණ්ඩත්වය මුදාහරිමින් සිටියහ. එවැනි පසුබිමක අන්නෙයි පූපති මාරාන්තික උපවාසයක් ආරම්භ කළාය.
කවුද මේ අන්නෙයි පූපති?
අන්නෙයි පූපති මඩකළපුව – අම්පාර මවුපෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ තැනැත්තියයි. 1932 වසරේ නොවැම්බර් මස තෙවැනිදා මඩකළපුව ප්‍රදේශයේ උපත ලද ඇය 56 හැවිදිරි වියේදී ජීවිත පරිත්‍යාග කිරීමට තීරණය කළාය.
එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ඉන්දීය සාමසාධක හමුදා අතර සටන් පැවැති කාලයේදී, එම හමුදාවට විරුද්ධව හඬක් නැගීමට සහ සාමකාමී විරෝධය දැක්වීමට මඩකළපුව – අම්පාර මවු පෙරමුණ තීරණය කර තිබිණි. ඔවුහු කොන්දේසි දෙකක් ඉදිරිපත් කරමින් ඉන්දීය රජයට විරුද්ධව මාරාන්තික උපවාසයක් ආරම්භ කළහ.
එම කොන්දේසි දෙක වූයේ, මෙම ඉල්ලීම් පෙරදැරි කරගෙන මඩකළපුව මාමාංග පිල්ලයාර් කෝවිලේ කුරුඳු ගස සෙවණෙහි 1988 මාර්තු 19 වැනිදා අන්නෙයි පූපති විසින් මාරන්තික උපවාසය ආරම්භ කරන ලදී.
මහත්මා ගාන්ධි අවිහිංසාවෙන් නිදහස ලබාගත් බවට ඉන්දියාව දිගින් දිගටම සිහිපත් කළද, අන්නෙයි පූපතිගේ අවිහිංසාවාදී සටන දෙස ඔවුන් අවධානය යොමු කළේ නැත.
උපවාසය ආරම්භ කිරීමට පෙර ඉන්දීය හමුදා නිලධාරීන් සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වන ලදී. මවු පෙරමුණේ ඉල්ලීම්වලට ඉන්දියාවෙන් සාධනීය පිළිතුරක් ලැබුණේ නැත.
කාන්තාවන් සංකේතාත්මක මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේ දී 1988 වසරේ ජනවාරි 04 වැනිදා මවු පෙරමුණට තිරුමලෛ ප්‍රදේශයට සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරනු ලැබීය. එහෙත් ඉල්ලීම්වලට එකඟත්වය පළවූයේ නැත.
උපවාසය දිගටම සිදුවිය. 1988 වසරේ පෙබරවාරි 10 වැනිදා මවු පෙරමුණේ විධායක කමිටු සාමාජිකයෝ කොළඹ දී ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කළහ. නමුත්, සාකච්ඡා නතරවීමත් සමග මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට මවු පෙරමුණ තීරණය කළේය.
අන්නෙයි පූපති උපවාසය ආරම්භ කිරීමට පෙර එවක බොහෝ අය උපවාසයට ඉදිරිපත් වූහ. අවසානයේදී කුසපත් ඇදීමෙන් නම් තෝරාගන්නා ලදී. එහිදී අන්නම්මා ඩේවිඩ් උපවාසය සඳහා තෝරා ගැනිණි.
1988 වසරේ පෙබරවාරි 16 වැනිදා අමිර්තකලි මාමාංගේෂ්වර් කෝවිලේදී අන්නම්මාගේ මාරාන්තික උපවාසය ආරම්භ විය. එහෙත් හමුදා විසින් උපවාසයේ නිරත වූ ඇය පැහැරගෙන යාමත් සමග ඇයට උපවාසය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
මාරාන්තික උපවාසයක්
අන්නෙයි පූපති 1988 වසරේ මාර්තු මස 19 වැනිදා සිය මාරාන්තික උපවාසය ආරම්භ කරනු ලැබුවේ මෙවැනි පසුබිමකය. පෙර සූදානමක් ලෙස, ‘ස්වකැමැත්තෙන් මාරාන්තික උපවාසයේ නිරත වෙමි. මාගේ සිහිය නැතිවුවහොත් මාගේ සැමියා හෝ දරුවන් මාව රෝහලට ඇතුළත් කිරීමට උත්සාහ නොකළ යුතුයි’ යනුවෙන් ලිපියක් ලියා තැබුවාය.
දරුවන් දස දෙනකුගේ මවක වූ ඇය ජලය පමණක් පානය කරමින් මෙම මාරාන්තික උපවාසය සිදු කළාය. ඊට බොහෝ බාධා ඇති විය. මාරාන්තික උපවාසයට සහාය පළකළ අයවත්, අන්නෙයි පූපතිගේ දරුවන් කිහිප දෙනකුවත් ඉන්දීය හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් උපාසය නතර කෙරුණේ නැත. ඇය දිගටම උපවාසයේ නිරත වූවාය. කොන්දේසිවලට බලධාරීන් එකඟ නොවූ අතර අඛණ්ඩ උපවාසය ආරම්භ කර මසකින් අනතුරුව, 1988 වසරේ අප්‍රේල් 19 වැනිදා උදෑසන 8.45ට ඇය දිවි ගමනට සමුදුන්නාය.
ඇගේ මරණය මඩකළපුව ජනයාගේ සිත් සසල කිරීමට හේතුවිය. මවු පෙරමුණේ සාමාජිකයන් අන්නෙයි පූපතිගේ දේහය වටා රැස්වී ඔප්පාරි තබා ඇඬුවේය. ඇගේ දේහය මෝදර විදීයේ පිහිටා තිබූ සීලාමුනෛ ක්‍රීඩා පිටියේ අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කරන ලදී.
මඩකළපු, අම්පාර ජනයා වැල නොකැඩී පැමිණ ඇයට මල් සහ මල් මාලා දමා වැඳ සිය අවසන් ගෞරවය දැක්වූහ. ජනයාගේ සිතෙහි තැතිගැන්මක් තිබිණි. එහෙත් ඉන්දීය හමුදාවේ බියගැන්වීම පසෙකලා ජනයා ඇයට අවසන් ගෞරවය දැක්වූහ. පුවරු, පත්‍රිකා සහ දෙමළ මාධ්‍ය විසින් අන්නෙයි පූපති සිදුකළ ජීවිත පරිත්‍යාගය, ප්‍රමුඛ පුවත ලෙස වාර්තා කර තිබිණි.
1988 වසරේ අප්‍රේල් මස 19 වැනි අඟහරුවාදා පෙරවරු 8.45ට අවසන් හුස්ම පොද හෙලූ අන්නෙයි පූපතිගේ දේහය 1988 වසරේ අප්‍රේල් 22 වැනි සිකුරාදා දින දක්වා මෝදර වීදියේ පිහිටා තිබූ සීලාමුනෛ ක්‍රීඩා පිටියේ ජනතා ගෞරවය සඳහා තැන්පත් කර තිබිණි. 22 වැනිදා පස්වරු 2.15ට පමණ අවසන් කටයුතු සඳහා දේහය රථ පෙළපාළියකින් රැගෙන යනු ලැබිණි.
සර්වාගමික නායකයන්, මහජනයා මෙන්ම මවු පෙරමුණෙහි සාමාජිකයන් සිය ගණනක් මෝදර වීදිය හරහා අරසඩි හන්දිය, කල්මුණෛ වීදිය, කල්ලඩි පාලම පසුකර වෙරළ වීදිය ඔස්සේ නාවලඩියට පැමිණ එදින පස්වරුවේ අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කළේය. දහස් ගණනක් වූ ජනයා පස් අහුරු දමමින් ඇයට අවසන් ගෞරවය දැක්වූහ. නාවලඩිහි දී අදටත් අන්නෙයි පූපතිගේ සමාධිය එලෙසම පිහිටා තිබේ.
පසුගිය 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් නාවලඩි ග්‍රාමය පූර්ණ බලපෑමට ලක්විය. අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කර ඇති ස්ථානය නිසි ලෙස නඩත්තු කිරීමට කිසිවකු නොමැති වීම හේතුවෙන් එය වල් බිහිව තිබේ.
තිස්පස් වසරකට පසුවත්, තම මෑණියන්ව කැලයක තබා ඇතැමුන් ඇගේ නාමය භාවිත කරමින් දේශපාලනය කරන බවත්, මුදල් උපයාගන්නා බවත් ඇගේ දියණියක් කඳුළු සලමින් ප්‍රකාශ කළාය. අන්නෙයි පූපතිගේ දේහය භූමදානය කර ඇති ස්ථානය නියමිත පරිදි නඩත්තු කර එම ස්ථානය අලංකාරවත් කිරීම තම කැමැත්ත බවත්, මෙපමණ කාලයකට ඇය වෙනුවෙන් දානයක් ලබාදීමට නොහැකි අවාසනාවන්ත තත්ත්වයක් උදාවී ඇති බවත් ඇය ප්‍රකාශ කළාය. කෙසේ වෙතත් මෙම වසරේදී එම කාර්යය ඉටුකිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවැසුවාය.
අන්නෙයි පූපති දිවි ගමනට සමුදී වසර 35ක් සම්පූර්ණ වී තිබුණද ඇය සිදුකළ මෙම පරිත්‍යාගය උතුරු-නැගෙනහිර ජනයාගේ සිත්වල අදටත් නොනැසී පවතියි.

චානක ලියනගේ










