වන සම්පතට, සතා සීපාවාට ආදරය කරන හුඟක් දෙනා නිවාඩු පාඩුවෙ කැලේ කොළේ ඇතුළේ ඇවිදින්න යනවා. ඒ අතරෙ තවත් සමහරු කැමැතියි සාම්ප්‍රදායික කැලෑ සවාරිවලින් ඔබ්බට ගිහිල්ලා කෑම්පිං, ඒ කියන්නේ රාත්‍රී කඳවුරු බිමක ගතකරලා අපූරු අත්දැකීමක් විඳගන්න. එහෙම අත්දැකීමක් විඳගන්න කැමැති ඕනම කෙනකුට ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික උද්‍යාන කිහිපයකම පහසුකම් තියෙනවා. ඉඩකඩ තිබෙන හැටියට, අදාළ නියමිත ගාස්තුව ගෙවීමෙන් පස්සේ, දෙපාර්තමේන්තුව විසින් පනවන කොන්දේසිවලට යටත්ව මේ කඳවුරු බිමක් වෙන් කරගන්න ඔබටත් පුළුවන්. ඒ විදියට අපි අපේ වනගත රාත්‍රී කඳවුර විදියට තෝරාගත්තේ වස්ගමුව ජාතික උද්‍යානයේ තියෙන මැදපිටිය කියන සංචාරක කඳවුරු බිම. බත්තරමුල්ලේ තියෙන ප්‍රධාන කාර්යාලයෙන් කඳවුරු බිම වෙන් කරගත්තේ ගමනට මාසයකටත් කලින්.
අද වෙනකොට රාත්‍රී කඳවුරක ගත කිරීම එක්තරා විදියක රැල්ලක් වෙලා. ජාතික වනෝද්‍යානයක රාත්‍රී කඳවුරක තියෙන වටිනාකම හෝ වැදගත්කම මොකක්ද කියල හුඟක් දෙනෙකුට නිසි අවබෝධයක් නෑ. අද කාලෙ බොහොමයක් දෙනා මේ විදියට රාත්‍රී කඳවුරක ගත කරල බලාපොරොත්තු වෙන්නේ අපි අහවල් දිහාවෙ රාත්‍රී කඳවුරක ගත කළා කියල කියන හැඟීම ගන්න හරි, තවත් අයට පෙන්වන්න හරි විතරයි. ඒත් ඇත්තටම ජාතික වනෝද්‍යානයක රාත්‍රි කඳවුරක ගතකිරීම ඊට වඩා සෑහෙන වැදගත් වගේම වටිනා අත්දැකීම් ගන්න පුළුවන් අවස්ථාවක්. රාත්‍රී කාලයේදී සතුන්ගේ චර්යා රටා අධ්‍යයනය කිරීම, සතුන් ගැවසෙන ස්ථානවලට උදෑසනින්ම ළඟා වීමට හැකි වීම වගේ වාසි කිහිපයක්ම තියෙනවා.
උදෑසනින්ම ගමන් ආරම්භ කරපු අපේ වාහනේට සාමාජිකයන් එකතු කරගන්න පැය දෙකක විතර කාලයක් ගත වුණා. මහනුවරට ළඟාවෙලා ඉතිරි සාමාජිකයො දෙදෙනාවත් එකතු කරගෙන උදෑසන ආහාරය ලබා ගත්තෙ සුප්‍රසිද්ධ හෙළ බොජුන් අවන්හලකින්. උදෑසන ආහාරයෙන් පස්සෙ පිටත්වෙච්ච අපි ලංකාවේ තවත් එක් සුන්දර මහා මාර්ගයක් වෙන රජ මාවත හෙවත් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය ඔස්සේ වස්ගමුව බලා ගමන් ආරම්භ කළා.

මහනුවර ඉඳලා වස්ගමුවට පිවිසෙන්න, මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මාතලේ ලග්ගල හරහා ගමන් කරලා වස්ගමුවට ළඟා වීම. අපි තෝරාගත්තේ අනෙක් මාර්ගය වන හසලක හරහා යන මාර්ගය. රජ මාවත ඔස්සේ ගමන් කරනවා නම් ලංකාවෙ තියෙන ප්‍රධානම ජල විදුලි බලාගාර දෙකක් වෙන වික්ටෝරියා සහ රන්දෙණිගල ජලාශ සහ ජලාශ වේලිත් දැකගන්න පුළුවන්. ඒ වගේම සුප්‍රසිද්ධ දහඅට වංගුවත් මේ මාර්ගයේදී හමුවෙනවා. ඉතින් අපේ කණ්ඩායමත් ඉඩකඩ ලැබෙන හැටියට මේ තැන් දැක බලාගෙන, මහියංගණය දෙසට හෙමින් හෙමින් ඉදිරියට ඇදුණා. ඒත් ඒ අතරේ නොසිතූ ඇබැද්දියකට මුහුණ පාන්නත් සිදුවුණ නිසා පැයක විතර ප්‍රමාදයකුත් ගමන අතර මඟදී සිදුවුණේ දහඅට වංගුව බසිමින් සිටියදී වාහනයේ තිරිංග අක්‍රිය වීම නිසා. පළපුරුද්ද අඩු රියැදුරු මහත්තයා පල්ලම බහිද්දී ගියරය වෙනුවට පා තිරිංග භාවිත කරමින් රථය ධාවනය කළ එක තමා හේතුව වෙලා තිබුණේ.
මධ්‍යහ්නයත් පහුවෙලා හසලක නගරයට ළඟා වුණ අපි දිවා ආහාරය ලබාගත්තේ එහිදී. එතරම් විශාල නොවන නගරයක් වෙච්ච හසලක නගර මධ්‍යයෙ තියෙන ගාමිණි කුලරත්න රණවිරු ස්මාරකය පිහිටුවල තියෙන මංසන්ධියෙන් වම්පැත්තට විහිදෙන මාර්ගයෙන් වස්ගමුව දෙසට යන්න ගමන් ආරම්භ කළ අපේ රථය, තරමක් වේගයෙන් රිය ධාවනය කළත් වැඩි දුරක් ඒ ආකාරයෙන් යන්න අපිට ඉඩ ලැබුණේ නැහැ. ඒ වෙනකොට මාර්ගය අලුත්වැඩියා කරමින් පැවතුණ හන්දා අපිට බොහෝ මාර්ග බාධකවල නැවතෙමින් තමයි ගමන් කරන්න සිදු වුණේ. තරමක් උසින් අඩු වාහනයක් නිසා රළු මාර්ග කොටස්වල ඉතා සෙමෙන් තමයි ධාවනය කරන්න සිදුවුණේ. මේ වගේ ගමනකට සුදුසු වාහනයක් නොතිබීමේ අඩුව ඒ වෙලාවෙ හොඳටම දැනුණා.
කොහොමින් කොහොමින් හරි තවත් අමතර පැයක විතර ප්‍රමාදයකින් පස්සේ වස්ගමුව ප්‍රධාන පිවිසුම් ස්ථානයට ළඟා වුණ අපිව පිළිගන්න ජීප්රථ හිමිකරුවන් කිහිප දෙනෙක්ම යුහුසුලු වුණත් ඒ වෙනකොටත් අපේ කණ්ඩායමේ සොයුරෙක් මාර්ගයෙන් ජීප් රථයක් වෙන් කරවගෙන තිබුණා. ඒ ජීප් රථය හිමිකරු සම්බන්ධ කරගත් අපි වනෝද්‍යානයේ ප්‍රවේශපත්‍ර කාර්යාලය වෙත ඉගිළුණේ ඒ වන විටත් අපේ ගමන ආරම්භ කිරීමට ප්‍රමාද වී තිබුණ නිසා. හසලකින් ලබාගත් ආහාර පාර්සල් ඒ වෙනකොටත් සීතල වෙලා තිබුණා. දිවා ආහාරය ලහි ලහියේ අහවර කරපු අපේ කණ්ඩායම ජීප් රථයට නැඟුණේ වස්ගමුව උද්‍යානයේ සුන්දරත්වය දැක බලාගෙන අපේ නවාතැන්පළ වන කඳවුරු බිමට හැකි විගස ළඟාවීමේ අරමුණෙන්. ඒ සඳහා අපි තෝරාගත්ත මැදපිටිය 01 සංචාරක කඳවුරුබිම ආසන්නයටම සාමාන්‍ය වාහනයක් අසීරුවෙන් ධාවනය කළ හැකි බව දැනගත් නිසා අපි පැමිණි වෑන් රථයත් කඳවුරු බිම ආසන්නයටම ගෙන ඒමට හැකියාව ලැබීම විශාල පහසුවක් වුණා.

1984 වසරේ අගෝස්තු 7 වැනිදා ජාතික උද්‍යානයක් විදියට නම් කරපු වස්ගමුව ජාතික උද්‍යානය පිහිටල තියෙන්නේ ලංකාවේ තෙත් කලාපයත් වියළි කලාපයත් අතර සීමාවෙ නිසා සංකීර්ණ ජෛව කලාපයක් විදියට හඳුන්වන්න පුළුවන්. තව විදියකට කියනවා නම් මධ්‍යම කඳුකරයේ නැඟෙනහිර බෑවුමෙන් ආරම්භ වන මාතලේ දිස්ත්‍රික්කයෙනුයි, නැඟෙනහිර පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙයෙනුයි සීමාවෙන කලාපයේ. ඒ නිසා වියළි කලාපීය පරිසර ලක්ෂණ වගේම මධ්‍යම කඳුකරයේ දේශගුණික ලක්ෂණත් දැකගන්න පුළුවන්. වස්ගමුවේ සීමාවන් විදියට උතුරු දිශාවෙන් පරාක්‍රම සමුද්‍රය සහ අඹන් ගඟත්, බටහිර දිශාවෙන් ඇළහැර හා බකමූණ ප්‍රදේශයත්, දකුණු සීමාව විදියට මහවැලි ගඟේ අතු ගංගාවක් වෙන දුනුවිල ඔයත්, නැඟෙනහිර සීමාව විදියට මහවැලි ගඟෙනුත් සීමාවෙලා තියෙන හෙක්ටයාර් 40,000ක විතර ප්‍රදේශයක් පුරා පැතිරිලා තියෙන භූමි ප්‍රදේශයක් මෙයට අයත් වෙනවා.
මේ වනාන්තරයට නම ලැබිලා තියෙන විදියත් හරිම අපූරුයි. ජනප්‍රවාදවල කියවෙන විදියට අතීතයේදී ඉතා අධික වලස් ගහනයකින් යුක්ත වෙච්ච මේ කැලෑව හඳුන්වලා තියෙන්නේ වලස් ගොමුව කියලා. කාලෙන් කාලෙට වලස්ගමුව වාස්ගමුව වගේ නම්වලින් බිඳිලා ඇවිත් අද වෙනකොට “වස්ගමුව” විදියට ව්‍යවහාර වෙනව කියන එක තමයි දැනට පිළිගන්න මතය වෙලා තියෙන්නේ. ඒ කොහොම වුණත් අද වෙනකොට නම් වස්ගමුව සංචාරකයො අතරෙ ප්‍රසිද්ධ වෙන්නේ ලංකාවේ ජාතික අභිමානයක් වන අලි සම්පත නිසා කිව්වොත් වඩාත් නිවැරැදියි. විශේෂයෙන්ම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා, තමන්ගේ පාරම්පරික උපන් බිම් අහිමි වෙච්ච දස දහස් ගණනක් සත්ව ප්‍රජාවට එකම සැනසුම මේ පුංචි වස්ගමුව කියල කියන එක අතිශයෝක්තියක් නෙවෙයි.
අපේ රටේ ජීවත් වෙන අලි ඇතුන් අතරින් දේහ ප්‍රමාණයෙන් වඩාත්ම සද්දන්තයන් හමුවෙන්නේ වස්ගමුව ආශ්‍රිතව කියල මතයක් තියෙනවා. මේ උද්‍යානයේදී වසරේ ඇතැම් කාලවලදී ඉතා විශාල අලි ගහනයක් නැරඹීමේ හැකියාව පවතින බව කියවෙනවා. ඒකට හේතුව විදියට කියන්නේ වන අලින්ගේ පාරම්පරික සංචරණ රටාව අනුව හැඩ ගැහිලා තියෙන ඔවුන්ට නිදහසේ සංක්‍රමණය වෙන්න පහසු විදියට වස්ගමුව පිහිටලා තියෙන හින්දයි. ඒ අනුව වස්ගමුවේ අලි, මහවැලි ගඟ දිගේ පහළට ගමන් කරලා දාස්තොට හරහා මහවැලි ජලගැලුම් නිම්න ජාතික උද්‍යානය (පොළොන්නරුව – ගල්ලෑල්ල) දිගේ ත්‍රිකෝණමඩු- සෝමාවතිය ජාතික උද්‍යානය වෙනකම් වෙන උන්ගේ පාරම්පරික නිජබිම්වලට පිවිසෙනව කියල හොයාගෙන තියෙනවා. මේ ගමනෙදී වස්ගමුව කියන්නේ උන්ට ආහාර ජලය මෙන්ම නවාතැන් සපයන ප්‍රධානම තෝතැන්නක්. ආසන්න වශයෙන් අලි ඇත්තු 400- 500ක් අතර පිරිසක් වස්ගමුව හරහා මින්නේරිය, මාදුරු ඔය, කවුඩුල්ල, රිවස්ටර් පතන, සෝමාවතී වගේ වනාන්තර කලාපවලට ගමන් කරන නිසා අවුරුද්දේ හැම කාලෙකදිම වගේ අලි ඇතුන් 150 -200ත් අතර පිරිසක් වස්ගමුවේ රැකවරණ ලබනවා. (හැබැයි කනගාටුවට කාරණය නම් අද වෙනකොට මේ සාම්ප්‍රදායික අලි මංපෙත් අහුරලා විවිධ ගම්මාන, සංවර්ධන යෝජනා ක්‍රම ආදිය බිහිවෙලා නිසා අලින්ගේ මේ සංක්‍රමණ රටාවට විශාල බාධාවක් ඇතිවෙලා තියෙන බව නොරහසක්.
උදාහරණයක් විදියට කියනවනම් මේ වෙනකොට ක්‍රියාත්මක වෙන මොරගහකන්ද සහ කළුගඟ සංවර්ධන ව්‍යාපෘති හන්දා වස්ගමුව ජාතික වනෝද්‍යාන භූමියෙ සැලකිය යුතු කොටසක් අලි ඇත්තු ප්‍රමුඛ සත්ව ප්‍රජාවට අහිමි වෙලා තියෙනවා.

වස්ගමුව ජනප්‍රිය වෙන්නේ සද්දන්ත කුලේ ඇත්තෝ නිසා වුණත් වස්ගමුවේ සංස්කෘතික උරුමය, ඉතිහාසයට දක්වන දායකත්වයත් ඊට දෙවැනි නැහැ. ඒ බව මේ උද්‍යානය පුරා විහිදිලා විසිරිලා තියෙන වැව් අමුණු වගේම නටබුන් පිළිබඳව තියෙන ඉතිහාස වාර්තා අනුව දැනගන්න පුළුවන්. ඒවායින් කියවෙන තොරතුරු අනුව වස්ගමුවෙ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා- රාවණ රජුගේ කාලය වෙනකම් දුරකට යනවා. ඒ වගේම දුටුගැමුණු මහ රජතුමා, එළාර රජුගේ සේනාවත් සමඟ යුද වදින්නට සේනා සංවිධානය කළේ දැනට වස්ගමුව උද්‍යානයේ තිබෙන යුදඟනා පිටියෙදී බවට පුරාවිද්‍යා මත පළවෙලා තියෙනවා. ඒ වගේම අඹන් ගඟත්, කළු ගඟත් එකට හමුවෙන ස්ථානයේ තිබෙන ඓතිහාසික බුදුරුවාය බුදු පිළිමය සහ, පැරණි රජ මාලිගයේ නටබුන් වගේම තව තැන්වල තියෙන කදුරුපිටිය චෛත්‍යය, මාලගමුව ගල් කණු හා නටබුන් වගේ පුරාණ ශ්‍රී විභූතිය පෙන්වන සාධක විසිරිලා තියෙන නිසා මේ ප්‍රදේශය ආදි යුගවලදී ජනාවාස විදිහට පැවතිලා තිබුණ බවට විශ්වාස කරන්න පුළුවන්. මේ වගේ ඉතිහාසය සම්බන්ධ කාරණා සිය ගණනක් වස්ගමුව ගැන කියවන්න පුළුවන්.
මධ්‍යම කඳුකරයේ භූ ලක්ෂණත් පෙන්වන නිසා වස්ගමුව ජාතික උද්‍යානය ඇතුළේ එක එක විදියේ ලොකු කුඩා කඳුවැටි කිහිපයක් ඔබට දකින්න පුළුවන්. ඒ අතරින් වඩාත්ම උස කඳු මුදුන විදියට හඳුනා ගත් මීටර් 500කට මඳක් වැඩි උසක් තියෙන සුදු කන්ද වගේම එළුනේ කන්ද, බඹරගල, දෙමටගල, වෙහෙරගල, වලස්ගල හා තවලම්ගල වගේ දැකගන්න පුළුවන්. වස්ගමුව ඔය, එළගොල්ල ඔය, කරපනේ ඔය, කන්ද බිඳුණු ඇළ, වැද්දිගේ ඇළ හා යෝධ ඇළ වගේ හොඳ ජල වාරි පද්ධතියකින් පෝෂණය ලබන කදුරුපිටිය, විල්මිටිය, දම්බරාව, දික්පිටිය, කොක් ඇබේ, යුදගනාපිටිය, මහ රොටවැල, කුඩා කරමලා වැව, මහා කරමලා වැව සහ මාලගමුව වගේ වැව් රාශියක්ම වස්ගමුව ජාතික උද්‍යානය ඇතුළෙ තියෙන නිසා අතිශයින්ම සංවේදී පරිසර කලාපයක් විදියට වස්ගමුව සලකන්න පුළුවන්.
ඒ නිසාම ජෛව විවිධත්වය අතින් සංකීර්ණ ලක්ෂණ පෙන්නුම් කරන වස්ගමුව ජාතික වනෝද්‍යානය අලි ඇතුන්ට විතරක්ම අයිති නැහැ. අද වෙකොට දකින්න අපහසු, වලසුන් සහ කොටියන් පවා කලාතුරකින් වස්ගමුව උද්‍යානයේදී දකින්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් වනාන්තරවලදී අපිට හමුවෙන මුවා, කුළුමීමා, වල්ඌරා, ගෝනා, හාවා වගේ සතුන්ගෙන් නම් වස්ගමුවේ අඩුවක් නැහැ. ශ්‍රී ලංකාවට ආවේණික මහ වඳුරා, කොළ වඳුරා, රිළවා සහ රන් හෝතඹුවා වගේ සත්තුත් වස්ගමුව උද්‍යානයේ වාර්තා වෙනවා. ඒවගේම ඉතා දැවැන්ත කිඹුල්ලුත් මේ උද්‍යානය ඇතුළේ තියෙන ජලාශවල අඩුවක් නැහැ. අන්තර්ජාලයෙන් උපුටාගත්තු සංගණන වාර්තා අනුව මෙම උද්‍යානය වාසභූමි කරගෙන ක්ෂීරපායී සත්ව විශේෂ 23ක්, පක්ෂි විශේෂ 143ක් (විශේෂ 08ක් ලංකාවට ආවේණිකය), උරග විශේෂ 35ක් (විශේෂ 07ක් ආවේණිකය), උභය ජීවීන් (පචයසඉස්බ) විශේෂ 15ක්, මත්ස්‍ය විශේෂ 17ක්, සමනල විශේෂ 52ක් පමණ වාසය කරන බව කියවෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලො අතරෙ ඉන්න අළු ගිරවා, උපබස්සා, වත රතු මල් කොහා, වලිකුකුළා, රන් මූණත් කොට්ටෝරුවා, මුදුන් බොර දෙමළිච්චා, හිස කළු කොණ්ඩයා සහ හබන් කුකුළා වගේම විවිධාකාර සංචාරක කුරුල්ලන් දැකගන්නත් හොඳ ස්ථානයක් විදියට වස්ගමුව හඳුනාගන්නවා.
වස්ගමුව ගැන ඒ ලොකු විස්තරයෙන් පස්සේ ආපහු චාරිකාව ගැන කියන්නයි හදන්නේ. සාමාජික සාමාජිකාවන් පහළොවක් විතර හිටපු අපි වෙනුවෙන් තෝරාගත්තෙ දෙපසට (මුහුණට මුහුණ ආසන) සහිත ජීප් රියක්. ඒ අපි හැමෝටම එකට ගමන් කරන්න තිබුණ වුවමනා නිසා. ඒත් ඒක කොච්චර අනුවණ කමක්ද කියල වැටහෙන්න ලොකු කාලයක් ගතවුණේ නැහැ. උද්‍යානය ඇතුළෙ ඉතා අසීරු මාර්ග පද්ධතියක් ඔස්සේ ගමන් කළ රථය වළවල්වල වැටෙන වාරයක් පාසා ඉඳගෙන ඉන්න එකත් සෑහෙන අපහසු බවක් දැනුණා. ඒ වගේම පරිසරයට පිටු පාලා ඉඳගෙන යන්න සිදුවීමත් ඉතා අපහසු කාරණාවක්. එහෙම යන ගමන් කැමරාව භාවිත කරන එක ලොකු අභියෝගයක් වුණා. ඒත් ඉතිං ගමන ගැන තිබුණ උද්‍යෝගය නිසා ඒවා ඒ තරම් දේවල් විදියට පෙනුණේ නැහැ. කොහොම හරි පැය දෙකක විතර සෆාරි චාරිකාවකින් පස්සේ අපිව මැදපිටිය කඳවුරු බිමට ගෙනත් ඇරලවපු ජීප් රථය උද්‍යානයෙන් ඉවතට යෑමට පිටත්ව ගියා.
අඳුර වැටෙන්න බොහොම කිට්ටු නිසා රාත්‍රි කඳවුර සංවිධානය කර ගැනීම ලොකු අභියෝගයක් වුණා. මැදපිටිය කඳවුරු බිම කියන්නේ අලි ඇතුන් නිතර ගැවසෙන තැනක් කියල අපේ කණ්ඩායම භාරව හිටපු සංචාරක මාර්ගෝපදේශක නිලධාරි මහතා විසින් දැනුවත් කිරීම අපේ කණ්ඩායමේ සමහරුන්ගේ බිය වැඩි කරන්න හේතුවක් වුණා. කඳවුරු බිමක සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය අංගයක් වෙන ගිනිමැලය සැකසීමට ටික දෙනෙක් වෙහෙසෙද්දි, අපේ වාහනය නවතා තිබුණු තැනට ගොස් රාත්‍රී ආහාර සැකසීමට අවශ්‍ය කරන අඩුම කුඩුම සහ අනෙකුත් බඩු මුට්ටු ගෙන එන්න තව පිරිසක් උත්සුක වුණා. වාහනය ළඟට යනකොට යාන්තම් එළිය තිබෙන වටපිටාවක් තිබුණත් එක් වරම කළුවර වැටීම නිසා ආපසු වාහනයට එන්න සිදුවුණේ නම් ටෝච් එළියෙන්. ඒ අතරේ අලි කිහිප දෙනෙක් අවට ගැවසෙන බව දැනගත්ත නිසා, වාහනය එහි දමා කඳවුරු බිමට යෑමට රියැදුරු මහතා මුලින් කැමැති වූයේ නැහැ. ඔහුගේ බලාපොරොත්තුව වුණේ රථයේ ආරක්ෂාවට රථයේම නතර වෙන්නයි. අලි ගහන මහ කැලේ තනියම වාහනයක් ඇතුළේ ඉන්න එකේ අවදානම තේරුම් කරලා දීලා, අපේ දැඩි බල කිරීම නිසා ඔහුව කඳවුරු බිමට කැඳවාගෙන එන්න අන්තිමේදී අපිට පුළුවන් වුණා.
අපි ආපහු කඳවුරු බිමට එනකොට ගිනිමැලේ සූදානම් වෙලා තිබුණේ. ගෙනාපු කළමනා ටික තෝරලා බේරලා අරගෙන රාත්‍රී ආහාරය සූදානම් කරන්න අපේ කණ්ඩායමේ සාමාජිකාවො කටයුතු කරන අතරේ, තව කිහිප දෙනෙක් අපේ මාර්ගෝපදේශක නිලධාරි මහත්මයාගෙ අනුදැනුම ඇතුව සැරින් සැරේ නුදුරින් තිබුණු ගඟට ගිහින් ජල අවශ්‍යතා සඳහා ජලය සම්පාදනය කරන්නත් කටයුතු කළා. වනසත්තු ගැවසෙන කැලෑවක් ඇතුළේ විදුලි පන්දම් එළියෙන් වනය ඇතුළෙ ගමන් කිරීම තරමක ත්‍රාසජනක හැඟීමක් ගෙනාවෙ නැතුවාමත් නෙමෙයි. සැරින් සැරේ ඇහෙන කොළ අතු කැඩෙන සද්දෙකින් පවා හිතට එකතු කළේ අමුතුම බයක්. ඒ අතරේ ඒ බය වැඩි කරන්නත් එක්ක අපේ සමහරු කරපු කොළොප්පම් නිසා පුංචි මිහිරක් නොතිබුණාමත් නෙවෙයි.
රාත්‍රී ආහාර සූදානම් වෙලා ඉවර වෙද්දී අට්ටාලයේ ඉහළ කොටසේ කූඩාරම් ඉදිකිරීම නිම වෙලා තිබුණා. හැමදෙනෙක්ම වගේ එකා වගේ කටයුතු කිරීමට එකතු වීම ලොකු පහසුවක් වුණා. රාත්‍රිය ක්‍රමයෙන් උදා වෙද්දී, අත්‍යවශ්‍ය කළමනා සියල්ලම අට්ටාලය මතට අරගෙන ගිනිමැලයෙ ගින්දර තරමක් දුරට නිවා දැම්මේ අපි අට්ටාලයෙන් නැවත බිමට බහින්නේ පහුවදා නිසා. එහෙම නොකරන්න, අපි නොදැනුවත්වම ගින්නක් පැතිරිලා යෑමේ අවදානම ගන්න සිදුවුණොත් එයින් මේ පරිසරයට විශාල විනාශයක් වෙන්න ඉතා පුංචි වෙලාවක් ඇති.
කණ්ඩායමේ හුඟ දෙනෙක්ගේ පළමුවැනි වනගත අත්දැකීම වුණු මේ වස්ගමුවේ මැදපිටිය කඳවුරු බිමේ අට්ටාලය මතදී රාත්‍රී ආහාරය නිමා කරපු කණ්ඩායමේ සාමාජිකයො එකා දෙන්නා ක්‍රමයෙන් නිදි කිරද්දී ඒකට මදුරුවන්ගෙ සහායත් නොඅඩුවම ලැබුණා. මදුරුවො එළවමින් අවදියෙන් ඉන්න සිදුවුණු එක කඳවුරු රාත්‍රියක මිහිර නොඅඩුව ලබාදෙන්නදෝ කියල එකා දෙන්නා කෙඳිරි ගගා ඉන්න අතරේ අපේ සමහර සාමාජිකයෝ එක් එක රසකතා මතක් කරමින් සිනාගස්වමින් රාත්‍රිය පහන් කරන්න උත්සාහ කළා. කොටි වලස්සු ගැන අහපු කතන්දර, විශ්ව විද්‍යාලයේ ගත කරපු කාලයේ රස කතා ආදිය කතා කරමින් කොහොම හරි මධ්‍යම රාත්‍රිය පහුවෙනකම්ම වගේ අමාරුවෙන් ඇස් ඇරගෙන හිටියත් විදුලි පන්දමේ ආලෝකය ක්‍රමයෙන් අඩුවේගෙන යද්දී හුඟ දෙනෙකුට නොදැනීම වගේ නින්ද ගියා. නින්ද ගියා කියනවටත් වඩා ඇස් පියවුණා කිව්වොත් තමා නිවැරැදි. හුඟ දෙනෙක් නින්දත් නොනින්දත් අතරෙ ගත කරන්න ඇති.
පහුවදාට එළිවෙනකොටම වගේ අවදිවෙච්චි සමහරුන්ගෙ මූණු එච්චර හොඳ පාටක් පෙනුණෙ නැත්තේ කලින් දවසේ බඩකට පුරා ලැබුණ මදුරු ප්‍රහාරය නිසා කියල කියන්න අමුතුවෙන් සාක්කි ඕන වුණේ නෑ. හෙමින් හෙමින් එකිනෙකා නැඟිටිනකොට පහළට බැහැපු කිහිප දෙනෙක් උදේ කෑම හදන්න පටන් අරන්. ඒ වෙනකොට අපේ කණ්ඩායමේ තනියට වගේ කොහෙන්දෝ ආපු වඳුරු හමුදාවකුත් අපේ අඩුම කුඩම බඩු මුට්ටු ටිකට කිට්ටු වෙන බවක් පෙනෙන්න තිබුණා. ඒ නිසාම කෑම බීම ටික පරිස්සම් කරන එක අසීරු කාර්යයක් වුණා. ඔය කරදර අස්සෙ කොහොම හරි උදෑසන ආහාරය පිළියෙල කරගන්න අපිට හැකිවුණා. ඉන් පස්සේ කඳවුරු බිම අස්පස් කරලා අපි ගෙනාපු සියලුම නොදිරන කසළ වෙනම එකතු කරන්නත් දිරායන කසළ සේරම කලින් දවසෙ ගිනි මැලයට දාලා ගිනි තියන්නත් අපි අමතක කළේ නෑ.
බඩුමුට්ටු ටික අස් පස් කළාට පස්සේ ගඟට බැහැලා සීතල වතුර ටිකක් නාගන්න හැමෝටම අවස්ථාවක් ලැබුණා. කිඹුල් බිය හිත්වල හොල්මන් කළත් ඒ ගැන වගේ වගක් නැති ගානට එකා දෙන්නා සැරින් සැරේ වතුරේ සෙල්ලම් කරමින් නොදැනුවත්වම පැය දෙකක් විතර ගෙවා දැම්මා. කලින් දවසේ විඳපු කටුක අත්දැකීම්වල මහන්සිය ජල ස්නානයෙන් ටිකක් අඩුවුණා. එයින් පස්සේ නැවතත් කඳවුරු බිමට පැමිණ උදෑසන ආහාරය භුක්ති විඳපු අපි කඳවුරු බිම නිසි ලෙස පිරිසුදු කරලා අපේ බඩු බාහිරාදියත් අරගෙන වස්ගමුව මැදපිටිය කඳවුරු බිමෙන් නික්මුණේ ආයෙත් දවසක මේ වගේම කඳවුරු අත්දැකීමක් ලබාගන්නා බලාපොරෙත්තුවෙන්. ඒ වෙනකම් හිතේ දෙගෙඩියාවෙන් පසුවුණ රියදුරු මහත්මයාගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ නිරුපද්‍රිතව තියෙන වාහනය දැක්කට පස්සෙයි.
වස්ගමුවේ කඳවුරු අත්දැකීමක් විඳින්න ඔබටත් කැමැත්තක් තියෙනවා නම්, මහවැලි ෂ, මහවැලි ෂෂ, මැදපිටිය ෂ, මැදපිටිය ෂෂ, උල්පත් හත, හතරමංහන්දිය සහ වවුල්- ඇබේ කියල එළිමහනේ කූඩාරම් ඉදිකරගෙන ඉන්න හැකියාව තියෙන කඳවුරු බිම් හතක් වස්ගමුවේ තියෙනවා. බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය හෝ වස්ගමුව උද්‍යාන කාර්යාලය හරහා මුදල් ගෙවීමෙන්, එක දිගට උපරිම දවස් හතරක් වෙනකම් කඳවුරු බිමක් වෙන්කරගන්න පුළුවන්. එතකොට කඳවුර පැවැත්වෙන කාලය පුරාම කණ්ඩායමට වෙනම මාර්ගෝපදේශකයකුගෙ සේවය ලැබෙනවා. කඳවුරු බිමක රාත්‍රිය ගත කරන්න බයයි වගේ නම්, කදුරුපිටිය, මහවැලි ගඟ අසබඩ, වවුල් ඇබේ සහ අංගමැඩිල්ල කියන ස්ථානවල සංචාරක බංගලා ඉදිකරලා තියෙනවා. ඔබේ අවශ්‍යතාවය අනුව ඒවාත් වෙන්කරගන්න පුළුවන්. ඒ වගේම සෆාරි යෑමට කැමැති සංචාරකයන් වෙනුවෙන් දිනපතා පෙ.ව 6.00 සිට ප.ව 6.00 දක්වා වස්ගමුව ජාතික උද්‍යානය විවෘතයි. හැබැයි වස්ගමුව බලන්න එනවනම් හොඳම කාලය විදියට සැලකෙන්නෙ ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තමයි. නිවාඩු පාඩුවේ ගිහින් ඉතා සුන්දර අත්දැකීමක් ලබාගන්න වස්ගමුව හොඳ ගමනාන්තයක් කියලා සටහන් කරමින් අද සටහන අවසන් කරනවා. මේ සම්පත් අනාගත පරපුර වෙනුවෙනුත් සුරකින එක ඔබේ වගකීමක් කියන එකත් අමතක කරන්න එපා.
ගෙහාන් චන්දික











