හෙට (13) දිනයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී නොසිටීමට මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් මහතා තීරණය කර තිබේ.
ඒ පිළිබඳව ලිඛිතව මානව හිමිකම් කොමිසම දැනුවත් කිරීමට පියවර ගන්නා බව ටිරාන් අලස් අමාත්‍යවරයා සඳහන් කළේය.
නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ කැඳවීම සිදුකර නොමැති බැවින් කොමිසම හමුවේ පෙනී නොසිටීමට ටිරාන් අලස් අමාත්‍යවරයා තීරණය කර තිබේ.
පසුගියදා කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට පැවැති උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා පොලීසිය සහ ආරක්ෂක අංශ ක්‍රියාකළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.
උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට පොලිස් නිලධාරීන් අනුගමනය කර තිබූ ක්‍රියාමාර්ග පැහැදිලි කිරීමට හෙට දිනයේ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දැනුම් දී ඇති බව මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනය කළේය.
කෙසේ වෙතත් අදාළ විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද දිනයේද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් වන්නේ මාර්තු 7 සහ 8 යන දිනවල කොළඹ සහ කැලණිය විශ්වවිද්‍යාල අවට උද්ඝෝෂණ පැවැත්වීම වැළැක්වීමට ගත් උත්සහයේදී පොලීසිය විසින් කරන ලද බව කියන මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් කොමිසමට පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවය.
ඒ අනුව එම පැමිණිලි සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විමර්ශන ආරම්භ කර ඇති අතර එම විමර්ශන සඳහා ඕනෑම පුද්ගලයකු කොමිසම හමුවේ කැඳවීම ශ්‍රී ලංකා මානව හිමකම් කොමිෂන් සභාවට පූර්ණ බලය හිමිව ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම නිසා අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොමිසමට පැමිණ යම් පැහැදිලි කිරීමක් පමණක් සිදුකරන ලෙස පොලීසිය භාර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.










