ජීවිතේ කිසිම දවසක හිතාගෙනවත් නොඉඳපූ ලිපියක් තමා අද මට ලියන්න වුණේ. මං ප්‍රාර්ථනා කරනවා මතු යම් අනාගතේකවත් මෙවන් ලිපි මට තියා කිසිම සත්වයකුට ලියන්න නොලැබේවා කියලා. මේ ලිපිය ලියන්න ප්‍රධානවම හේතු වුණේ 2023.01.29 වැනි දිනට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මියගොස් වසර 191ක් වීම නිමිති කොට ගෙනත් සමාජය තුළ කෲර පරදේශක්කාර වඩිග රජකුගේ ගුණ සිහිපත් කරමින් නිවන් සුව ලබා බුද්ධත්වය ලැබේවායි කියමින් ප්‍රාර්ථනා කර ඇති නිසාවෙනි.
ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇති W.A.D. Silva මහතා විසින් කියවා සකසන ලද පුස්කොළපොත් නාමාවලියේ 1804, 1805, 1806, 1807, 1808 අංක යටතේ ඇති ඇහැලේපොළ දරුවන් මැරවීම, ඇහැලේපොළ කවි ඇහැලේපොළ හටන් කවි යන පුස්කොළපොත් ලේඛන පහක් සහ අභ්‍යන්තර පුස්කොළපොත් ලේඛනයේ ඇති ‘ඇහැලේපොළ දරුවන් මැරවීම’ යන පුස්කොළ පොත් ඇසුරු කොටගෙන මෙම ලිපිය ලියන ලදී.
- (M 2002) යන අංක දරන දිගින් අඩි 3ක් පමණ යුත් පිටු 29ක්, පැති 38කින් යුත් විචිත්‍ර රූප සහිත අඩි 4ක් දිගැති නොගැළපෙන කම්බා දෙකකින් සමන්විත ලාංකේය රාජාවලියේ ආරම්භයේ, කොටසක සිට අවසාන ශ්‍රී වික්‍රමසිංහ රාජ කාලසීමාව අංගසම්පූර්ණ ලියා ඇති විවිධ සිදුවීම්වලට අදාළ සිතුවම් අඳින ලද මෙම පුස්කොළ පොත ‘ඇහැලේපොළ දරුවන් මැරවීම’ ලෙස නම්කොට ඇත.
- [82/G/10], [W.A.D.S 722] යන අංක දරන අඩි එකහමාරක් පමණ දිගින් යුත් මෙම පුස්කොළ පොත පිටු 12ක්, පැති 24කින් යුත් කවිවලින් සමන්විතය. මෙම පුස්කොළපොත ‘ඇහැලේපොළ කවි’ ලෙස නම්කොට ඇත.
- [82/G/13], [W.A.D.S 278] යන අංක දරන පිටු 6කින් පැති 12කින් යුත් දැඩි ලෙස විනාශයට පත්ව සංරක්ෂණය වී ඇති මෙම පුස්කොළ පොත කවිවලින් සමන්විත ‘ඇහැලේපොළ දරුවන් මරාදැමීම’ නම් පුස්කොළ පොත ලෙස නම්කොට ඇත.
- [82/ L /14] [W.A.D.S 821] යන අංක දරන පිටු 19කින් පැති 38 කින් යුත් මෙම පුස්කොළ පොත අඩියක දිගින් යුතු වන අතර, එය ‘ඇහැලේපොළ කුමාරිහාමිගේ විලාපය’ නමින් සහ ‘ඇහැලේපොළ අධිකාරම්ගේ බිරිඳ සහ දරුවන් මැරීම’ නම් දැඩි ශෝකාන්විත කවිවලින් සමන්විත වන මා මෙතෙක් ජීවිතේ කියවූ දුක්බරම පුස්තකයයි. නාමාවලියේ මෙම පොත් එකම නමකින් හැඳින්වුවද පොත්වල මුල එම පොතට අදාළ නම් සඳහන් කොට ඇත.
- (85/N29) යන අංක දරන මෙම පුස්කොළ පොත ‘ඇහැලේපොළ හටන’ නම් වේ. මෙය තවම මා කියවා අවසන් නොවූ පොතකි.
- C.C.11 අංක දරන මෙම පුස්කොළ පොත ‘ඇහැලේපොළ’ කවි’ වන අතර, එය කියවීමට ඒ මොහොතේ එම ස්ථානයේ නොතිබිණි.
වර්ෂ එක්වාදහස් සත්සිය අනූඅට වැනි වර්ෂයේ ජූලි මස ශ්‍රී ලංකාද්වීපයට මහාරජුන්ව සිටි රාජාධි රාජසිංහ රජු මරුමුවට පත්විය. රාජාධිරාජසිංහ රජුන්ගේ මෙහෙසින් සිවුදෙනාට සහෝදරයෝ වූහ. රජුගේ කැමැත්ත වූයේ වැඩිමහල්ම සොයුරා වූ මුද්දු සාමිට රජකම දීමට වුවත්, පිලිමතලාවගේ කූට උපායක් නිසාවෙන් මහ රජුගේ දෙවැනි බිසවගේ නැගණියගේ පුත් කන්නසාමි නම් 18 වයසැති ළාබාල වඩිගයකූ ශ්‍රී ලංකාද්වීපයේ මහාරාජාධි ධුරය සඳහා සිහසුනේ වාඩිවෙන බව ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුව සතුව ඇති ඉහත 01හි සඳහන් ‘ඇහැලේපොළ දරුවන් ඝාතනය කිරීම’ යන පුස්කොළ පොතේ 02 වැනි (කි) අක්ෂර සහිත පිටුවේ පළමු පිට සහ දෙවැනි පිටත්, 04 වැනි (කී) අක්ෂරය සහිත පිටුවේ පළමු පිටත්, 06 වැනි (කූ) අක්ෂරය සහිත පිටුවේ දෙවැනි පිටේත් මෙසේ සඳහන්ව ඇත.
(කි) 1. ‘තම ගෝත්‍රයට අයත් බිසෝවරුන් සතර දෙනෙක් සිටි නමුත් ඒ රජුට දරුවන් නොලැබුණාහ. ‘අලමෙළු රෙංගා නයනගී’ යන බිසෝවරු දෙදෙනාගේ සොහොයුරු වූ මුද්දු සාමි, සින්න සාමි, අයිය සාමි, බංගරු සාමි, රාමස්සා
(කි) 2. කුණ්ඩ සාමි, අප්පු සාමි යන කුමාරවරු රාජ්‍ය ලෝභයෙන් සෙන්කඩගල් පුරයෙහිම විසූහ. එයින් මුද්දු සාමි කුමාරයාට රජකම දෙන මෙන් අග්‍ර බිසවට නියමකොට රජතුමා පරලෝප්‍රාප්ත විය. එසමයේ පිලිමතලාවේ මහාදිකාරම්තුමා මින් පසු දෙමළුන්ට රජ්‍ය නොදමි යන අදහසින් රහසිගතව තබාගෙන සතුරු නිලදැරු කොටසක් සිටි නිසා තමන් රජකමට සම්මත නොකැරතැයි යන අභිප්‍රායෙන් උපායක් යොදා නිලධාරින් වෙත මෙසේ හසුන්පත් ලියවා යැවූ සේක. අපගේ මහරජ
04 වැනි පිටුව (කී) 1. තුමාණන්වහන්සේ (මුද්දු සාමි) දැනට සුවකළ නොහැකි ලෙඩෙකින් පෙළෙන නිසා මලොත් තෙම රටේ වියවුල් යෙදෙන්නට හැකි බැවින් ජන සම්මතයෙන් රජකමට කැමැති කෙනෙකු පත් කරගන්නා මෙන් රට ගැන දයාකර මෙපැන් දුටු සැන මෙනුවරට පැමිණේවායි නියෝග කර හසුන්පත් ලියා හැරිය සේක. මහරජතුමාගේ දෙවැනි බිසවගේ නැගණියගේ පුත් වන දසටක් පමණ වයසැති කුමාරයා නම පළවන්ත යැයි ඉඩමේ නැවතී උන්හ.
06 වැනි පිටුව
(කූ) 2. එබවසර සියලු සෙන් මහා රජ පෙරහැරින් ගොස් කුමාරයා කැඳවා දළදා මැඳුරට වන්හ. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ඉදිරිපිට රාජාභරණයෙන් සරහා තිසරණ සහිත පන්සිල් දෙවා රට සහ ආගමත් නීති කඩනොකරන රකින සේ දිව්රවා ශ්‍රී වික්‍රමරාජසිංහ යන නමින් ප්‍රසිද්ධ කොට ලංකා භූමියේ ඔටුන්න හිමිකළ සේක.’
මෙසේ කන්න ස්වාමි නම් වඩිගයා රජකිරීමට බොහෝ සේ කූට උපායන් යෙදුවේ සිංහල ‘පිළිමතලාවේ මහා අදිකාරම’ය. ඔහුගේ එකම අභිප්‍රාය වූයේ කන්නසාමිගෙන් රජකම උදුරා ගැනීමය. එහෙත් එය සඵල නොවීය. රජු කුඩා නිසා පිළිමතලාවේ ඒ අනුහසින් රාජ්‍ය තමාගේ මෙන් පාලනය කළේය. පිළිමතලාවගේ වැඩවලට එරෙහි වූ දෙවැනි අදිකාරමව සිටි ඇරැව්වල රාළ හදිස්සියේ මියගියහ. මෙයද පිළිමතලාවගේ කූට උපායක් බව දැනගත් රජුට පිළිමතලාවේ කෙරේ දැඩි අප්‍රසාදයක් ඇතිවිය. පිළිමතලාවේ ඉන් අනතුරුව රජු නෙරපා රජකම ගැනීමට දැඩි උත්සාහයක් ගත් අතර ඉන් අනතුරුව ඔහු ඉංග්‍රීසින්ගෙන්ද උදව් ලබාගැනීමට ගියත් ඔහුගේ අදහස්වලට ඉංග්‍රීසින් කැමැති නොවීය.
1811 වැනි වර්ෂය පැමිණි කල රජුට වයස 31ක් සපිරෙන්නට විය. මෙම කාලසීමාව රජුගේ අවසාන ස්වර්ණමය කාලය ලෙසත් පෙන්වා දිය හැක. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු එම කාලසීමාව තුළ දළදා මාලිගාවේ වාහල්කඩ හා පත්තිරිප්පුව තැනවීම කළ අතර දළදා මැඳුර අසල කිරි මුහුද තැනවීමද කළේය. එයට අමතරව කුමරුප්ප වීදියේ සිට තල්වත්ත දක්වා දිය අගලක් කැප්පවීමද, කුණ්ඩසාලේ මාලිගාවක් කරවීම, අස්ගිරි මල්වතු වෙහෙර බැඳීම, මඟුල්මඬුව සෑදීම, දෙයියන්ගෙවෙල, රාසිවෙල, ගුරුදෙණිය අස්වැද්දීම ආදී වැඩකටයුතු කිහිපයක්ම ආරම්භ කර තිබිණි. නමුත් රජු ඉංග්‍රීසින්ගේ තෑගි ලෙස ලද මත්පැන් පානයට අධික ලෙස ඇබ්බැහි විය.
‘වීරු මතින් රජ නිතරග මොරලන්නේ
උමතු බසින් නන් දොඩිමින් මයි උන්නේ
වියරු මුවින් සිනා සිසි සෙමින්නේ
යනෙන කොයිදැයි රජුත් නොමදන්නේ…….’
යන කවිය එක් උපැහැරණක් ලෙස පෙන්වා දිය හැකිය. එකල පිළිමතලාවේ මහාදිකාරම්තුමා රජුට විරුද්ධව දැඩි මතවාද ගෙනගිය අතර එයින් කෝපාවිෂ්ට වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පිළිමතලාවේ සහ එම පවුලේ දොළොස් දෙනෙක් හිස ගස්වා මරාදමන ලදී. එයින් පුරප්පාඩුවට පත් මහාදිකාරමට පිළිමතලාවගේ බෑණවකු වන පඩිකාර නිලමේට සහ කොස්සින්නේ කුමාරිහාමිට දාව 1773 මාර්තු මස උපන් ‘ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන්’ නම්දැරූ මෙතුමා ඇහැලේපොළ මහාදිකාරම නමින් අධිකාරිත්වයට පත්විය. ඇහැලේපොළ අධිකාරම විවාහපත් වන්නේ ගොඩහෙළ කැප්පෙටිපොළ නිලමේගේත්,මොණරවිල කුමාරිහාමිගේත් බාල දියණිය නොහොත් 1818 ඌවේ කැරැල්ල මෙහෙයවූ මොනරවිල කැප්පෙටිපොළ මහා දිසාවගේ අතිශය රූමත් බාල සොයුරිය සමගයි. 1806 මීගස්තැන්නේ මහාදිකාරම්තුමා මියයාමෙන් පසු එම තනතුරට මුලින්ම පත්වූයේ ඇහැලේපොළය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පිළිමතලාවේ ඝාතනය කිරීමෙන් පසුව 1812දී ඇහැලේපොළ මහාදිකාරම් ලෙස පත් කෙරීය.
එය ඇහැලේපොළ සන්නසයේ මෙසේ සඳහන් වේ.
‘උතුම් ශ්‍රී වික්‍රම රාජසිංහ අප දෙව්රාජෝත්තමයාණන් වහන්සේ සකල නාගරාග සම්පූර්ණ සෙංකඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධන පුරයෙහි නවරත්න වර වීර රාජකීය වදාරන සමයෙහි ශ්‍රී ලංකාධිපති එම දෙවි මහා රාජෝත්තමයාණන් වහන්සේ අග්‍රාමාත්‍ය පද ප්‍රාප්ත වූ හෙවත් රන් ආවුද මණ්ඩපේ ලේකම් ගිලීමලේ බඹරබොටුව සාරාමරුනින්ද විදන විහාර දේවාල ගබඩාගම් හා සබරගමු දිශාව ඇතුළුව මහනුවර අධිකාරම් නිලය කරවන විසුඞ වරවංශාභිජාත ඇහැලේපොළ විජේසුන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර සෙනෙවිරත්න අමරකෝන් පණ්ඩිත……..’
මහාදිකාරම් ධුරයට පත්වූයේ උනම්බුව රාලය. 1812 දීම උනම්බුවේ රාල මියයන්නේ බොහෝ දෙනාට අදටත් ප්‍රශ්නයක් ඉතිරි කරමින්ය. එම තනතුරට ඉන්පසු පත්වූයේ ඇහැලේපොළගේ පරම නන්දනීය හතුරා වන සත්කෝරළ දිසාපති මොල්ලිගොඩ මහාදිකාරමයි. නානායක්කාර වඩිගයන් ලංකාද්වීපය තුළ පාලනය ගෙන යාමට ඇහැලේපොළ අකැමැති වුවත්, සිංහල රාජයකු මෙරට පත්විය යුතුයැයි අදහසක් සිත් තුළ තිබුණත්, එම අදහස මොල්ලිගොඩ නම් වෙල්ලාල අධිකාරම් විසින්, කැඩපතකට ගල් පතකින් ගසා කැඩපත සුනු විසුනු කර දමන්නා සේ ක්‍රමක්‍රමයෙන් විනාශ කරන්නට වින. මොල්ලිගොඩ මහාදිකාරම කෙරේ ඇහැලේපොළට ඇත්තේ තරහකට වඩා ලිංගික ඊර්ෂ්‍යාවකි. අතිශය රූප සම්පත්තියකින් හෙබි ඇහැලේපොළ කුමාරිහාමි සමග කෙළියේ යෙදීමට බොහෝ සේ මොල්ලිගොඩත්, ශ්‍රී වික්‍රමරාජසිංහ රජුත් උත්සාහ කළත් ඇය තරයේ එය ප්‍රතික්ෂේප කෙරීය. රජුගේත් මොල්ලිගොඩගේත් උපායකට අනුව ඇහැලේපොළ සබරගමුවට සෙන්කඩගලින් පිටත් කළ හැරියේ ඇහැලේපොළ කුමාරිහාමි සමග රමණයේ යෙදීමට හැකිවන බව සිතාය. මෙය පිළිබඳ ඇති පුස්කොළ කරුණු දැඩි ලෙස විමර්ශනයකට ලක්කිරීමට මා හට නොහැකි වූයේ මාහට සම්පූර්ණයෙන් පුස්කොළ පොත් කියවීමට ඇති කාලසීමාව දැඩිලෙස අවසන්වූ නිසාවෙනි.
ඇහැලේපොළ මහාදිකාරම සබරගමුව දැඩි සංවර්ධනයකට ලක්කරන අතරේ ඉංග්‍රීසින් හිතන්නේ ඔවුන්ට විරුද්ධව කැරලි ගැසීමට ආයුධ තනනා ලෙසයි. සබරගමුවට අතිරික්ත මුදල් ලබාගැනීම උදෙසා බටුගෙදරගම අංගම්මන්න මිහිටිය ගමේ සිට අඩි 800කින් උස්ව වැවක් ඉදිකොට එම වැවේ ජලයෙන් අක්කර දහසක වෙල් කුඹුරු අස්වැද්දවූ බවත් එම වේල්ල අදටත් රත්නපුර තිරිවානකැටිය බටුගෙදර භරහා ගලාබසින අතර එය ඇහැලේපොළ වේල්ල ලෙස හැඳින්වීමක්ද සිදුකරයි.
මොල්ලිගොඩගේ ‘මහරජතුමනි ඔබවහන්සේ මරනු පිණිස ඇහැලේපොළ ජඩ්ඩයා කඩු කිනිසි හදන්නේ හීමුව අද බලන්නේ’ කියා වහසි බස් කියමින් මත් වූ රජු කෝපාවිස් කරන්නේයි. 1814 වන විට ඇහැලේපොළ සමග රජු දැඩි උරණව කටයුතු කරන කාලයක් බවට මොල්ලිගොඩ ඇතුළු පිරිස පත් කළේය. රජුට ඇහැලේපොළට වඩා වෛරයක් ඇති වූයේ ඇහැලේපොළ කුමාරිහාමි සමගය. ඒ වෛරයද පිටකරනුයේ ඇහැලේපොළගෙන්ය. වහා ඇහැලේපොළ සබරගමුවේ සිට මාලිගයට ගෙන්වන ලෙස හසුන්පතක් යැවූ නමුත් එකල රජු රට වැසියන් කෙරේ අධික බදු පනවා තිබූ අතර රාජ භාණ්ඩාගාරයට අවැසි එම බදු මුදල් එක්ව නොතිබූ නිසා ඇහැලේපොළ මාලිගයට ඒමට කල් ඉල්වා හසුන්පත් ඇරියද මොල්ලිගොඩගේ කූට උපායකින් ගම්පොලදී ඒ හසුන්පත් මාරුකොට රජුට එරෙහි වන ලෙස ලියා යැවීය. හසුන් දැක රජු උසිගැන්විණි. රජු වහා මහාදිකාරම් ධුරයෙන් ඇහැලේපොළ ඉවත් කළ අතර එම තනතුරට මොල්ලිගොඩ මහාදිකාරම් පත් කළේ මොල්ලිගොඩගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කොටය.
එයින් උරණ වූ ඇහැලේපොළ එක්නැලිගොඩ නිලමේ අත ඉංග්‍රීසින් හට ජනතාව බදු බරින් මිරිකී දුක් විඳිනා බව පෙන්වා ශ්‍රී වික්‍රමරාජසිංහ රජු පන්නා දැමීමට කටයුතු සංවිධානය කළේය. 1814 බක් මස රජු පන්නා දැමීමේ පළමු මහා සංග්‍රාමය ඇති කෙරිණි. එහෙත් එම සංග්‍රාමය මොල්ලිගොඩ මර්දනය කොට සබරගමුවේ 48 දෙනකූ අල්වාගෙන ගොස් උලතියා මරා දැමීය. මෙයින් තවත් උරණ වූ වඩිග ශ්‍රී වික්‍රමරාජසිංහ රජු ඇහැලේපොළ වෙනුවට ඇහැලේපොළ පරපුරෙන් සහ ඇහැලේපොළ කුමාරිහාමිගෙන් ඒ පළිය ලබාගන්නා ලදී. ඇහැලේපොළ පරපුර ඝාතනය සඳහා එවක රජුට පක්ෂග්‍රාහී වූ මොල්ලිගොඩ ඇතුළු වෙල්ලාල ගොවි නිලමේවරු සියලු දෙනාම මෙසේ උදව් වූ බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු පුස්තකාල ලේඛනාගාර සංරක්ෂණ භාරය සතු පුස්කොළ පොත්වල මෙසේ සඳහන් වේ.
(ග) 2
‘සිංහල නීතියේ හැටියට කෙසේ තිබේදැයි දියවඩන නිලමේගෙන් ඇසීය. එකල නිලමේ විසින් නීතිය මෙසේ කියෙව්වේය. රාජ ද්‍රෝහිකම් කොට පැනගිය එවුන්ගේ පවුලේ ඉතිරි අය අල්වා පිරිමි ඉස් ගහයින්ටත්, ගැහැනු දියේ ගිල්වා මරන්ටත් නීති තිබේ යයි කීවේය. එම විට රජතුමා වධකයෝ ගෙන්වා කියන්නේ එම්බලව තොපි විගස ගොස් ඇහැලේපොළ කුමාරි සහ දරුවනුත් පුස්සැල්ලේ කුමාරි සහ දුවනිත් කැඳවා එන්නයි අණ කළේය.
රජුගේ උදහසත් මොල්ලිගොඩගේ උපායත් පිළිබඳ කිසිවකුත් නොදන්න අසරණ ඇහැලේපොළ කුමාරිහාමි රජුගෙන් අසනුයේ මාගේ ස්වාමියා කළ වරදට මමත් මගේ දරුවනුත් පළි නොමැති බවයි. එහෙත් අලපකුදු වචනයකට එය ගණන් නොගන්නා රජු සැමියා කළ වරදට ඒ පළිය උඹෙන් ගමි යැයි කීය. මෙම ප්‍රකාශයෙන් පෙන්වා දෙනුයේ රජුට ඇහැලේපොළ සමග කිසිදු වෛරයක් නොතිබූ බවත් රජුට වෛරය ඇත්තේ ඇහැලේපොළ කුමාරිහාමි සමග යහන්ගත වීමට නොහැකි වීම නිසාත්, එවන් රුවැති ලියක් තමාට නොලැබී ඇහැලේපොළ වැනි ද්‍රෝහියකු සමග යහන්වදී යන ලිංගික ඊර්ෂ්‍යාව හේතුකොට යැයි පෙන්වා දීමට ‘ඇහැලේපොළ දරුවන් මැරවීම’ යන පුස්කොළ පොත (ග)2. පත්තිරුවේ අවසාන පද පෙළ එය බොහෝ සේ සනාථ කිරීමට සාක්ෂි සාධකයක් වනු නොඅනුමානය.
(ග)2.
‘එහිදී දියවඩන නිලමේ නීති කියෙව්වේය. එකල්හී කුමාරිහාමි මැදට අතගසා දෙස්කර කියන්නේ මාගේ ස්වාමිපුරුෂයා විසින් කළ වරදට මම සහ දරුවනුත් පළිදැයි කියා කෑගසන්නට විණ. ඊට රජතුමා කියනුයේ, රජතුමා කළගුණ නොදත් ජඩ බල්ලෙකි. ඌ නැති නිසා තිගෙන් සහ තිගේ දරුවන්ගේත් පළිගන්නේයි කියමින් පත්තිරිප්පුවට ගොස් බලා උන්හ.’
මෙලෙස එක්වාදහස් අටසිය දාසතර වැනි අවුරුද්දේ මැයි මස දෙවැනි දින මහනුවර මාලිගයේ නාථ දේවාලයේ දේව සංහිඳට ගෙන ආ ඇහැලේපොළ කුමාරිහාමිත් දරු තිදෙනාත්, පුස්සැල්ලේ කුමාරි සහ එම දුවනීත් ම්ලේච්ඡ ලෙස ඝාතනය කොට ලේ පිපාසිත වඩිග ශ්‍රී වික්‍රමරාජසිංහ නම් මෘග රජාගේ පළිය මෙලෙස ගන්නා ලදී.
ලබන සතියට….
සටහන-කරන්දෙණිය මහදුරගේ පසිඳු දේශාන්
(මෙය, ශ්‍රී ලංකා කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ලේඛනාගාර ගත සංරක්ෂිත පුස්කොළ පොත් කීපයක් ඇසුරෙන් ලියන ලද විමර්ශනාත්මක ලිපියකි.)









