2020 පටන් ගත්තත් හරි කොහෙවත් යන්නත් බැරිවුණ නිසා කල්පනා කළේ කොහෙද යන්නෙ කියලා. මොකද ජීවිතේ නිදහස හෙව්වේ ගහකොළ අතරම නිසා මාසෙකට සැරයක් හරි එහෙම තැනකට නොගියොත් හිතට ලොකු අඩුවක් දැනෙන්නෙ ඒක ජීවිතේ එක්ක බැඳුණු පුරුද්දක් නිසාමයි. අන්තිමට තීරණය වුණේ ලංකාවෙ හොඳම ඇලි දාම අතරින් එකක් වෙන ගැරඬිගල ඇලි දාමය තරණය කරන්න. සංක කලින් වතාවක් එය තරණය කර නිසා එය තවත් පහසුවක් වුණා.
ඕනැ කරන බඩු පැක් කරන් බෑග් එකත් හදන් පෝය දාට කලින් දවසේ රෑ බණ්ඩාරවෙල යන්න වුණේ පෞද්ගලික වැඩකට නිසා. එතැනින්ම නුවරට යන්න හිතන්ම බණ්ඩාරවෙලට යනකොට රෑ 12 විතර වුණා. කතරගම ඉඳන් නුවර එන ප්‍රයිවට් සෙමිය 1 වගේ වෙනකොට බණ්ඩාරවෙලට දැම්මෙ නුවර බලා යෑමට. වෙව්ලන සීතලේම බස් එකට ගොඩ වෙලා සීට් එකට ගුළි වුණේ තවත් දුර ගමනකට ලෑස්ති වෙමින්. ඩ්‍රයිවර් අයියගේ රිය පැදවීමේ වේගය එක්ක නින්දක් නොගියත් ඇඟ හිරිවට්ටන සීතලක් වැලිමඩ, නුවරඑළිය, තවලතැන්න හරහා යනකොට හොඳින්ම ඇඟට දැනුණා.

පාන්දර 4 වෙනකොට නුවර ස්ටෑන්ඞ් එකට දාපු බස් එකෙන් බැහැලා සංකට කෝල් කළත් ඒ වෙනකොටත් සංක කොළඹින් බස් එකට නැග්ගා පමණයි කීවා. පැය දෙකක් තුනක් මොනවා කරන්නද සිතමින් පාන්දර නුවර වැව රවුමට ඇවිදන් ගියේ මාලිගාවට යෑමට බැරි වුණත් සංචාරය ආරම්භයේම දළදා මාලිගාව දැකගැනීමට හෝ පුළුවන් නිසා. වැව රවුමේ කාලය ගත කරලා ආපසු ගුඞ් ෂෙඞ් එකට පැමිණ 6.45 පමණ වන විට සංකත් පැමිණි නිසා උයන්න ඕනෑ කරන දේවල් උඩුදුම්බරින් ගන්න හිතන් මහියංගණ බස් රථයට ගොඩවුණේ 7.15 පමණ. වංගු සහිත මහියංගණ පාරේ ලැසි ගමනින් ගිය ඒ සගයත් 9 පමණ වන විට උඩුදුම්බරින් අපිව බැස්සුවා. පෝය දවස නිසාම කළුගල බස් රථය නොමැති බව එතැන සිටිය අය පැවසූ නිසා කඩයෙන් අවශ්‍ය කරන කෑම බීමත් රැගෙන ත්‍රීරෝද රථයකට ගොඩ වුණේ ගැරඬිගලට යෑමට. රු. 400ක දුරක් ගොස් ඔහු අපිව අදාළ තැනින් බස්සවා ගියේ පරිස්සමෙන් යන ලෙසද පවසා. කලින් ගිය ගමන නිසා ඒ මතකයෙන් සංක මූලිකත්වය ගත්තේ ගමන ආරම්භයට. ගමනේ ආරම්භයට අඩිතාලම දමමින් වනයට පිවිසුණේ වෙහෙසකර ගමනකට මුල පුරමින්.
සෑම ගමනකම අපේ සගයන් වන කූඩලු යාළුවන් රංචු පිටින් කකුල් නොපෙනෙන ගානට එල්ලුණේ දැඩි සේ අසරණ කරමින්. උන්ව ගලවමින් ගැරඬිගල ඇලි දාමය පිහිටි කඳු වැටියේ පාමුල වෙල් යායට පැමිණෙන විට ගම්වැසියන් නියර ගොඩ කරමින් සිටියත් ගම්වල මිනිසුන්ගේ සුහදශීලිත්වය පෙන්නුම් කරමින් විස්තර අසමින් යන පාරත් අපි දන්නවා වුවත් නැවත අපිට කියමින් අපට ඔවුන් සමු දුන්නෙ පරිස්සමට ගිහින් එන්න යැයි කියමින්. දැඩි නැග්ම සහිත මාන පඳුරු සහිත මාර්ගයේ සෙමින් ගමන ආරම්භ කළේ දැඩි අව් රශ්මිය දැඩි ලෙස අපිට බාධා කරන විට. ඇලි දාමයේ එකින් එක පසු කරමින් ඉහළට නඟින විට ඇලිවල සුන්දරත්වයක් සමඟ වෙහෙස නිමුණේ ඉබේමයි. පයක් වැරදුණොත් කඳු පාමුල නවතින තරමේ අවදානමක් සහිත මේ තරණය අවදානම් සහගත තරණයක් බව කිව යුතුමයි. ස්ථාන දෙකක කඹයක ආධාරයෙන් ඉහළට නැඟීමට තිබෙන්නෙ ජීවිතය කඹයට බාර දෙමින්. කලින් දිනවල වර්ෂාවත් සමඟ පස මඩ වී ලිස්සා යෑමේ අවදානමත් සමඟ දැඩි පරිශ්‍රමයක් යොදා ඒ අභියෝගය දෙදෙනා ජය ගත්තෙ හිතේ විශ්වාසයෙන්. සැලකිය යුතු කරුණක් වන්නෙ මෙය තරණය කරනව නම් අවදානම්, අභියෝගවලට මුහුණ දීමට හැකියාවක් ඇති අය පමණක් තරණය කිරීම වඩාත් සුදුසුයි යන්නයි. කෙසේ හෝ පැය එක හමාරක වෙහෙසකාරී ගමනකින් මුදුනට ළඟා වුණේ අව් රශ්මිය නිසා දැඩි වෙහෙසට පත්ව. ඇලි දාමයෙ මුදුනටම වෙහෙස නොසලකා නැවත පල්ලම් බැස්සේ සීතල වතුර ටිකක් ගත දවටගන්න බලාගෙන. සුන්දරම නැරඹුම් ස්ථානයක් වූ එහි ඉහළ සුන්දරත්වය විඳිමින් අරන් ගිය නූඞ්ල්ස් එකක්ද දවල් ආහාරයට සකස් කරගත්තේ බඩගින්න වැඩි නිසා.

බඩගින්නත් නිවන් වතුරට බැස්සත් වැඩි වෙලාවක් වතුරේ ඉන්න නම් පුළුවන් කමක් තිබ්බෙ නැත්තෙ ඇඟේ ඇටකටුවලට දැනෙන සීතල නිසා. ජල පහරේ ගල් තලාවේ කඳවුරු බැඳීම අවදානම් නිසාම කඳු මුදුනට ගියේ රාත්‍රී ආහාර පිසීමට ජලයත් රැගෙනමයි. කූඩාරමත් අටවන් ඇලවුණ ගමන් සැප නින්දක් ගියේ වතුරෙන් ඇඟෙ මහන්සිය නිමුණ නිසාමයි. කවරදාවත් නොමැති තරම් සුන්දර කඳවුරු රාත්‍රියක් බවට ඒ රාත්‍රිය පත් වුණේ පෝය දවස නිසා හඳ එළිය හොඳින් කඳු මුදුනට පතිත වීමත් සමඟ එහි අමුතුම සුන්දරත්වයක් ගැබ් වුණු හින්දයි. ඒ සුන්දරත්වය දුරකතනයේ කැමරාවෙහි සටහන් කරන් වෙවුලන සීතලේ කෑමත් හදන් කාලා රෑ 10ට විතර නිදාගත්තේ පාන්දර ඉර සේවයේ අසිරිය විඳීමට එලාම් එක පවා තබමින්. රාත්‍රී 12ට පමණ ඇතිවූ අධික සීතල නිසා කූඩාරමෙන් පිටට පැමිණ දෙදෙනාම ගිනිමැලය ඇවිළුවේ සීතල දරාගත නොහැකි වූ නිසා. එහි උණුසුම විඳිමින් නැවත කුඩාරමට වී නිදාගත්තෙ තිබුණ රෙදිත් ඇඟේ ඔතා ගනිමින්.
උදෑසන දකින්නට තිබූ ඒ අසිරිය දැකීමට කඳු මුදුනකට යන්නම වෙනවා. සුන්දරම දර්ශනයක් ඇස් පිනෙව්වේ මනස්කාන්ත ලෙසින්. ඒ සියල්ලම මතකයේ රඳවා ගනිමින් කඳවුරු භූමිය පිරිසුදු කරමින් දැඩි පින්න මැදින් පල්ලම් බහින්න ගත්තා. පැය එක හමාරකින් පමණ පහළට පැමිණ උදේ පාන්දරම සීතල වතුරෙන් නාගෙන ත්‍රීරෝද රථයකම උඩුදුම්බර නගරයට පැමිණ උදේ ආහාරයත් ගෙන දෙහිඅත්තකණ්ඩිය කොළඹ බසයට ගොඩ වුණේ කොළඹ බලා ඒමට. වසරේ පළමු සංචාරය එසේ නිමාවුණේ අමතක නොවන සොඳුරු මතක රැසක් සිතේ රඳවා ගනිමින්. මෙම තරණයේදී අවදානමක් ඇති බව නැවත වතාවක් සටහන් කළ යුතුමයි. එය පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් ඒ නොඉඳුල් පරිසරය විනාශ නොකරන ලෙසත් ඉල්ලා සිටින්නෙ කරුණාවෙන්. සැමන් ටින් වගේ දේවල් එහෙමත් උඩ රඳවලා තිබුණේ අපේ අය විසින්මයි. අරන් යන ටොපි කොළේ වුණත් බෑග් එකට දාගන්න. මේ සුන්දරත්වය විඳින්න පිය සටහන් පමණක් ඉතුරු කරන්න. තවත් කෙනෙක්ට විඳීමට එය රැකගන්න. එයයි අපගේ ඉල්ලීම.
දිලන්ත ළහිරු











