වත්මන් රජය වැරදි ප්‍රතිපත්ති අනුගමනය කරමින් රටේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරන නමුත් මේ අය කරන මේ ක්‍රියා නිසා ජනතා මුහුණ දෙන ප්‍රශ්න වැඩි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රාජපක්ෂ පක්ෂ පවුල් පරපුර විසින් මේ රට විනාශ කර දුප්පත් මුඛයට ඇද දැමූ බවත් කුඩා දරුවාගේ සිට මහළු මිනිසා දක්වාත් රාජ්‍ය සේවාකයාගේ සිට සුළු රැකියා කරන සේවකයා දක්වා සියලු දෙනා කඩා වැටී ඇති බවත් තවදුරටත් මේ රටේ ලක්ෂ 220ක් වූ ජනතාව කිසිම පාලකයකුගේ නායකයකුගේ දේශපාලනඥයකුගේ වහලකු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය . රාජපක්ෂ වහල් භාවයට පත්වූ රට තවමත් රාජපක්ෂ වහල් භාවය තහවුරු කරන හොර අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු පියවර පළාත් පාලන මැතිවරණය ජය ගැනීමෙන් පසු ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (4) පානදුර පැවැති ජනහමුවකට එක් වූ අවස්ථාවේ දී ය.
ලෝකයේ කිසිම රටක් ආර්ථිකය කුඩා කර ප්‍රශ්න විසඳන්නේ නොමැති වුවත් වත්මන් රජය ආර්ථිකය කුඩා කර රටේ ජනතාවගේ අතේ තුට්ටු දෙකත් විනාශ කිරීමට උත්සාහ දරන බවත් ඔවුන් ඉල්ලුම අඩු කිරීම තුළින් රටේ ප්‍රශ්න විසඳෙන බව සිතුවත් එය වැරදි බවත් මේ ආර්ථික සමාජීය ප්‍රපාතයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම ආර්ථිකය විශාල කිරීමෙන් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
2019 වසරේ එක වරදක් කළ බවත් 2023 තවත් මිරිගුවක් පසුපස ජනතාව දුවන බවත් මේ දිනවල බොරුවට කයිවාරු ගසන විප්ලවවාදීන්ට ජාත්‍යන්තර සහාය කිසිදු අවස්ථාවක නොලැබෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අපේ රට ගොඩගැනීමට නම් ධනවත් රටවල් සමඟ ගණුදෙනු කිරීමේ හැකියාව පැවැතිය යුතු බව යි. උතුරු කොරියාව, කියුබාව වැනි සමාජවාදී රටවලින් අප රට ගොඩගැනීමට උදව් නොකරන බැවින් එවැනි මිරිගු පසුපස නොයන ලෙසත් එවැනි මිරිගු පසුපස යෑමෙන් සිදු වන්නේ රට මේ වන විට වැටී ඇති තත්ත්වයෙන් තවත් පහළට වැටීම බවත් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේය.










