• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රජ මන්දිර වාගේ අසපුද නැත-අක්කර ගණන් මහා ඉඩම්ද නැත, V8 ද නැත-රේසින් බෙන්ස් කාර්ද නැත, දුප්පත් මිනිස්සුන්ට මිනිය තියන්න නොමිලේ මල්ශාලාවක් හදලා බොරැල්ලේ කනත්ත ඉස්සරහ වැඩ සිටින නන්දතිස්ස හාමුදුරුවන්ගේ කතාව… අහන්න වටින කතාවක්…

February 3, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
රජ මන්දිර වාගේ අසපුද නැත-අක්කර ගණන් මහා ඉඩම්ද නැත, V8 ද නැත-රේසින් බෙන්ස් කාර්ද නැත, දුප්පත් මිනිස්සුන්ට මිනිය තියන්න නොමිලේ මල්ශාලාවක් හදලා බොරැල්ලේ කනත්ත ඉස්සරහ වැඩ සිටින නන්දතිස්ස හාමුදුරුවන්ගේ කතාව… අහන්න වටින කතාවක්…
Share on WhatsAppShare on Facebook

බුදු දහම යනු සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ කරුණාවක්, මෛත්‍රියක් දැක්විය යුතු බවට ඉගැන්වෙන දහමකි. ත්‍රිපිටක බුද්ධ වචනය තුළ අන්තර්ගත සූත්‍ර රාශියක ඒ බව මනා කොට දැක්වෙයි. එවන් දහමක උරුමකරුවන් වූ අප ඒ උතුම් දහමෙයි සැබෑ ලෙසම හැසිරෙනවාද යන්න විමසා බැලිය යුතු කරුණක් වන්නේ මෛත්‍රිය, කරුණාව, සමානාත්මතාව ගැන මහ ඉහළින් කතාකරමින් සිටියද ඒවා සැබෑ ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට අසමත් බොහෝ දෙනා අද වන විට සමාජයේ බහුලව දැකගන්නට ලැබෙන නිසාය. අන්‍ය ජාතිකයන්ට, අන්‍ය ලබ්ධිකයන්ට විවිධ වූ අඩන්තේට්ටම් කරන ඇතැමුන් ‘බෞද්ධ‘ ලේබලයට මුවාවී සිටින බව වර්තමානය වන විට බොහෝ අවස්ථාවල දැකගන්නට ලැබෙයි. ආගම්වාදී ජාතිවාදී මත පතුරමින්, මැතිවරණයක් ආසන්න වෙද්දී ජනතාව අවුළුවන්නට විවිධ දේශපාලකයන් මෙන්ම ඇතැම් හිමිවරුන්ද කටයුතු කරනු අප ඕනෑ තරම් දැක ඇත්තෙමු. එහෙත් එසේ ව්‍යාප්ත කරනු ලැබූ ජාතිවාදී මත රැසක් සත්‍යයෙන් තොර ප්‍රලාප පමණක් බව හෙළිවන විට, ඒවා ප්‍රචාරය කළ පුද්ගලයන්ගේ ආධ්‍යාත්මය, සැබෑ සම්බුද්ධ දේශනාවෙන් කොතරම් වියුක්තද යන්න මොනවට පැහැදිලි වෙයි. එවන් පසුබිමක සෑම ආගමකම, සෑම තරාතිරමකම මනුෂ්‍යයන් වෙනුවෙන් ඉතා වටිනා මෙහෙවරක් ඉටුකරන ගෞරවනීය ස්වාමින්වහන්සේ නමක් පිළිබඳ දැනගන්නට ලැබිණි. ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පීඩාවට පත්ව තම ඥාතියාගේ, හිතවතාගේ අවමංගල්‍ය කටයුතු සිදුකරන්නට ස්ථානයක් නොමැතිව අසරණ වූ විශාල පිරිසකට සහනයක් වූ උන්වහන්සේ පූජ්‍ය තෙල්වත්තේ නන්දතිස්ස හිමියන්ය. බොරැල්ල නගරාසන්න විහාරස්ථානයක වැඩසිටිමින් මේ වන විට විවිධ ජාතීන්ට, විවිධ ආගම්වලට අයත් පුද්ගලයන් 57 දෙනකුගේ අවමංගල්‍ය කටයුතු සඳහා ඉඩ හසර සලසා දුන් උන්වහන්සේ පිළිබඳ මේ වටිනා සාකච්ඡාව Divaina Online යූටියුබ් චැනලයෙන් උපුටාගෙන ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

අවසරයි ස්වාමින්වහන්ස, අපි මේ ඉන්න ස්ථානය පන්සලක්ද, එහෙම නැත්නම් අවමංගල්‍ය උත්සව ශාලාවක්ද?

පන්සල කියන්නේ හාමුදුරු නමක් වැඩඉන්න ඕනෙම තැනකට. ඒක මඩුවක් වෙන්න පුළුවන්, මන්දිරයක් වෙන්න පුළුවන්, ගල් ගුහාවක් වෙන්නත් පුළුවන්. හාමුදුරු නමක් වැඩඉන්නවා නම් ඒක පන්සලක් තමයි. නමුත් මේක ශාලාවක්. ශාලාවෙ බණ කියනවා නම් ඒක ධර්ම ශාලාවක් වෙනවා. කොළඹ නගරයට ඇවිල්ලා අපහසුතාවට පත්වෙච්ච මිනිස්සු ඉන්නවා මරණයක් තියාගන්න වත්කමක් නැති අය. මේ අවට ලොකු මල්ශාලා තියෙනවා නමුත් ඒවායෙ විශාල මිල ගණන් අයකරනවා. රුපියල් ලක්ෂ 3ක් 4ක් වගේ අයකරනවා. එවැනි වත්කමක් නැති මනුස්සයන්ට පිහිටක් වීම සඳහා තමයි මේ ශාලාව අවමංගල්‍ය ශාලාවක් බවට පත් කළේ. ඕනෑම කෙනකුට මරණයක් ගේන්න පුළුවන් විදියට.

මේ වෙද්දී ඔබවහන්සේ මේ ස්ථානයේ අවමංගල්‍ය උත්සව කීයක් විතර පවත්වලා තියෙනවද?

අවමංගල්‍ය උත්සව 57ක් පවත්වලා තියෙනවා. සිංහල 42යි, දෙමළ 14යි, ඉස්ලාම් 01යි. ඒ අයගෙන් බෞද්ධ 38යි, ක්‍රිස්තියානි 09යි, හින්දු 09යි, ඉස්ලාම් 01යි. ලංකාවෙ හැම පළාතකින්ම වගේ මේ ස්ථානයට මරණ ගෙනැල්ලා තියෙනවා.

සාමාන්‍ය පන්සලක තියෙන චෛත්‍යයක්, බෝධියක්, විහාරයක් මේකෙ නෑ. මොකක්ද මේ ස්ථානයේ විශේෂත්වය?

චෛත්‍යයක් බෝධියක් විහාර ගෙයක් මෙතැන හදලා නෑ. මට අවශ්‍ය වුණේ නෑ තවත් පන්සලක් විදියට මේ ආයතනය ගොඩනගන්න. කුරුල්ලන්ට මල් පැණි ටිකක් බොන්න, ජෑම් ගෙඩියක් කන්න සුදුසු පරිසරයක් තමයි මම හදලා තියෙන්නේ. ප්‍රඥාව දියුණු වෙච්ච අයට තමයි මේ ආයතනය ගොඩනැගුවේ. මේ ස්ථානයේ ගේට්ටුවක්වත් දාලා නෑ. පන්සලක් කියන්නේ බොහොම නිදහස් භූමියක්. එතැන ජන වර්ගයක් නියෝජනය වෙන්නේ නෑ. මොකද බුදුහාමුදුරුවෝ සිංහල බෞද්ධයෙක් නෙවෙයිනේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය හෝ උන්වහන්සේගේ දර්ශනය එක්තරා ජාතියකට ලඝු කරන්න බෑ. උන්වහන්සේගේ බණ අහන්න ගියේ කෙසි දෙයක් නොදන්න මිනිස්සු. ඒක පෙනි පෙනී තියෙද්දී අපි එක්තරා රාමුවකට කොටුවෙන එක හරි නෑ. විවෘතව තියෙන බුදුදහම රාමුවකට කොටුවෙන්න බෑ.

බොරැල්ල කනත්ත අවට තියෙන සුවිශාල මල්ශාලාවල අවමංගල්‍ය උත්සවයක් සඳහා රුපියල් ලක්ෂ 3කට වඩා මුදලක් ගන්න බව ඔබවහන්සේ කිව්වා. මෙතැන ඒ කටයුත්තක් සඳහා ඔබවහන්සේ කීයක් අයකරනවද?

මෙහෙම දෙයක් තියෙනවා මහත්තයෝ. මරණයකට මුදලක් ගන්නවා කියන්නේ ඒක සල්ලි හොයන්න කරන වැඩක්නේ. මේ හෝල් එකම මගෙන් ඉල්ලලා තියෙනවා මාසෙට රුපියල් ලක්ෂ තුනහමාරක කුලියට, ටියුෂන් පන්ති පවත්වන්න. ගබඩාවලින් මගෙන් ඉල්ලලා තියෙනවා මාසෙට ලක්ෂ 5ක කුලියට. ඉතින් මට මුදලක් අවශ්‍ය නම් මම ඒ බිස්නස් එක කරනවනේ, මළමිනියකින් බිස්නස් කරන්න ඕනෙ නෑනේ. මෙතැන මුදල් අයකිරීමක් නෑ. මෙතැනට එන්නේ අන්ත අසරණ අය. පහුගිය දවසක යාපනේ ප්‍රදේශයෙන් මරණයක් මෙතැනට ගෙනාවා. පස්දෙනයි හිටියේ. මම උයලා කන්නත් දුන්නා. ඒ වගේ අසරණ අය එන්නේ. ඉතින් මළමිනීවලින් මුදල් උපයන්න මට ඕනෙ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වනේ ‘අප්පමාදේන සම්පාදේත’ කියලා. වහවහා කුසල් වඩන්න කියලා. ඉතින් මට කුසල් වැඩීම සඳහා මගේ මවුපියන්ට, නෑදෑයන්ට, මේ භූමිය පූජා කරපු අයට කුසල් වඩන්න පුළුවන් තැනක් මම හදන්න ඕනෙ. හැමදෑම කවුරුහරි මෙතැනට ඇවිල්ල තේ ටිකක් බීලා යනවා, බත් ටිකක් කාලා යනවා, රෑට නිදාගෙන ඉඳලා යනවා. අවමඟුලක් කරගන්නවා. අවමංගල්ලෙක තියෙන විශේෂත්වයක් තමයි රාත්‍රී කාලෙ නවතැන් තියෙනවා. නිදාගන්න පුළුවන්. උයාගෙන කන්න පුළුවන්. කිසිම මුදලක් අයකරන්නේ නෑ. මිනිස්සු කැමැත්තෙන් විවිධ දේවල් දෙන්න පොරොන්දු වෙනවා. ඒවට අපි මුකුත් කියන්නේ නෑ. යමක් දුන්නොත් භාරගන්නවා. ඇඳන්, පුටු, මේස වගේ දේවල්.

සාමාන්‍ය පන්සල්වල තියෙන ලොකු කවිච්චි, පුටු සෙට් වගේ දේවල් මේකෙ නෑ. ඒක තමයි මෙහෙ තියෙන විශේෂත්වය. මේකෙ දොරවල් ඇරලා තියෙන්නෙත් ඒකයි. ගන්න දෙයක් නෑ. බිත්ති කෑලි හතර විතරයි තියෙන්නෙ. වටිනාකමක් තියෙන දේකට තියෙන්නේ මම පාවිච්චි කරන ජංගම දුරකතන විතරයි. එච්චරමයි තියෙන්නේ. ඒ නිසා මට සොර සතුරන්ගෙන් කරදරයක් නෑ. මොකද මහණකම කියන්නේ රැස්කරන එකක් නෙවෙයි අස්කරන එකක්නේ. පන්සල කියන්නේ රැස්කරන ස්ථානයක් නෙවෙයි, අස්කරන ස්ථානයක්.

හැබැයි හාමුදුරුවනේ අද පන්සල්වලින් කියන්නේ ‘දෙන්න දෙන්න’ කියලම නේද?

පන්සල්වලින් දෙන්න කිව්වට, හාමුදුරුවරු දෙන්නේ නෑනේ. හැමෝම නෙවෙයි. නමුත් මනුස්සයෙකුට දුර පළාතකින් රාත්‍රී කාලෙ කොළඹ නගරෙට ඇවිල්ලා නිදියගන්න තැනක් ඕනෙ වුණොත් මේ ස්ථානය විවෘතව තියෙනවා.

ඔබවහන්සේ කොයි කාලෙද මේ වැඩේ පටන්ගත්තේ? ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ?

ගාල්ලෙ දඩැල්ලෙත් මගේ පන්සලක් තිබුණා. ඒකෙත් අවමංගල්‍ය සමිති හැදුවා. පුටු ටික සහ රුපියල් 5,000කුත් මිනිස්සුන්ට දෙන්න පුළුවන් විදියට කටයුතු කළා. නමුත් ඒ මිනිස්සුන්ට ඒක කරගෙන යන්න තරම් ශක්තියක්, ශ්‍රද්ධාවක්, බුද්ධියක් තිබුණේ නෑ. ඉතින් තේරුමක් නෑ. මට කොළඹට ගුරු පත්වීමක් ලැබුණා. කොළඹට ආපුවාම බෝතලේ වලව්වෙන් පැවැත එන ඩී.එස්. සේනානායක පවුලේ ඥාති දියණියක් වන එරීන් සේනානායක මැතිනියත්, ප්‍රේමරත්න රාජපක්ෂ මහත්මාත් එකතුවෙලා තමයි 2009 අවුරුද්දේ මේ ඉඩම මට පූජා කළේ. මේක විශාල කැලයක් තිබුණේ. ඒ කැලෑවේ මඩුවක් හදාගෙන ඉන්නකොට තමයි මම කල්පනා කළේ මොන වගේ දෙයක්ද මෙතැන කරන්න ඕනෙ කියලා.

එහෙම මම ඉන්නකොට අවට මිනිස්සුන්ට පන්සලක අවශ්‍යතාවක් දැනුණේ නෑ. ගමට පන්සලක් හාමුදුරු නමක් ඕනෙ කියලා ඒ අයට තේරුණේ නෑ. ඒ නිසා මම තීරණය කළා වටේම පන්සල් තියෙන නිසා, මිනිස්සුන්ට පිහිටවෙන්න පුළුවන් තැනක් මේකෙ හදන්න ඕනෙ කියලා මම තීරණය කළා.

ඔබවහන්සේට මේ ස්ථානයේදී යම් අකරරැබ්බවලට මුහුණදෙන්න සිදුවෙලා තියෙනවද?

119 අංකයට කතා කරලා තියෙන බොහෝ අවස්ථාවල ඇතැම් අය. මම මෙතැන මිනී එම්බාම් කරන තැනක් හදනවා කියලා. නමුත් පොලිසියෙන් ආවට පස්සේ මෙතැන තත්ත්වය තේරුම් අරගෙන ඒ අය යනවා. මොකද පොලිසියෙ මරණත් මෙතැන තිබිලා තියෙනවනේ. පොලිසියේ නෝනා කෙනෙක් මැරුණා, ඒ මරණේ තිබුණෙත් මෙතැන.

මම මෙතැන ආහාර බැංකුවක් හදලා තියෙනවා. ඒක හදන්න හේතු වුණේ මේ වගේ සිදුවීමක්. යාපනේ දෙමළ මනුස්සයෙක් කොළඹට ආවා. ඒ මනුස්සයා මැරුණා. ඒ දේහය යාපනේට ගෙනියන්න රුපියල් 95,000ක් ඉල්ලලා තිබුණා. පස්දෙනයි හිටියේ. පස්සේ මේ තැන ගැන ඒ අයට ආරංචි වෙලා අවසන් කටයුතු මෙතැන සිදුකළා. කන්න බොන්න දුන්නෙත් අපි. ඒ අනුව අපි තීරණය කළා අවුරුද්දේ දවස් 365ට උපන්දින තියෙන 365 දෙනෙක් හොයාගෙන ඒ එක්කෙනාගෙන් හාල් කිලෝ 05 ගාලේ අරගෙන ආහාර බැංකුවක් හදන්න.

ඔබවහන්සේට වාහනයක් තියෙනවද?

මේ කාලේ ඕනෑම කෙනකුට වාහනයක් අත්‍යාවශ්‍යයි. මටත් වාහනයක් තිබුණා ටොයොටා ෆිෆ්ටි වන් එකක්. හයමස් ගැබිණියක් සහ පවුලේ අය ගෙවල් කුලිය ගෙවාගන්න බැරිව මහපාරට වැටිලා ගාල්ල දඩැල්ල බස් හෝල්ට් එකේ හිටියා තෙමි තෙමී. ගමේ ග්‍රාමසේක තේනුවර නේනා ඇවිත් මගෙන් ඇහුවා ඒ අය අද රෑට ධර්ම ශාලාවේ නතර කරන්නද කියලා. බුදු හාමුදුරුවෝ ළඟට ආපු අසරණයන්ව උන්වහන්සේ හරවලා ඇරියේ නෑ වගේ මමත් ඒ අයට ඉඩ දුන්නා. හැබැයි නතර කරගෙන දවස් දෙක තුනක් යනකොට ගමේ හැමෝම මට දොස් කියන්න, බණින්න පටන්ගත්තා. නමුත් ඒ පවුලට පිහිටවෙන්න ඕනෙ හින්දා අවුරුදු දෙකහමාරක් පන්සලේ නතර කරගෙන හිටියා. මට තිබුණු වාහනය ලක්ෂ 40කට විකුණලා, රජයෙන් ඉඩමක් අරගෙන, පොලිසිය සහ හමුදාවේ අය සම්බන්ධ කරගෙන ගෙයක් හදලා ඒ අයට මම දුන්නා. දැන් එයාලා ඒ ගෙදර ඉන්නවා. දැන් මට වාහනයක් නෑ. තිබුණු වාහනය විකුණලා තමයි අන් අයගේ යහපත වෙනුවෙන් මම කටයුතු කළේ.

මේ ස්ථානයේ මරණ 57ක් තිබිලා තියෙනවා. ඒ අතරින් වඩාත්ම සංවේදී අවස්ථාව මොකක්ද?

මියගිය පුද්ගලයා කෙරෙහි සංවේදී වෙනවට වඩා මියගිය අයගේ ඥාතීන් ගැන ලොකු සංවේදී බවක් ඇතිවෙනවා. ඒ අයට කරකියාගන්න දෙයක් නෑ. තේකක්වත් බොන්න වත්කමක් නෑ. මම මේ වැඩේ පටන්ගත්තේ කොවිඩ් කාලේ. ඒ කාලෙ පන්සල් පවා වහල තියෙද්දී කනත්තේ මනුස්සයා මට කතා කරලා කිව්වා හාමුදුරුවනේ අසරණ වෙච්ච ගොඩක් අය කනත්තේ ඉන්නවා, පාන්සුකූලෙවත් දීගන්න විදියක් නෑ, සමහර පන්සල්වල ඔන්ලයින් පාන්සුකූලෙ දෙන්නේ, අන්තර්ජාලයෙන් පාන්සුකූලෙ දෙන්නේ, ඒ හින්දා ඔබවහන්සේට පුළුවන් නම් වැඩම කරන්න කියලා. ඒ අනුව තමයි මේ කටයුත්ත මෙතැන පටන්ගත්තේ. මම කිව්වා කොවිඩ් නොවන මරණ මෙහෙට ගේන්න කියලා. කොවිඩ් මරණවල දේහය කනත්තේ තියලා මෙහෙ ඉඳන් පාන්සුකූලෙ දුන්නා. ඒ විදියට තමයි කොවිඩ් කාලෙ හැම පන්සලක්ම, ආගමික ස්ථානයක්ම වහලා තියෙද්දී මම කටයුතු කළේ. ඒ මිනිස්සුන්ගෙ අසරණකම තමයි ගොඩක්ම සංවේදී වෙන්න හේතුව. දවස් දෙකේ තුනේ දරුවන්ගෙ මරණ ගේනවා. ඒ මිනිස්සුන්ගෙ දුප්පත්කම දැක්කාම ඉවසන්න අමාරුයි.

හාමුදුරුවනේ අපට නිදහස ලැබිලා දැන් අවුරුදු 75ක් විතර වෙනවා. ඔබවහන්සේට දැන් වයස අවුරුදු 50කට වැඩියි. ඒත් අපේ රටේ දුප්පත්කම තවමත් නැතිකරන්න බැරිවෙලා තියෙනවා නේද?

ඒකට පාලකයොයි පාලිතයොයි දෙගොල්ලොම වගකියන්න ඕනෙ. පාලිතයො දැනගන්න ඕනෙ නිවැරැදි නායකත්වයක් තෝරගන්න. නිවැරැදි නායකත්වයක් තෝරාගන්න ජනතාවට බුද්ධියක් නෑ. ඒ හේතුව නිසාම පාලකයෝ ඒ අයගේ පෞද්ගලික අභිමතාර්ථවලට පමණක් යෑමේ වැඩපිළිවෙළක් මේ අවුරුදු 74 පුරාම තිබෙන්නේ. නව නිර්මාණ බිහි කරන්න, ආනයන අපනයනය දියුණු කරන්න වැඩපිළිවෙළක් නෑ. අපට ටොෆි ලොසින්ජර ටකරන් බෙද බෙදා පාලනය ගෙනයන ක්‍රමයක් තියෙන්නේ. හරිම කනගාටුයි ඒ ගැන. මීට වඩා දුප්පත් රටවල් මීට වඩා දියුණු වෙලා තියෙනවා. ලංකාවෙ ඕනෙ තරම් සම්පත් තියෙනවා. නමුත් වැඩේ අවුල් කරගෙන තියෙන්නේ. ජනතාව කලකිරිලා ඉන්නේ. මේවට හාමුදුරුවරුත් වගකියන්න ඕනෙ.

ඒ කියන්නේ හාමුදුරුවනේ…?

භික්ෂුන්වහන්සේලා දේශපාලනඥයන් සමග කටයුතු කරනවනේ වරදාන වරප්‍රසාද බලාපොරොත්තුවෙන්. ඒගොල්ලෝ හරි අනුශාසනාවක් නායකයන්ට දීලා නෑ ඒගොල්ලන්ගේ පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගත්තා මිසක්.

ඔබවහන්සේ හමුවෙන්න දේශපාලනඥයෝ ඇවිල්ලා තියෙනවද?

මහා ලොකු අය නම් ඇවිල්ලා නෑ. කොළඹ නාගරික මන්ත්‍රී ප්‍රින්ස් පෙරේරා මහත්තයත්, ටයිටස් මහත්තයත් මට ගොඩක් උදව් කරලා තියෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්තයත් රුපියල් ලක්ෂ 40ක් විතර මේ ආයතනයට ප්‍රදානය කරලා තියෙනවා ජනාධිපති වෙන්න කලින්. එහෙම කළත් මම අරලියගහ මන්දිරයටවත් ගිහින් නෑ පිරිත් නූලක්වත් බඳින්න. පටන්ගැනීමෙදිම මම කිව්වා මට උදව්පදව් කරන්න හැබැයි ආයතනවලට ඇවිල්ලා නායකයෝ මුණගැහෙන්න නම් මට බෑ කියලා.

ඔබතුමා ආපු වෙලාවේ කිව්වා මෙතැන බෝධියක් නෑනෙ කියලා. බෝගස ලංකාවට ගෙනාවේ සංඝමිත්තා තෙරණිය කිසියම් කාරණාවක් හින්දා. ඒ කාරණාව දැන් ඉස්මතු වෙන්නේ නෑ. සිද්ධාර්ත යසෝදරාව අත්හැරියේ බෝධිය ළඟ. සිද්ධාර්ත රාහුල අතහැරියේ බෝධිය ළඟ. සිද්ධාර්ත රජකම අතහැරියේ බෝධිය ළඟ. සිද්ධාර්ත සියල්ල අතහැරියේ බෝධිය ළඟ. ඒ බෝධිය ළඟට ගිහින් දරුවෙක් ඉල්ලන්න, කසාදයක් හරියන්න, ලෙඩ රෝග සුවවෙන්න, අපල දුරුවෙන්න කියලා ඉල්ලන්න තමයි අද මිනිස්සු හුරුවෙලා ඉන්නේ. බුදුහාමුදුරුවෝ සියල්ල නැති කරපු තැනට, උන්වහන්සේගේ ධර්ම පිළිගත්තා යැයි කියන අය ගිහින් එක එක දේවල් ඉල්ලනවා. හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක ව්‍යාපාරික මට්ටමට ගිහින් තියෙන්නේ.

ශ්‍රීමහා බෝධියේ උඩ මළුවට ගෑනියෙකුට යන්න බෑ. දළදාව වැඩම කෙරුවේ ගෑනියෙක්. කාන්තාවකට ඒ දළදාවට යන්න බෑ. විකෘති මත තියෙන්නේ. ලංකාවට බෝධිය වැඩම කළේ මිනිසා කෘතවේදී කරන්නයි. බුදුහාමුදුරුවෝ බෝධිය සැලකුවේ මේ විදියටයි, උඹලත් ඒ විදියට උඹලට සලකන අයට සලකපල්ලා කියන එකයි බෝධියේ අර්ථය. නමුත් මිනිස්සු ගාව නැත්තෙත් ඒකමයි. දැන් විවිධ වන්දනා ක්‍රම හදලා තියෙනවා. තනිකරම ප්‍රෝඩාවල් ඒවා.

හාමුදුරුවනේ දැන් අපට පොල්ගහවෙල පැත්තෙන් එක දේශනාවක් ඇහෙනවා, කුරුණෑගල පැත්තෙන් තවත් දේශනාවක් ඇහෙනවා, කොටුව පැත්තෙන් වෙනම දේශනාවක් ඇහෙනවා. ඇයි මෙහෙම විවිධ දේශනා ඇහෙන්නේ?

බුදුහාමුදුරුවෝ හරිම ලස්සනයි. උන්වහන්සේව දකින්න වක්කලී කියලා තරුණයෙක් මහණ වුණා. මහණවෙලා උන්වහන්සේ බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියනවා ඇයි වක්කී මේ කුණු ශරීරය දිහා බලාගෙන ඉන්නේ කියලා. උන්වහන්සේ ජීවමාන කාලෙදිම කියනවා මාව මේ ශරීරය තුළින් දකින්න බෑ කියලා. ‘යො ධම්මං පස්සති සෝ මං පස්සති’ ඔබට මාව දකින්න ඕනෙ නම් ධර්ම දකින්න කියන එකයි ඒ කියන්නේ. උන්වහන්සේගේ ශරීරය දැක්කා කියලා බුදුහාමුදුරුවන්ව දකින්න බෑ. උන්වහන්සේට පහන් දල්වන්න, වැඳුම් පිදුම් කරන්න. ඒකෙ කිසිම ගැටලුවක් නෑ. නමුත් බුදුහාමුදුරුවන්ව බාහිරෙන් දකින්න බෑ කියන එකයි මේ කියන්නේ. උන්වහන්සේව දකින්න පුළුවන් උන්වහන්සේ කියපු දේ (ධර්මය) තුළින් පමණයි. අපේ ස්ථානය එහෙමනේ. දුකට පීඩාවට පත්වෙච්ච ඕනෙම කෙනකුට පැය 24 පුරාම ඇවිල්ලා නිදහසේ ඉන්න, නවාතැන් ගන්න, නිදාගන්න, කෑම කන්න පුළුවන්. ඒක තමයි බුදුහාමුදුරුවෝ දකිනවා කියන්නේ. මම බුදුහාමුදුරුවෝ දැක්කා. බුදුහාමුදරුවෝ දැක්ක නිසා තමයි මගේ වාහනේ විකුණලා දරු පවුලකට ගෙයක් හදලා දුනනේ. මම බුදුහාමුදුරුවෝ දැක්ක නිසා තමයි සුනාමි වෙලාවේ මිනිස්සු රෙදි පොට්ටනි ගහගෙන දුවද්දී වතුර පැනලා මම මිනිස්සු බේරගත්තේ.



SendShareShare
Previous Post

බංග්ලාදේශ ආණ්ඩුවට ජනවරමක් තියෙනවා! අපිට පස්සෙ ගිහිල්ලත් ඒ අයට IMF එක ණය 2ක් දුන්නේ ඒකයි! මේ ආණ්ඩුවට ජනවරමක් නෑ! ඉතින් IMF ණයත් නෑ! VIDEO

Next Post

කංචන පෙට්‍රල් හිටිහැටියේම 30කින් නග්ගයි! දැන් ලීටරේ 400යි! මරු!

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.