මේ කාලය ගතවෙමින් යන්නේම කොවිඩ් සම්බන්ධ තොරතුරු සහ දත්ත පිළිබඳ විශ්ලේෂණය කරමින්. බොහෝ විට කොවිඩ් සම්බන්ධව ලැබෙන තොරතුරු සහ දත්ත මත තමයි අපි ගෙදර ඉඳගෙනත් අපේ ආරක්ෂාව පිළිබඳ තීන්දු ගන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා රටේ ආරක්ෂාවට, රටේ සෞඛ්‍ය සම්බන්ධ තීන්දු ගන්න, රටේ වැදගත් ආකාරයෙන් නිර්දේශ නිකුත් කරන්නත් මේ දත්ත ඉතා වැදගත් කියලා. ඒ නිසා තමයි මේ තරම් විශාල ව්‍යසනයක් අස්සෙත් ඒවායේ දත්ත එකතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ දත්ත එකතු කිරිල්ල ලේසි පහසු වැඩක් නෙවෙයි කියලා අපට තේරෙනවා. සාමාන්‍යයෙන් රජයෙන් පත්වෙච්ච නිලධාරීන් විදියට සෞඛ්‍ය සම්බන්ධව ගණන් හිලව් හැදීමට ඉන්නේ ඉතා සුළු නිලධාරීන් පිරිසක් පමණයි. ඒ තමයි පී.එච්.අයි. මහත්තුරු.
ලියුම්කරු දන්න විදියට මේ වෙනකොට පී.එච්.අයි. මහත්තුරු විශාල පිරිසක් රෝගී වෙලා අවසන්. මිනිස්සු තමන්ට කොවිඩ් වැලඳිලාද කියලා කියන එක සම්බන්ධයෙන් හොයන්න විවිධ තැන් පාවිච්චි කරනවා. විවිධ පෞද්ගලික රෝහල්වලට ගිහින් පී.සී.ආර්. හෝ ඇන්ටිජන් කරගන්නවා. විශේෂයෙන්ම ගම්වල ඇන්ටිජන්, පී.සී.ආර්. කරගන්න බැරිව ගියාම මිනිස්සු කොළඹ යනවා. කොළඹ ගිහින් ඒ පරීක්ෂණ කරගන්නවා. සමහර වෙලාවට එකම පුද්ගලයා ඇන්ටිජන් එකකුත්, පී.සී.ආර්. එකකුත් කියන දෙකම කරගන්නවා. මේ විදියට විවිධ විවිධ ක්‍රමවලින් තමන්ට කොවිඩ් වැලඳිලාද කියලා හොයාගන්න මිනිස්සු, ඒ බව කාටවත් වාර්තා කරනවාට වඩා වැදගත් වෙන්නේ තමන්ගෙ ආරක්ෂාවට බේත් ටිකක් අරගන්න එක. නැත්නම් රෝහල්ගත වෙන එක. බොහෝ විට හුස්මගන්න අපහසුතාව නිසා රෝහල්ගත කරලා තමන්ට කොවිඩ් වැලඳිලාද කියලා හොයාගන්න අය අතර, තවත් සමහර පුද්ගලයෝ කිසිවෙකුට නොදන්වාම පී.සී.ආර්. පරීක්ෂා නොකරම නිවෙසේදීම මියයනවා.
මේ විදියට නිවෙසේදීම මියගිය සමහර අයගේ මෘත ශරීර රෝහල්වලට අරන් ගහින් නැවත පී.සී.ආර්. කරලා නැත්නම් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කරලා, ඔහුට කොවිඩ්ද නැද්ද කියන එක සම්බන්ධයෙන් හොයාගන්නවා. මෙහෙම හොයාගන්න සියලු දත්ත තොරතුරු එකට එකතු කරලා එක තැනක දත්ත ලිපි ගොනුවලට යවන්න තරම් අපේ රටේ ඒ සඳහා නියමිත සෞඛ්‍ය අංශවලට වැඩ රාජකාරි නෑ කියලා අපි හිතන්නෙ නෑ. ඒත්, එහෙම වැඩ රාජකාරි දහස් ගානක් අස්සේ කොහොම හරි සෞඛ්‍ය අංශ අවශ්‍ය කරන විදියට දත්ත එක තැනකට එකතු කළා. මේ දත්ත එකතු කිරීමත් එක්ක විවිධ කතා, විවිධ චෝදනා පහුගිය කාල වකවානුව ඇතුළත අපට නිතරම අහන්න ලැබුණා.
එහෙම අහන්න ලැබුණු එක තොරතුරක් තමයි ‘දත්ත නිවැරැදි නෑ’ කියන එක. ඒ දත්ත නිවැරැදි නෑ කියන එක මුලින්ම එක්තරා තැනකදී පාදෙණිය මහත්තයා ප්‍රසිද්ධියෙම එල්ල කරපු චෝදනාවකිනුත් අපට එළියට ආවා. ඒ කියන්නේ මරණ සම්බන්ධ සමහර වාර්තා වැරැදියි කියන එක. ඒ ගැන ජනාධිපතිතුමා පවා කතා කරලා තිබුණා. ඒ, පළමු වතාවට මරණ 101ක් වාර්තා වූ අවස්ථාවක. ජනාධිපතිතුමන් සඳහන් කරන විදියට ඒ සමහර මරණ දෙවතාවක් සංඛ්‍යාලේඛනගත වීම, ඒ වගේම සමහර මරණ සම්බන්ධව දිගු කාලයකට පස්සේ වාර්තා නිකුත් වීම වගේ ප්‍රශ්න ඇතිවෙලා තිබුණා. එතකොට ඒ තැනදිත් අපට දත්ත සම්බන්ධ ප්‍රශ්නයක් ඇතිවෙනවා.
ඒ වගේම මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යන් මහත්තයා කියලා තිබුණා මඩකළපුව, ත්‍රිකුණාමලය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලවල තියෙන දත්තවලට වඩා රජය නිකුත් කරන දත්තවල විශාල පරස්පරතාවක් තියෙනවාය කියලා. මේ පරස්පරතාවම ගම්පහදිත්, කළුතරදිත් දකින්නට ලැබුණු බව පසුගිය කාලෙ වාර්තා වුණා. මේ විශාල වෙනස්වීමත් එක්ක හිටි ගමන් දත්තවලට එකතු නොවුණු අය, යළි දත්තවලට එකතු කරනවාය කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙනුත් සමහර අවස්ථාවල ප්‍රකාශ කළා. ඒ අනුව දිනපතා එකතු වෙන රෝගීන්ට අමතරව විවිධ දත්ත මගින් විවිධ ආකාරයෙන් රෝගීන් එකතු වීමකුත් සිද්ධ වෙලා තිබුණා.
මේ විදියට දත්ත විශ්ලේෂණය කරමින් සෞඛ්‍ය අංශවලට අවශ්‍ය කරන තීන්දු තීරණ ගැනීමට සියලු දත්ත ගබඩා කරන ස්ථානයක් තියෙනවා. මේ ස්ථානය ගොඩනැගිල්ලක්, කාමරයක් නොවෙන බව අපි දන්නවා. මොකද අද වෙනකොට ලෝකය ඉතා දියුණු වෙලයි තියෙන්නේ. ඒ නිසා මේවා පරිගණකගත කරලා සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව දැන් රටට ඇතිවෙලා තියෙන බව මේ සෞඛ්‍ය අංශවලට අපි අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. ලෝකය ඉතා දියුණු යුගයක මේ දත්ත අනුව තමයි තව මාස හයකට, හතකට නැත්නම් අවුරුද්දකට, දෙකකට, තුනකට රටේ ඉදිරිය ගැන විශ්ලේෂණය කරගන්න සිද්ධ වෙන්නේ. කොවිඩ් වැඩිපුර පැතිරෙන ස්ථාන මොනවද, කොවිඩ්වලට ආරක්ෂිත පියවර ගතයුතු ස්ථාන කොහෙද, කොවිඩ් සම්බන්ධව වැඩිපුර ආරක්ෂාව තරකළ යුතු රෝහල් මොනවද, ඔක්සිජන් සැපයුම වැඩි වෙන්න ඕනෙ කොහෙටද, අයි.සී.යූ. ඇඳන් වැඩිපුර අවශ්‍ය කොහෙටද කියන කරුණු සම්බන්ධව සියලු තීන්දු තීරණ ගැනීම කළ යුත්තේ මේ දත්ත විශ්ලේෂණය කිරීමෙන්.
නමුත් අවාසනාවකට මේ වෙනකොට මේ දත්ත මැකිලාය කියලා අපට අහන්න ලැබෙනවා. මේ විදියට මැකුනාය කියලා කියන්නේ මොන ජාතියෙ දත්තද කියන්න අපි දන්නෙ නෑ. මේ විදියට දත්ත මැකෙන එක ලංකාවෙ දැන් විලාසිතාවක් බවට පත්වෙලා කියලයි අපට හිතෙන්නේ. මේ විදියටම පර්ල් නැව ගිනිගත්ත අවස්ථවේදි ඒ නැවේ ඉඳන් මෙහෙට එවපු ඊමේල් එකත් කොහොම හරි මැකිලා ගිහින් තිබුණා. මේ වගේම සමහර දුරකතන ඇමතුම්, ඒ වගේම සී.සී.ටී.වී. දර්ශන හදිසියේ මැකීගිය අවස්ථා අපට නිතරම වාර්තා වෙමින් තිබෙනවා. මේ විදියට දත්ත ආරක්ෂා කරගැනීමට නොහැකි රාජ්‍යයක ආරක්ෂාව පිළිබඳ දැඩි ප්‍රශ්නයක් පවතින බවයි අපට නම් හිතෙන්නේ. මොකද ඉස්සර ආරක්ෂාව තර කරන්න අපට මුහුද වටේට කාලතුවක්කු අටවන්න පුළුවන් වුණාට, අද වෙද්දී ආරක්ෂාව වැඩිපුර තර කරන්න ඕනෙ අපේ දත්තවලට.
ඩේටා බේස් එකක් ආරක්ෂා කරගන්න බැරි නම්, ඒ රජය හෝ කණ්ඩායම සිද්ධ කරන්නේ රටට ජාතියට විශාල පාඩුවක් කියලයි අපට හිතෙන්නේ. මේ විදියට දත්ත හොරකම් කරනවා නම්, දත්ත මකනවා නම්, දත්ත වෙනස් කරනවා නම් ඒ පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් නීති නැත්නම් අලුතෙන් නීති හදන්න ඕනෙ කියලා අපි 21 වැනි සියවසේ මිනිස්සු විදියට යෝජනා කරනවා. මොකද දත්ත හොරකම් කිරීම, දත්ත වෙනත් පිටස්තර පාර්ශ්වයකට ලබාදීම, දත්ත හරහා අයථා කටයුතු සිදුකිරීම නිසා ෆේස්බුක් ආයතනයට පවා එක වතාවක ඩොලර් මිලියන ගානක් ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසා දත්ත කියන්නේ ඉතා වටිනා දෙයක්. ඒ වගේම සෞඛ්‍ය අංශවල දත්ත කියන්නේ දැඩි ශ්‍රමයක්, මහන්සියක්. ඒ නිසා දත්ත පරිස්සම් කරගන්න බැරි නම් මේ ගතවෙන්නේ නරක කාලයක් කියලා අපට හිතාගන්න සිද්ධ වෙනවා.
ජීවන පහන් තිළිණ









