ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියන් බැහැ දුටුවේය.
උන්වහන්සේ වැඩ වෙසෙන රාජගිරිය, කලපළුවාව, තපෝවන භාවන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා අභිනව මහා නායක හිමියන්ට සිය සුභාශිංසන පුද කළේය.
ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් අමරපුර මහා නිකායෙන් සිදුවන උදාරතර මෙහෙවර අගය කරන බවත් එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත් පූර්ණ සහාය ලබාදෙන බව පැවසූ ජනාධිපතිතුමා මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ අතර ම විශේෂ සටහනක් තබමින් සමරු සටහන් පොතේ අත්සන් තැබීය.
එහිදී ධාතු මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරත ජනාධිපතිතුමාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ.
ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියහ.











