මහජන මුදලේ මුර දේවතාවා යනුවෙන් හඳුන්වනු ලබන විගණකාධිපතිවරයා යටතේ පවත්නා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වූ ලලිත් අඹන්වල මහතා පසුගිය බ්‍රහස්පතින්දා (13) අප අතරින් සදහටම වෙන් වුවේය.
අඹන්වල යන නිලධාරියා මේ රටේ මහජනතාව දේවත්වයෙන පුදනු ලැබිය යුත්තෙකි. ඒ, රටේ මහජන දේපොළ ආරක්ෂා කිරීමට ගොස් ඇසිඩ් පහරකා සදාකාලික ආබාධිතයකු (දැැසේ පෙනීම අහිමි) වූ නිසාය.
කුඩ්ඩෙක්, මිනීමරුවෙක්, සමාජ දූෂකයකු, ගණිකාවක මියගිය කල්හි අපේ රටේ මාධ්‍ය ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ සමාජ මාධ්‍ය සති ගණන් මාස ගණන් මදි නොකියන්නට ලියන්නේය. කියන්නේය. එහෙත් මහජනතාව වෙනුවෙන් සිය ජීවිතයම කැපකළ මේ මනුස්සයා වෙනුවෙන් එක වචනයක් ලියවේ දැයි යන්න මෙන්ම කියැවේ දැය් යන්න ගැනද අප සතියක්ම බලා සිටියෙමු. එහෙත් ඒ ගැන කිසිදු හාන්කවිසියක් හෝ නොවිණි.
මේ අපේ මාධ්‍ය කලාවය.
පසුගිය මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක ඇතුළු පාසල් උපකරණ සපයාගැනීම සම්බන්ධව විගණන පරීක්ෂණය පවත්වන විට කුපිත වූ දූෂිත පාපතර නිලධාරීන්ගේ සැලසුමකට අනුව විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතා ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරු විය.
එයින් ආබාධිතයකු වුවත් ඔහු එමගින් රාජකාරිය සඳහා යෝධ බල යෝධ ශක්තිය ලැබුවේය. මහා දැවැන්තයන් වංචනිකව තම සන්තකයට ගනු ලැබ ගෘහස්ථව අනවසරෙන් රඳවාගෙන සිටි අලි ඇතුන් පිළිබඳ මහජනයා දැනුවත්කිරීමාදී මුළු රටම උඩු යටිකුරු කළ විගණන පරීක්ෂණ ගණනාවක් පැවැත්වූවේ අඹන්වලය.
දැනගන්නට ලැබුණු අන්දමට රුපියල් කෝටියක් සාක්කුවේ දමාගෙන මහනුවර අධ්‍යාපන අමාත්‍යාංශයේ පරිගණක පරීක්ෂණය අකාමකා දමන්නට තිබූ අවස්ථාව තුච්ච ලෙස සලකා රාජකාරිය අකුරටම ඉටුකර රාජ්‍ය සේවකයන්ට අභිමානයක් සහ මාර්ගෝපදේශකයකු වූවන් අතරින් ලලිත් අඹන්වල නමැති යුග පුරුෂයා මහා යෝධයෙකි.
මේ ලිපිය ලලිත් අඹන්වල මහතා වෙනුවෙන් “මව්රට” පුදන මහජන උපහාරයයි.
දිනය හරියටම අදට (2021.05.13) වසර දහඅටයි, මාස එකොළහයි, දින විසිහතරකට පෙර 2002 මැයි 20 වැනිදාය.
මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ එවකට විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතා දවසේ මෙහෙවර නිමවා ලහි ලහියේ නිවස බලා සිය මොටෝ රථය පදවමින් සිටියේය. ඒ අවස්ථාව වන විට ඔහු මහනුවර අස්ගිරිය පොලිස් අභ්‍යාස විදා්යාලයීය ක්‍රීඩා පිට්ටනිය මැද හරියට ආවා පමණි. වේගයෙන් අවුත් ඔහු පසු කළ ත්‍රීරෝද රථයක් ඔහුගේ මාර්ගය අවුරා නැවතිණි. ඉන් බැසගත් මැරයන්ගෙන් එකෙක් ලලිත් අඹන්වල මහතාගේ මුහුණට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කෙළේය.
ප්‍රහාරයෙන් හෙතෙම ජීවිතය බේරාගැනීමට මරුවා සමග සටන් කෙළේය. අන්තිමේදී ඔහු ප්‍රාණය බේරා ගත්තද දෙනෙතේ පෙනීම අහිමි විය.
රටට හිතැති දූෂණයට වංචාවට අකැමැති සංවේදී මිනිසුන් සියලු දෙනා කම්පා කරමින් ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ප්‍රහාරය එල්ල වූයේ මහජනතාවට අයිති දේපොළ ආරක්ෂා කරදීමට සිය රාජකාරිය නිවැරැදිව කිරීම නිසාය. අල්ලසට යටත් නොවූ නිසාය. මුදලට හෙට්ටු කර විකිණෙන වෙළෙඳ භාණ්ඩයක් නොවූ නිසාය.
රාජ්‍ය සේවය අපේ රටේ ක්‍රියාත්මක වනතාක් කාලයක් රාජ්‍ය සේවකයන්ට මහා පහන්ටැඹක් වූ ලලිත් අඹන්වල නමැති යුග පුරුෂයාගේ රාජකාරියේ හැම තප්පරයක්ම ඩාබිඳුවක්ම කැපවූයේ මේ රටේ දාඩිය හෙළන සුවාසූදහසක් මනුෂ්‍යයන්ගේ සහ ඔවුන්ගේ දුවාදරුවන්ගේ දේපොළ (රාජ්‍ය සම්පත්) ආරක්ෂා කරදීමටය. ගෙරි කුණක බඩවැල් අතුණු බහන් ඇද ඇද ගිලින කැණහිළුන් මෙන් මහජන දේපොළ සූරා කන, ගසාකන දූෂිතයන්ට වංචනිකයන්ට අඹන්වලගේ මේ රාජකාරිය යකුන්ට දුම්මල ගැසූ කලෙක මෙන් විය.
අල්ලසට, මුදලට වෙන යම් පිදේනියකට කිට්ටුවකට හෝ ළංකර ගත නොහැකි මේ මිනිහා නැත්තටම නැති කරන්නට මේ පාහරයන් සැලසුම් කළේ ඒ නිසාය. ඇසිඩ් ප්‍රහාරය එල්ල වූ සමයේ ලලිත් අඹන්වල මහතා මධ්‍යම පළාත් සභාවේ අධ්‍යපන අමාත්‍යාංශයේ ගුරු පුහුණු සැසි පැවැත්වීම සහ පරිගණක ඇතුළු පාසල් උපකරණ මිලදීගැනීම සම්බන්ධයෙන් විගණනයක් පවත්වමින් සිටියේය. ගුරු පුහුණු සැසි පැවැත් වූ බවට සහ පරිගණක ඇතුළු පාසල් උපකරණ සපයාගෙන පාසල් අතර බෙදාහැරිය බවට ව්‍යාජ බිල්පත් වාර්තා, සටහන් තොරතුරු ඉදිරිපත් කරමින් අධ්‍යාපනයේ ලොකු ලොක්කන් කාලයක් තිස්සේ මහජන මුදල් කෝටි ගණන් ගසාකා ඇති බව එම විගණන පරීක්ෂණයෙන් අනාවරණය වන්නට පටන් ගත්තේය.
“හුඟ දෙනෙක් ආපු ගමන් ඔහොම තමයි. සෝඩා බෝතලේ කැඩුව වාගෙ වැඩ පෙන්වනවා. ගානක් හොයා ගන්ඩ, කීයක් හරි අතමිට මොළවපුවම ඔක්කොම නවතිනවා, එච්චරයි, අපි එහෙම කරමු” ප්ලෑන් යුවර් වර්ක් ඇන්ඩ් වර්ක් යුවර් ප්ලෑන් PLAN YOUR WORK AND WORK YOUR PLAN කියන්නෙ ඕකටයි” වචංචනිකයෝ එසේ ප්ලෑන් එක ගැසූහ.
එහෙත් ප්ලෑන හරිගියේ නැත.
“ගාන මදි හින්දද කොහෙද? අපි ගාණ වැඩිකරමු එතකොට හරි”
සැලසුම හරි නොගිය තැන ඉහළ ළංසුවක් පිරිනැමීමට කීපදෙනෙක් කතා වූහ.
“මේ රටේ දරුවන්ට ඉගන ගන්න තිබුණු සල්ලි කොල්ලකාපු එක යටගහන්ඩ මම අල්ලස් ගන්නවා නං ඊට වැඩිය පාරෙ හිඟාකන එක මට නම්බුවක් කියල තමුසෙ ගිහින් ඒ අයට කියනවා”
රුපියල් කෝටියක් දෙන්නට සූදානම් වූ විට අඹන්වලගෙන් ප්‍රතිචාර ලැබුණේ ඔන්න ඔය අන්දමටය.
මේ මනුස්සයා මුදලට නම්මාගත නොහැකි බව අවබෝධ කරගත් වංචනිකයෝ ඉන් පසු ඔහුට මරණ තර්ජන එල්ල කරන්නට පටන් ගත්හ. ඔහුගේ කාර්යාලයේ නිවෙසේ දුරකතනවලට දිවා රාත්‍රි අස්වැසිල්ලක් නොවිණි. ඒ සමයේ විගණකාධිපතිවරයා වූයේ සරත් මායාදුන්නේ මහතාය. ලලිත් අඹන්වල මහතා ආරක්ෂා කිරීමට මායාදුන්නේ මහතා තමන්ට ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගත්බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේය. තත්ත්වය මෙසේ වෙද්දී ලලිත් අඹන්වල මහතා රිය අනතුරකින් මියගිය බව අඟවන්නට වාහනයකට යට කරන්නට ගත් උත්සාහයද අසාර්තක වුවත් ඒ වාහනය ගොඩනැගිල්ලක් කඩා බිඳ දැම්මේය. වංචනිකයන් සැනසුම් සුසුම් හෙළුවේ 2002 මැයි 20 වැනිදා ලලිත් අඹන්වල මහත්තයාට ඇසිඩ් ගැසීමෙන් පසුවය. දූෂණයට, වංචාවට, අයුක්තියට, අසාරණයට එරෙහි සාධු සම්මත සමස්ත මහජනතාව කම්පිතව ළෙහි අත්ගසා ගත් අවස්ථාවේ, අවස්ථාවාදී දේශපාලඥයෝ ඇඳිවත අංශක විසිතුනහමාරකුත් ටිකක් ඉහළට ඔසවා ගනිමින් ලලිත් අඹන්වලට යුක්තිය සාධාරණය ඉටුකර දෙන බවට කෑ මොර දුන්හ.
එහෙත් ටික දිනක් ගතවෙත්ම පොරොන්දු කුණු කූඩයට ගියේය.
සිද්ධියට සම්බන්ධ සැකකාර නිලධාරීහු යළි රාජකාරියට ගියෝය. දෙනෙත් අහිමි වූ ලලිත් අඹන්වල රෝහලේ ගිලන් ඇඳේ දැපුවේය. අවාසනාවන්ත මේ සිද්ධියේ ඉතාම තුච්ච කොටසක්ද තිබේ. ඒ, අඹන්වල මහතාට වන්දි මුදලක් නොගෙවා සිටීමට කිසියම් පිරිසක් ගත් නින්දිත උත්සාහයයි. අඹන්වල මහතා ඇසිඩ් පහර කෑවේ ඒ මහතා තම පෞද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට හෝ පෞද්ගලික අරමුණක් ඉටු කරගන්නට හෝ යාමෙන් නොවේ. මේ රටේ පොදු මහජනතාවගේ දේපොළ ආරක්ෂා කිරීමට යාමෙනි. එසේ නම් අපි ඔහු ආරක්ෂා කළ යුත්තෝ වෙමු.
එහෙත් ලලිත් අඹන්වල මහතාට කළ වෛද්‍ය ප්‍රතිකාරවලට දැරූ වියදම වන්දියට හිලව් කිරීමට ගත් පාහර උත්සාහය නිසා වන්දි ගෙවීම වසර පහ හයක්ම ප්‍රමාද වූවේය. වන්දිය ගෙවීමට අදාළ රාජකාරි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හැර අනිත් සියලු ආයතනවලදී මාස අවුරුදු ගණන් පුමාද වූවේය. වැඩි කාලයක් ජනාධිපති ලේකම් කාර්යාලයේය. ලලිත් අඹන්වල මහතාගේ වන්දිය ඉල්ලා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට අන්තිමේදී උද්ඝෝෂණ කරන්නට පවා සිදුවිය.
අයුක්තියට, අසාධාරණයට, දූෂණයට, වංචාවට අසරණවූවන්ට කොයි කවරදාත් සාධාරණය ඉෂ්ට කිරීමට එන මාධ්‍ය සහ මාධ්‍යවේදියෝ එදා සිටම මේ ලලිත් අඹන්වල මහතා සමග අත්වැල් බැඳ කටයුතු කළ බැවින් ඔහුට වන්දිය ලබාදීම උදෙසා ද අනූපමේය මෙහෙයක් ඉටුකළහ.
වන්දිය ප්‍රමාද කෙරෙන ස්ථාන සොය සොයා දිගට හරහට ලියා මහජනතාව දැනුවත්කළහ. අනතුර සිදූවී වසර ගණනාවකට පසුව අන්තිමේ දී ඔහුට වන්දිය හිමි විය. මහජන දේපොළ ආරක්ෂා කරන මුර දේවතාවා විගණකාධිපතිවරයා බව විගණනයේදී ඉගැන් වේ.
රට කරවන්නන්ට අවශ්‍ය මුදල් උපයා දෙන්නේ මහජනතාවය. තමන් උපයා දෙන මුදලේ අන්තිම සතය දක්වා කෙරෙන්නේ කුමක් දැයි යන්න දැනගැනීමේ අයිතිය මහජනතාව සතුය. වැය කළ සෑම සතයක්ම නිවැරැදිව වැය කෙළේ දැයි යන්න සොයාබැලීමට සෑම සියලු කෙනකුටම නොහැකිය. ඒ සඳහා සුදුස්සකු පත් කරනු ලබන්නේය. එසේ පත්කරනු ලැබෙන්නේ විගණකාධිපතිවරයායි.
රට කරවන්නේද මහජනතාවයි. සෑම කෙනකුටම රට කරන්නට රට කරවන තැනට (පාර්ලිමේන්තුවට) යා නොහැකිය. එබැවින් ඒ සඳහා එතැනට (පාර්ලිමේන්තුවට) මහජනයා විසින් සිය නියෝජිතයන් පත්කර යවනු ලැබේ.
විගණකාධිපතිවරයාගේ රාජකාරිය මහජන දේපොළ පිළිබඳ තමා සොයාගත් නිරීක්ෂණ වාර්තාව මහජනතාව සඳහා මහජනතාව වෙනුවෙන් මහජනතාව විසින්ම පත්කරනු ලෑබූ මහජන නියෝජිතයනට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කිරීමය. ඒ කාර්යභාරය ඉටුකිරීමේදී විගණකාධිපතිවරයාටත් එතුමාගේ කාර්ය මණ්ඩලයටත් මුහුණපෑමට සිදුවී ඇත්තේ ජීවිතයත් මරණයත් අතර ගැටලුවලටය.
ලලිත් අඹන්වල නමැති යුග පුරුෂයා තම පෞද්ගලික ජීවිතය කැපකර ඉටු කළේ අන්න ඒ වගකීමයි. මහජනයා නොදන්නේද ඔන්න ඔය ටිකමය. ඔහුගේ රාජකාරි කාලය තුළ මරණය හිසමත දරාගෙන පසුගිය සමයේ අනාවරණය කළ අක්‍රමිකතා ගැන මහජනතාව දැනුවත් විය යුතු යයි සිතමු.
රටම උඩු යටිකුරු කළ එම විගණන අනාවරණවලදී (විගණන පරීක්ෂණ) වර්තමාන විගණකාධිපති චූලා වික්‍රමරත්න, ඊට පෙර සිටි සමරවීර, එච්.එම්.ගාමිණී විජේසිංහ යන මහත්වරුන්ගෙන් ලද මග පෙන්වීම සහ උපදෙස් නිසා කාර්යභාරය නොපිරිහෙළා ඉටුකරන්නට ලලිත් අඹන්වල මහතාට හැකි වූ බවද සඳහන් කළ යුතුය.
වන අලි විසි දෙදෙනකු නීතියට පටහැනිව ගෘහස්තව රඳවාගෙන සිටීම එකකි. රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයකු යන්ත්‍ර සූත්‍ර මිලටගැනීමේ මුවාවෙන් කෝටි හයක් ගසා කෑම, fදාම්පේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ව්‍යාපෘතියේ කෝටි හතරක අක්රමිකතාව, මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් පොළොන්නරු පූජා නගරයේ මාර්ග අලුත්වැඩියාවේ කෝටි පහක ගැහිල්ල, ඇඹිලිපිටිය සහ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවල කෝටි හතළිහක අක්රමිකතාව, මහාභාරකාර අරමුදලේ කෝටි පහකට ආසන්න වැඩිපුර ගෙවීම්, උතුරුමැද පළාතේ දේශ පාලනඥයකුගේද සම්බන්ධතාවකින් සිදුවූ බව කියන කෝටි හැත්තෑවකට ආසන්න පොහොර වංචාව, රුපියල් කෝටි දෙකහමාරක මාසික කුලියට රුපියල් කෝටි පනස් අටකට කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොඩනැගිල්ලක් සපයා ගැනීම, කැරම් බෝඩ් සහ දාම් බෝඩ් දාහතර දහසක් පාසල් අතර බෙදාදීමේ මුවාවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් ක්‍රීඩා අමාත්‍යාංශයේ කෙරුණු කෝටි පහක වංචාව ආදිය අනාවරණ කෙරුණේ ලලිත් අඹන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරුණු විගණන පරීක්ෂණවලිනි.
1957 දෙසැම්බර් 23 දා උපන් ලලිත් අඹන්වල මහතා, ගුන්නෑපාන නරේන්ද්‍රසිංහ කනිෂ්ඨ මාතලේ ශාන්ත තෝමස් සහ වළල මධ්‍යමහා විද්‍යාල යන විදා්යාලවලින් අධ්‍යාපනය ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදා්යාලයෙන් වාණිජවේදී විශේෂ උපාධිය ලබා ගත්තේය.
දීපව්‍යාප්ත තරග විභාගයකින් සමත්ව 1986 පෙබරවාරි 05 වැනිදා විගණන අධිකාරිවරයකු වශයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැඳාුණු ලලිත් අඹන්වල මහතා 1994දී රාජ්‍ය විගණනය පිළිබඳ එක්සත් රාජධානියේදී සහ වරලත් ගණකාධිකරි ආයතනයෙන්ද පශ්චාත් උපාධි ලැබුවේය. 2002 මැයි 22දා ඇසිඩ් ප්‍රහාරයෙන් පසුව ඔහු යළි රාජකාරියට පැමිණියේ 2009 වර්ෂයේදීය. 2002 මැයි 20දා සිට ලලිත් අඹන්වල මහතා සහකාර විගණකාධිපති ධුරයට උසස් කරනු ලැබිණි. වසර 31ක රාජකාරියෙන් පසු ලලිත් අඹන්වල මහතා විශ්‍රාම ගනු ලැබුවේ නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වශයෙන් බවද සහන් කළ යුතුය.
අඹන්වල රාජ්‍ය සේවයේ වීරයන් අතර වීරයකු වුවත් ඔහුට හිමි ගෞරවය හිමිවූයේ නැත. ඔහු ඇගැයීමට පාත්‍ර නොවූ වීරයෙකි.
සිත් වේදනාවෙන් වුවද කිවයතු තවත් කරුණක්ද තිබේ. සිය ජීවිතය මහජනයා වෙන්වෙන් (ාජ්‍ය සේවය වෙනුවෙන්) බිලි දුන් මේ නිලධාරියාට උසස්වීමක් දීමට දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකරණය උත්සාහ ගත්තද ඊට එරෙහි වූවෝ අඹන්වලගේ ශ්‍රේණියේම සිටි නිලධාරි පිරිසය. ඒ නිසා ඒ උසස්වීමට විශේෂ අනුමැතියක්ද ගැනීමට සිදුවූවේය යන්න ඒ පුවතයි.
මේ සමාජයේ වීරයන් මියයන්නේ වංචනිකයකගේ කුඩුකාරයකුගේ පිහි පහරකින් වෙඩි පහරකින් මිස ලොක්කන් බක්කන් මෙන් මහජනතාවගෙන් එල්ලවන සෙරෙප්පු ප්‍රහාර ලබමින් නොවේ.
මේ රටේ මහජනයා වෙනුවෙන් යමක් කිරීමට දෛවය විසින් යමක් නියම කරනු ලැබ තිබිණි. ඔහු ආවේය. ඒ දේ කළේය. ඔහු ගියේය. ඒ අඹන්වලය.
හිතවත් ලලිත් අඹන්වල නායකයාණෙනි, සහාදයාණෙනි, ඔබ ඇසිඩ් ප්‍රහාරයට 2002 මැයි 20 වැනි ගොදුරුවී හරියටම වසර දහනමයක් පිරීමට සතියක් තිබියදී (2021.05.13) අපඅතරින් සදහටම වෙන්ව ගියේද කිසිවකුට නොදන්වා මෙලාවට පැමිණි පරිද්දෙන්ම රහසිගතවය.
අජර වූත් අමර වූත් අජරාමර වූත් නිර්වාණ සම්පත්තිය ඔබ කිසියම් දිනෙක සාක්ෂාත් කරගන්නා දිනය දක්වාම අප අතරම ඉපිදේවායි අපි පතමු.
චන්ද්‍රසේන මාරසිංහ










