කොවිඩ් වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමග ආසාදිතයින් වාර්තා වීම වැඩිවීම හේතුවෙන් රාගම රෝහලේ කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන ඒකකය රෝගීන්ගෙන් පිරි ගොස් තිබෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඩේලි මිරර් වෙබ් අඩවිය විසින් පළකර ඇත.
එම වීඩියෝව අනුව ආසාදිත රෝගීන්ට ප්‍රමාණවත් ඇදන් නොමැතිවීම හේතුවෙන් ඔවුන් රෝහලේ වාට්ටුව තුල මෙන්ම ඉන් පිටතත් බිම නිදාගෙන සිටින අයුරු දිස්වේ.
මෙම වීඩියෝව කුමන කාලයේදී ගත් එකක් ද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමක් සිදුකර නොමැති බවත්, එහි දැක්වෙන්නේ රාගම රෝහලද යන්න සම්බන්ධයෙන් මෙතෙක් පැහැදිලිවම ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බව මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළේය.
කෙසේ වුවත් පවතින තත්ත්වය හමුවේ මහජනතාව සෞඛ්‍ය රීති දැඩිව අනුගමනය කළ යුතු බවයි සෞඛ්‍ය අංශ බලධාරීන් පෙන්වා දෙයි.
මෙම වීඩියෝව ඩේලිමිරර් වෙබ් අඩවිය පළ කොට තිබුණේ මෙසේය.
The current situation of the Ragama Hospital#SLnews #SriLanka #Covid19 pic.twitter.com/d2MxGKvEv0
— DailyMirror (@Dailymirror_SL) August 4, 2021










