2009 වසරේදී යුද්ධය ඉවර කරද්දී කොළඹ නගරය තිබුණේ තවත් යුද පිටියක් වගේය. කොළඹ හැම තැනම මීටර් සීයෙන් සීයට මාර්ග බාධක ඉදිකර තිබිණි. ඒ හැම තැනකම වැලි කොට්ට දැමූ බංකර් ඉදිකර තිබිණ. ඒවායෙහි අවි ආයුධ ගත් සෙබළු පැය 24 පුරාම රාජකාරියේ නිරතව සිටියහ. අඩියෙන් අඩියට පොලිස් මුරපොළ දමා තිබිණ. ඒ විතරක් නොව කොටි කොළඹ ආර්ථික මර්මස්ථානවලට පහරදී විනාශ කර දමා තිබිණ. කොටින්ගේ කුරුම්බැට්ටි මැෂින් ලෙස හැඳින්වූ සැහැල්ලු යානාවලින් පැමිණ ගුවනින් බෝම්බ හෙලා ආර්ථික මර්මස්ථාන කුඩුකර දමා තිබිණ.
ඒ විතරක් නොව අඩියෙන් අඩිය කුණු කඳු ගොඩගැසී තිබිණ. මිනිස්සු කොළඹ පාරවල්වල ඇවිදගෙන ගියේ නහය වහගෙනය. බේරෙ වැවේ වතුර කුණු වී ගඳ ගසමින් තිබිණ. ඇළ පාරවල් ජරාජීර්ණ වී තිබිණ. පැය භාගයක වැස්සට මුළු කොළඹම යටවෙමින් තිබිණ. කොළඹ නගරයම කොන්ක්‍රීට්වලින් වැසී බෙහෙතකටවත් ගහක් හොයාගන්න බැරි තත්ත්වයක් මතුවී තිබිණ. ඒ කාලේ සුද්දන් කොළඹ හැඳින්වූයේ ලෝකයේ අවලස්සනම නගරය කියලාය.
යුද්ධය ඉවර කරලා යුද ජයග්‍රහණයට නායකත්වය දුන් එවක ආරක්ෂක ලේකම් ගෝඨා කොළඹ සුද්ද කරන්න අතගහන්න හිතුවේ මෙවැනි වාතාවරණයක් මැද්දේය.
ඒ සියල්ල අතරවාරයේ එකල තවත් ප්‍රශ්නයකට ගෝඨා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන්ට මුහුණදීමට සිදුව තිබිණ. එය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු වූ ප්‍රශ්නයක් විය. එනම් යුද්ධයක් ජයග්‍රහණය කිරීමෙන් පසුව හමුදාව නඩත්තු කිරීමේ ප්‍රශ්නයය. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස ගෝඨා දැක්කේ කොළඹ ලස්සන කරන වැඩේට හමුදාව යොදාගැනීමය. ගෝඨා මහින්දගෙන් නාගරික සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටියේ මේ සැලැස්ම ඔළුවේ තියාගෙනය.
2010 ජනාධිපතිවරණයෙන් සහ මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්දත් ගෝඨාට නාගරික සංවර්ධන අධිකාරිය භාරදුන්නේ යුද්ධය නිමා කරපු හමුදාවත් යොදාගෙන කොළඹ හදන වැඩේ ගෝඨා කරනු ඇති බවට විශ්වාස තියාගෙනය.
එතැන් සිට ගෝඨා කොළඹ ලස්සන කරන වැඩේට අත තිබ්බේය. කොළඹ පෞරාණික මර්මස්ථාන විනාශ නොකොට ඒවායේ පෞරාණික බව ආරක්ෂා කරගෙන කොළඹ ලස්සන කරන වැඩේ ගෝඨා පටන් ගත්තේය. පාරවල් අලුතින් හැදුවේය. ඇහැට බිම වැටුණු කොළයක් දකින්න නැතිවෙන තරමට කොළඹ කුණු සියල්ල ඉවත් කළේය. මගීන්ට ඇවිද යෑමට පදික වේදිකා තැනුවේය. කොළඹ නගර මධ්‍යයේ හරිත උයනවල් නිර්මාණය කළේය. ඇවිදින මංතීරු හැදුවේය. වැව් සුද්ද කළේය. ඇළ වේලි ප්‍රතිසංස්කරණය කළේය. ගෝඨා කරපු මේ වැඩේ නිසා ලංකාවේ මාධ්‍යවල පමණක් නොව මුළු ලෝකයේම මාධ්‍යවල ඇස ලස්සනින් බැබලුණු කොළඹට යොමුවුණේ ඒ නිසාය. ලෝකෙම කොන්ක්‍රීට් වන්නාතරවලින් වැසී යද්දී ගෝඨා කොළඹ ගස්වලින් වැසී යන තරමට වෙනස් කළේය.
ගෝඨාට මේ වැඩේ දවසින් දෙකින් කරන්නට හැකියාවක් ලැබුණේ නැත. 2010න් පටන්ගත් කොළඹ ලස්සන කරන වැඩේ ගෝඨා 2015 තෙක්ම පියවරෙන් පියවර ඉදිරියට රැගෙන ගියේය. අන්තිමේදී ආසියාවේ දිදුලනම සහ පිරිසුදුම නගර 10 අතරට කොළඹ රැගෙන ඒමට ගෝඨා සමත් විය. මුළු ලෝකයම කොළඹ ගැන කතා කරන්න පටන් ගත්තේ ගෝඨා ගහපු මේ ගේම නිසාය.
මේ වගේම ගෝඨා යුද්ධය අවසන් කරන්න භාරගත්තේත් 2005 වසරේදීය. යුද්ධය අවසාන කරන වැඩේද ගෝඨාට එක රැයින් කරන්න පුළුවන් වූයේ නැත. ඒකට අවුරුදු හතරක් ගියේය. මුලින්ම ගෝඨා ඒකට කළේ සැලැසුම් සකස් කරන එකය. නියම තැන්වලට නියම නිලධාරීන් පත්කළේය. යුද්ධ කරන්න පටන්ගනිද්දී භාණ්ඩාගාරය තිබුණේ බින්දුවටම හිඳිලාය. ඒ නිසා යුද්ධ කරන්න සල්ලි හොයන්න අවශ්‍ය විය. අවි ආයුධ මිලදී ගැනීමට අවශ්‍ය විය. මේ සියල්ල පියවරෙන් පියවර සාර්ථක කර ගනිමින් යුද්ධය අවසන් කරන්නට ගෝඨාට අවුරුදු හතරක් ගතවිය.
එදා යුද්ධය දිනපු, කොළඹ ලස්සන කරපු ගෝඨාභය අද රටේ ජනාධිපතිය. තවමත් ජනාධිපති පුටුවේ වාඩිවී ගෙවීගොස් ඇත්තේ මාස 14ක් පමණි. ඉන් මාස 2ක් පමණ කොරෝනා නිසා කිසිම දෙයක් කරගන්නට හැකිවූයේ නැත. දැනටමත් විපක්ෂය ගෝඨාභය ෆේල් යැයි කියමින් මඩගසන්නට පටන්ගෙන තිබේ.
“මාව ජනතාව පත්කර ගත්තේ මාස 60කට. තාම ගිහින් තියෙන්නෙ මාස 14ක් විතරයි. මාස 60 ඉවර වෙද්දි මේ රටේ ජනතාව තීන්දු කරයි මම සාර්ථකද, අසාර්ථකද කියල.”
ගෝඨා පසුගිය සතියේ පැවැති ‘ගම සමඟ පිළිසඳරක්’ වැඩසටහනේදී රටටම ඇහෙන්න කීවේ රට හදන ඒ සැලැස්ම ඔළුවේ තියාගෙන විය යුතුය.
මේකට හොඳ උදාහරණයක් තිබේ. ඒ ගල්කිස්ස මහ හෝටලය අසල නැතිවෙමින් ගිය වැලි තලාව යළි ගොඩනැංවීමට ගෝඨා ගත් ක්‍රියාමාර්ගයය. එහිදී ගෝඨා කළේ නාගරික සංවර්ධන අධිකාරිය ලවා ගල්කිස්ස වෙරළ තීරයේ අලුතින් වැලි පිරවීමය. පළමු දවස් දෙක තුනේ ඒ පුරවපු වැලි මුහුදට ගසාගෙන ගියේය.
“අන්න ගෝඨා වැලි පුරවන්න ගිහින් කෝටි ගාණක් සල්ලි කාබාසිනියා කළා”
මේ විපක්ෂය එදා ගල්කිස්ස වෙරළ තීරයට ගිහින් ෆොටෝ ගසමින් සමාජ මාධ්‍ය ජාලාවල පතුරවපු කතාය.
කොටින්ම කියනවා නම් ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදී පබ්ලිස් සිල්වා පවා එකල මේක මහා විනාශයක් බව කියා සිටියේය.
හැබැයි මාස කිහිපයක් ගියේය. අද ගල්කිස්සේ ලස්සන වෙරළක් නිර්මාණය වී ඇත.
“මම එදා කියපු දේ වැරැදියි. දැන් ගල්කිස්ස වෙරළ තීරයේ ලස්සනට වැලි පිරිලා අලුත් වෙරළක් නිර්මාණය වෙලා”
මේ පබ්ලිස් සිල්වා අද මාධ්‍යයට කියන කතාවය.
ගෝඨාගේ වැඩ එහෙමය.
ගෝඨා කරන්නේ ක්ෂණිකව ආප්ප දානවා වගේ වැඩ නොවේ. ඒවායේ ප්‍රතිඵල එන්න ටිකක් කල් යනවාය.
මොකද ගෝඨා එක රැයින් යුද්ධය ඉවර කළේ නැත. 2004 සිට 2009 දක්වා වසර 4ක් ගෝඨාට ඒ සඳහා අවශ්‍ය විය.
ඒ වගේම ගෝඨා එක රැයින් කොළඹ ලස්සන කළේද නැත. ඒකට ගෝඨාට 2010 සිට 2015 දක්වා වසර පහක් ගියේය.
දැන් ගෝඨා රට හදන්නට පටන් ගත්තේ 2019 දීය. ඒකට ගෝඨාට තව අවුරුදු පහක් තිබේ. ගෝඨා කවුද කියන එක රටටම දැකබලා ගැනීමට හැකිවනු ඇත්තේ ඒ අවුරුදු පහ ගියාට පසුවය.
විමලසිරි ජයලත්










