ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බවත්, කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි.
මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක් බව කී විජේවික්‍රම මහතා රෝහල්ගත වන විට නිව්මෝනියාව උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙන බව ද කීවේය.
මේ වයිරසය පහසුවෙන් මැරෙන වයිරසයක් බවත් නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මගින් ඉන් ආරක්ෂා විය හැකි බව ද වෛද්‍යවරයා පැවසීය.










