නව සන්ධානයේ සභාපති ධූරය හිමිවීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (18) රාත්‍රියේ මහින්ද අමරවීර මහතාගේ නිවසේ උත්සව තබා සමරද්දී සිරිසේන මහතාගේ උපන්ගම වූ පොලොන්නරුවේ පොහොට්ටු පක්ෂයේ ප්‍රධානියා වන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඊයේ රාත්‍රියේදීම රටටම පෙනෙන්නට පෞද්ගලික නාලිකාවකදී සජීවීව සිරිසේන මහතාව දැඩි ලෙස විවේචනය කිරීම විශේෂ සිදුවීමක් විය.
එහිදී රොෂාන් රණසිංහ මහතා කියා සිටියේ පක්ෂයේ ප්‍රධානීන් ගන්නා තීන්දුවලට තමන් එකග නමුත් සිරිසේන යනු සන්ධානවලට ගන්නවා තබා දේශපාලනයට ගාවාගත යුතුවත් නැති පුද්ගලයකු බවය. මෙවැන්නකු සමග එක දේශපාලන වේදිකාවක සිටිනවා තබා තමා නම් එවැන්නකු සමග එක පිට්ටනියකවත් රැදී නොසිටින බවද සදහන් කර සිටියේය.
2014 නොවැම්බර් මස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග එකට රාත්‍රීයේදී ආප්ප කා ඊළග දවසේ එක්සත් ජාතික පක්ෂයට ගිය පුද්ගලයකු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බව කී රොෂාන් රණසිංහ මහතා ඒ දවස්වල එතුමා වේදිකාවේදී රාජපක්ෂවරුන්ට බැනවැදුණු ආකාරයේ වීඩියෝ මේ දිනවල සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන බවත්, ඒවා දකින විට තමන්ට වමනය යෑමට එන බවත් ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම මිනීමරුවන්ට ජනාධිපති සමාව දුන්, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් සන්ධානයට එක් කරගැනීමට තමන් විරුද්ධ බවත්, නාමිකව හෝ සභාපති ධූරය සිරිසේන මහතාට ලබා දුන්නද ඔහුට එරෙහිව තමන් පොලොන්නරුවේ ජන්ද සටන දියත් කරන බවත් රණසිංහ අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෛත්‍රීපාල ඇතුළු ශ්‍රීලනිපයේ බොහෝ දෙනාට බලයේ සිටීමේ පෙරේතකමක් ඇති බව කී එහිදී කී රණසිංහ මහතා අවස්ථාවාදීව ඇමැති කටුවලට පෙරේතකමින් එහෙට මෙහෙට පනින මේ දේශපාලන ගෙම්බන්ව ගෙදර තැබීමට මෙවර මහමැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.
එමෙන්ම ඉකුත් ජනාධිපතිවරණයේදී සිරිසේන මහතා එජාප අපේක්ෂකයා වූ සජිත්ට සහාය දුන් බව මේ වනවිට ඔප්පු වී ඇති බවත්, එවැනි කුමන්ත්‍රණකාරයන් නැවත ආණ්ඩුවට ළංවෙමින් සිටින්නේ අවස්ථාවක් ලැබුණු සැණින් නැවත කුමන්ත්‍රණ කිරීමට බවත් රණසිංහ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.











