පසුගිය සති කිහිපය පුරාම ප්‍රධාන පෙළේ සියලුම දේශපාලන පක්ෂ ඇතුළේ පවතින අර්බුද හේතුවෙන් දේශපාලන කරළිය ගිනියම් වී තිබුණද මේ වන විට එම ගිනියම් දේශපාලනය පසුකර යමින් තවත් විශේෂ මාතෘකාවක් එළියට පැමිණ තිබේ. ඒ වෙන මොකක්වත් නොව කොරෝනා වෛරසයය. පසුගිය බදාදා දින පළමුවරට කොරෝනා රෝගියකු ලංකාවෙන් වාර්තා වීමත් සමඟ ඊළඟ දින කිහිපය සම්පූර්ණයෙන්ම ගතවූයේ ඒ හා සම්බන්ධ සිදුවීම් මාලාවකිනි. කෙසේ වෙතත් රාජ්‍ය රහස් තීරය ඔස්සේ කොරෝනා වෛරසය පිළිබඳව මුලින්ම මතක් කර සිටියේ පසුගිය සතියේදී දේශපාලන ක්ෂේත්‍රයේ සිටින ප්‍රබලයකු මුල්කරගෙන මෙම කොරෝනා වෛරස් කතාව ඇදී ආ නිසාය. මේ දේශපාලන ප්‍රබලයා වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මෙන්ම ශ්‍රී ලංකා සභාපතිවරයාද වන මෛත්‍රිපාල සිරිසේන මහතාය.
ඔන්න උකුස්සා එනවා… ඔන්න කොරෝනා එනවා….
මෛත්‍රිට කොරෝනා වෛරසය සම්බන්ධ කරමින් කතාබහ සිදුවූයේ වෙන කොතනදීවත් නොව පසුගිය බදාදා මහින්දගේ විජේරාම මාවතේ පිහිටි නිල නිවෙසේ පැවැති පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කිරීමේ උත්සවයේදීය.
මෙම උත්සවයට නිල වශයෙන් ආරාධනා ලැබී තිබුණේ ශ්‍රීලනිපයේ ප්‍රබලයකු වන නිමල් සිරිපාලද සිල්වා මහතාටය. නිමල්ට පමණක් ඊට ආරාධනා කර තිබුණද නිමල් මෙම ආරාධනාව පිළිබඳව මෛත්‍රිට දැනුම්දී සිටීම නිසා එහි අවසන් ප්‍රතිඵලය වූයේ සියලු දෙනාම පුදුමයට පත්කරමින් අනාරාධිතවම මෛත්‍රි මෙම උත්සවයට කඩාවැදීමය. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදීන් විශාල පිරිසක්ද විජේරාම නිවෙසට පැමිණ සිටි අතර මුලින්ම මෛත්‍රි නිවෙසට ඇතුළු වන ආකාරය දුටුවේ පොහොට්ටුවේ සාමාජිකයන්ටත් පෙර මෙම මාධ්‍යවේදීන්ය. එම නිසා එහි සිටි එක් මාධ්‍යවේදියකු මෛත්‍රි දුටු සැණින් ඇතුළේ සිටි මහින්ද ඇතුළු පිරිසට ඇසෙන්නට “අන්න උකුස්සා එනවා” යැයි කියද්දී මහින්දට පමණක් නොව එතැන සිටි සියලුම දෙනාට සිනා නොවී සිටිය නොහැකි විය. ඒ සමඟම මෛත්‍රිට එරෙහිව දිනපතාම පාහේ මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරන තවත් එක් පොහොට්ටු ප්‍රබලයකු ඊටද එහා යමින් කියා සිටියේ “උකුස්සා නෙමෙයි ඔය එන්නෙ කොරෝනා වෛරසය” යැයි කියාය. එය තරමක් උස් හඬින් කියා සිටීම නිසා මෛත්‍රිටද එය ඇසුණු නමුත් එවැන්නක් නෑසුනාක් මෙන් මෛත්‍රි තමන්ට සුපුරුදු කපටි සිනාවෙන් යුතුව මහින්ද සිටි දෙසට යන ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෛත්‍රී ආවේ පරණ පුරුදු තැනට
කෙසේ වෙතත් මෛත්‍රිට මේ විජේරාමයේ පිහිටි මහින්දගේ නිල නිවෙස නුහුරු නුපුරුදු තැනක් නොවේ. මන්දයත් 2015ට පෙර සිට මෛත්‍රි සිය නිල නිවෙස වශයෙන් භාවිතා කළේ මෙම නිල නිවෙස නිසාය. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුවත් මහගමසේකර මාවතේ නිල නිවෙස සකස් කරන තෙක් මෛත්‍රි රැඳී සිටියේ මෙම නිවෙසේය. එම නිසා මේ නිවෙස සම්බන්ධයෙන් විශාල ඇත්දැකීම් ප්‍රමාණයක් මෛත්‍රි සතුව ඇත.
මේ ගෙදරදි රාජපක්ෂවරුන් ඉවර කරන්න මෛත්‍රී නාමල්ට කරපු යෝජනාව
මෛත්‍රිට පමණක් නොව එක්තරා විශේෂ සිදුවීමක් මුල්කරගෙන නාමල් රාජපක්ෂ මහතාටද මෙම නිවෙස සම්බන්ධයෙන් විශාල මතකයක් තිබේ. ඒ සිදුවීම වෙන මොකක්වත් නොව මෛත්‍රි ජනාධිපතිවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල්ට තමන් හමුවන ලෙස මෛත්‍රි විසින් කරනු ලැබූ ඉල්ලීමකි. එම කැඳවීමට අනුව පැමිණි නාමල් මෛත්‍රිව මුණගැසුනේ මෙම නිල නිවෙසේදීය. එහිදී මෛත්‍රි නාමල්ට කියා සිටියේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු වූවක් නම් නොවේ. එනම් ජනාධිපතිවරණය ජයග්‍රහණය කොට විශාල උද්දාමයකින් සිටි මෛත්‍රි නාමල්ට කියා සිටියේ රාජපක්ෂ පවුලටම දේශපාලනය කිරීමෙන් වැළකී සිටිය යුතු බවකි. එසේ කළහොත් පමණක් රාජපක්ෂ පවුලට එරෙහිව එල්ල වී ඇති චෝදනාවලින් ගැලවී සිටිය හැකි බවද මෛත්‍රි එහිදී නාමල්ට කියා සිටියේය. නමුත් නාමල් එදා ඊට පිළිතුරක් නොදී මෙම නිවෙසින් එළියට බැස්සේ පියා සමඟද කතාකොට මේ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්නම් යැයි කියාය. නමුත්, මෛත්‍රි බලාපොරොත්තුව සිටි පිළිතුර එදා රාජපක්ෂ පවුලෙන් ලැබුණේ නැත.
මහින්ද පරණ කාතව මතක් කරද්දී මෛත්‍රීගේ මුහුණ බෙරිවෙයි
මේ පැරැණි කතාව යළි මතක් කිරීමට සිදුවූයේ මෛත්‍රි මහින්ද මුණගැසුණු වහා මෛත්‍රිද නොසිතූ ලෙස මහින්ද මෙම කතාව සිහිපත් කර සිටීම නිසාය. ආගිය කතා අතරේ මහින්ද සිනාසෙන ගමන් විහිළුවෙන් විහිළුවෙන් මෙන් මහින්ද එහිදී විමසා සිටියේ “මතකද මෛත්‍රි මේ තැන. මෙතැන ඉඳන්නේ ඔයා අපිට දේශපාලනයෙන් අයින් වෙන්න කියල කිව්වෙ. නාමල්ට එදා ඔයා ඒ කතාව කිව්වෙ මෙතැනදි නේද?” යැයි කියාය. මහින්ද එසේ කියද්දී නාමල් මෛත්‍රි කියන්නේ කුමක්ද කියා සිනාසෙමින් බලා සිටියද පිළිතුරක් දෙනවා වෙනුවට මෛත්‍රිගේ මුහුණ හතරැස් වී යන ආකාරයක් අවට සිටි සියල්ලන්ටම දැකගන්නට ලැබිණි. එම ප්‍රශ්නයෙන් මෛත්‍රි මහත් අපහසුතාවට පත්වූ ආකාරයක් මහින්දට දැකගන්නට ලැබුණු නිසා කතාව වෙනස් කළ මහින්ද “හරි හරි… අපි නාමයෝජනා අස්සන් කරන තැනට යමු. දැන් නැකැතත් ළඟයි…” යනුවෙන් කියමින් එතැනින් නැඟී සිටි ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මහින්ද සිනාසෙමින්ම නාමයෝජනා අස්සන් කරන තැනට පැමිණියද මෛත්‍රි නම් එතැනට පැමිණියේ මුහුණ බෙරිකරගත් ගමන්මය.
වාඩිවෙන්න පුටුවක්වත් දීලා නෑ

කෙසේ වෙතත් නැකැතට නාමයෝජනා අස්සන් කිරීමේ අවස්ථාවට ඒ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පොහොට්ටුව නියෝජනය කරන සියලුම දිස්ත්‍රික් නායකයන්ද, පොහොට්ටුවේ ප්‍රබලයන්ද පැමිණ සිටි අතර ඒ කිසිවකුත් මෛත්‍රි සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නොදැක්වීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය. අඩුම තරමින් මෛත්‍රිට හිටපු ජනාධිපතිවරයකු වශයෙන් හෝ ශ්‍රීලනිපය සහ පොහොට්ටුව නිර්මාණය කළ නව සන්ධානයේ සභාපතිවරයා වශයෙන් හෝ පුටුවක් වෙන්කර නොතිබීමද එහිදී දැකගන්නට ලැබුණු අනෙකුත් විශේෂම සිදුවීම විය. එපමණක් නොව මහින්ද අස්සන් තබද්දී මෛත්‍රි සිටියේ ඔහුට පිටුපසින් දෙවැනි පේළියේ වූ අතර ඉදිරි පේළියට ඒමට මෛත්‍රි උත්සාහ දැරුවද එහි සිටි කිසිවකුත් ඊට ඉඩ නොදී උරහිසින් මෛත්‍රිව පසුපසට තල්ලු කරන ආකාරයක්ද දැකගන්නට ලැබිණ. නමුත් අවසානයේ තෙරපි තෙරපී කෙසේ හෝ මහින්දගේ වම්පසට වන්නට ඉදිරි පේළියට ආ මෛත්‍රි අඩුම තරමින් එහි සිටි කිසිවකුත් සමඟ වචනයක් හෝ කතා නොකොට මහින්ද නාමයෝජනාවලට අස්සන් තබන විට දොහොත් මුදුන් දී වැඳගෙන සිටින්නට විය. මෛත්‍රිගේ මේ වැඳීම කොතරම් තදට තිබුණාද කියනවා නම් මහින්ද අස්සන් තබා අවට සිටියවුන් සමඟ කතාකොට සිය මුණුපුරාවද අතට ගෙන හුරතල් කරද්දී පවා මෛත්‍රි සිටියේ තමාගේ පාඩුවේ දොහොත් මුදුන් දී වැඳගෙනය.
ඉවර වෙන්න කලින් මාරු වෙයි
කෙසේ වෙතත් මහින්ද අස්සන් කොට දිස්ත්‍රික් නායකයන් ලෙස පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන් අස්සන් තබද්දී මෛත්‍රි කළේ එම ස්ථානයේ තවදුරටත් රැඳී නොසිට පිටත්ව යෑමය. ඒ අනුව ගෝඨාභයටත්, මහින්දටත් පමණක් ඒ බව කී මෛත්‍රි අනෙක් කිසිවකුගේවත් මුහුණු නොබලා එතැනින් පිටව යද්දී එහි සිටි සියල්ලන්ගේම මුහුණුවල තිබුණේ දැඩි උපහාසාත්මක සිනාවකි. මෛත්‍රි එසේ පිටව යද්දී එළියේ සිටි මාධ්‍යවේදීන් යළිත් මෛත්‍රිගෙන් ‘ඔබතුමා යනවාද‘ යැයි විමසද්දී ඒ කිසිවකුට උත්තර නොදුන් මෛත්‍රි කළේ එළියට යන ගමන්ම ‘ඔව් මට හදිස්සි සාකච්ඡාවක් තියෙනවා’ යැයි කියමින් එතැනින් පිටව යෑමය.
මෛත්‍රිට පහර දීම ඇරඹේ
නමුත් මෛත්‍රි කිසිවක් නොකියා ඉන් පිටව ගියද නාමයෝජනා අස්සන් කිරීමෙන් පසු එළියට පැමිණි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් නම් නිකන් හිටියේ නැත. විශේෂයෙන්ම නාමල් මෙන්ම ප්‍රසන්නද එහිදී මෛත්‍රි ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමට කටයුතු කළහ. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පැය 24ක් ඇතුළත රාජපක්ෂ පවුලෙන් මෛත්‍රිව ඉලක්ක කර දෙවැනි ප්‍රහාරයද එල්ලවීමය.
පළමු ප්‍රහාරය චමල්ගෙන්
එහි පළමු ප්‍රහාරය එල්ල කළේ රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ මහතාය. හම්බන්තොට පැවැති රැස්වීමකදී පළමු වතාවට මෛත්‍රි ඉලක්ක කර ප්‍රබල ප්‍රහාරයක් දියත් කළ චමල් හම්බන්තොටින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන පොහොට්ටුවේ නාමලේඛනය ප්‍රසිද්ධ කිරීමට පියවර ගත්තේය. එහිදී චමල් පොහොට්ටුවේ නම් ලැයිස්තුව කියවා ඉන් අනතුරුව ශ්‍රීලනිප අපේක්ෂකයා වූ අමරවීරව හඳුන්වා දීම සඳහා පාවිච්චි කළේ “උකුසු පක්ෂය” යන වචනයය. එහිදී චමල් කියා සිටියේ උකුසු පක්ෂයෙන් අමරවීර ඉදිරිපත් වන බවත්, ජනතාව ඡන්දය ලබාදීමේදී 2015 සිදුවූ දෙය සිහියේ තබා ගත යුතු බවත්ය. එසේ නොවුණහොත් 2015 ලැබුණු දඬුවම මෙවරද අත්විඳින්නට සිදුවනු ඇති බව චමල් එහිදී කියා සිටියේය. ඒ හරහා චමල් නොකියා කීවේ ශ්‍රීලනිපයෙන් පොහොට්ටුවට රිංගාගෙන සිටින අපේක්ෂකයන්ට මනාප ලබා නොදෙනෙ ලෙසත්, ඔවුන් ජයග්‍රහණය කළහොත් අවස්ථාව ලැබුණු සැණින් යළි එජාපය සමඟ එක්වනු ඇති බවත්ය.
දෙවැනි එක නාමල්ගෙන්
ඉන් අනතුරුව රාජපක්ෂ පවුලෙන් මෛත්‍රි ඉලක්ක කර දෙවැනි ප්‍රහාරය එල්ලවූයේ නාමල් රාජපක්ෂගෙනි. කළින් කී පරිදිම නාමල් එම ප්‍රහාරය එල්ල කළේ නාමයෝජනාවලට අස්සන් තබා විජේරාම නිවෙසින් එළියට පැමිණි අවස්ථාවේදීය. එහිදීද මෛත්‍රිට දැඩි ප්‍රහාරයක් එල්ල කළ නාමල් කියා සිටියේ පහුගිය කාලයේ හිටපු නායකයන් තමන් ඇතුළු බොහෝ පිරිසක් හිරේ විලංගුවේ දැමීමට කටයුතු කළා යැයි කියාය. නමුත් ඒවා අමතක කොට එක්ව තරග කිරීමට තීන්දු කළ නමුත්, පාක්ෂිකයන් මහින්ද සමඟ සිටියේ කවුරුන්ද යන්න හොඳ හැටි සිහියේ තබාගෙන ඡන්දය භාවිතා කළ යුතු බවද නාමල් කියා සිටියේය.
ඉන්පසු මෛත්‍රි ඉලක්ක කරගෙන ප්‍රබලම ප්‍රහාරය එල්ල වූයේ පොහොට්ටුවේ නිර්මාතෘවරයා මෙන්ම එහි මහ මොළකරුවාද වන බැසිල්ගෙනි. ගම්පහ පැවැති රැස්වීමකදී බැසිල් ප්‍රසිද්ධියේ මෛත්‍රිට ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ අපූරු කතාවකි.
බැසිල් මෛත්‍රීට වැටෙන්නම ගහයි

“අපි පහුගිය දවසක සුබ මොහොතින් පොහොට්ටුවේ නාමයෝජනා අස්සන් කළා. ඒකට වෙන වෙන අයත් අපිත් එක්ක ඇවිල්ල හිටියා. කොහොම වුණත් ඒ අයත් දැන් පොහොට්ටුවට ඇවිත්. ඒ අය අපිව පාරෙ ඇවිද්දනව කිව්වා. කොහොමත් ඇවිදින එක ඇඟට හොඳයි. අපිට දැන් ඇවිදගන්න බැරිවයි ඉන්නෙ. ඉංග්‍රීසි කියමනක් තියෙනවා ‘යූ කැන් ෆොගිව්, නොට් ෆොගෙට්’ කියලා. ඒකෙන් කියන්නෙ අපිට ඕනෙ කෙනෙක්ට සමාව දෙන්න පුළුවන්, අපි අමතක කළ යුතු නැහැ කියන එක. අපි අමතක කරන්නෙත් නැහැ කියන එක අපි කියන්න ඕනෙ. මොකද අපි අමතක කළොත් අපිට වෙච්ච දේ, 2015දි පැරදිච්ච දේ හරි මගට අරන් යන්න බෑ.” යනුවෙන් එහිදී බැසිල් කියා සිටියේය.
මෛත්‍රී එද්දි රොෂාන් හිටියෙ නැත්තෙ ඇයි?
කෙසේ වෙතත් මේ ආකාරයට මෛත්‍රි ඉලක්ක කරගෙන රාජපක්ෂවරුන්ගෙන් පිට පිට ප්‍රහාර එල්ල වද්දීත් මෛත්‍රි බදාදා දිනයේදී නාමයෝජනා අස්සන් කරන මහින්දගේ නිවෙසට පැමිණ සිටීමත්, ඒ අවස්ථාවට පොළොන්නරුවේ පොහොට්ටුවේ ප්‍රබලයා වන රොෂාන් රණසිංහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැමිණ නොසිටීමත් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ කාරණයක් විය. රොෂාන් යනු මෛත්‍රි 2015දී මහින්දව පරාජය කොට පොළොන්නරුවෙන් රජ වෙද්දී මහින්ද ලකුණ පොළොන්නරුවට රැගෙන ගිය එකම දේශපාලනඥයාය. එකල මහින්ද වෙනුවෙන් වචනයක් හෝ කතා කිරීමට පොළොන්නරුවේ කිසිවකු නොවුණු තැන රටේ ජනාධිපතිවරයා පවා සිය දිස්ත්‍රික්කයෙන් බිහිව තිබියදී මහින්ද වෙනුවෙන් තනිවම පෙනී සිටියේ රොෂාන්ය. මේ නිසාම වරෙක රොෂාන්ව ගෙන්වා මෛත්‍රි ඔහුගෙන් විමසා සිටියේ තමන් සමඟ එක්ව දිව්‍යලෝකයේ යනවාද, එසේත් නැත්නම් මහින්ද සමඟ එක්ව අපායට යනවාද කියාය. එහිදී රොෂාන් තීන්දු කළේ මෛත්‍රි සමග දිව්‍ය ලෝකයේ යනවාට වඩා මහින්ද සමඟ එක්ව අපායට යන්නටය. ඒ අනුව රොෂාන් තනිවම මහින්ද වෙනුවෙන් පෙනී සිටිමින් පොළොන්නරුවේ පොහොට්ටුව ගොඩනගද්දී මෛත්‍රිගේ අනේකවිද වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය. මෛත්‍රි පොළොන්නරුවේදී පන්න පන්නා රොෂාන්ට පහරදුන්නේය. නමුත් ඒ කිසිවකට බිය නොවූ රොෂාන් මෛත්‍රිව පොළොන්නරුවෙන් පරාජය කළේ ඓතිහාසික වාර්තාවක්ද තබමිනි. ඒ, විධායක ජනාධිපතිවරයකු පොළොන්නරුවෙන් බිහිව තිබියදී 2018 පුංචි ඡන්දයේදී පොළොන්නරුවෙන් මෛත්‍රිව පරාජයට පත්කරමිනි.
රොෂාන්ට ආරාධනාවක් නෑ

එහෙව් රොෂාන් නාමයෝජනා අස්සන් තැබීමේ අවස්ථාවට නොපැමිණි හේතුව සොයා බලද්දී අපට දැනගන්නට ලැබුණේ එම අවස්ථාවට රොෂාන්ට ආරාධනාවක් ලැබී නැතැයි කියාය. මේ හේතුවෙන් රොෂාන් තරමක් හිත් වේදනාවකින් සිටින බවද රාජ්‍ය රහස් තීරයට ආරංචි විය. මීට අමතරව ඒ වන විටත් පොහොට්ටුවේ පොළොන්නරු දිස්ත්‍රික් නායකත්වය මෛත්‍රිට ලබාදීමට සූදානමක් ඇති බවට කනින් කොණින් කටකතා ගොස් තිබීමද රොෂාන්ගේ මේ හිත් වේදනාවට තවත් හේතුවක් වී තිබිණ. එවැනි තත්ත්වයක් මතුවුවහොත් රොෂාන් දැඩි තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බවද රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ලැබිණ. ඒ මෛත්‍රිගේ නායකත්වය යටතේ අපේක්ෂකයකු ලෙස මැතිවරණයට ඉදිරිපත් නොවී සිටීමටය.
හිත් වේදනාවට රොෂාන් තීන්දුවක් ගනියිද?
රොෂාන්ගේ ඒ තීන්දුවට රොෂාන් දේශපාලනයට ආ දා සිටම හයිය දුන් ඔහුගේ බිරියද සහාය පළ කොට ඇති බව ආරංචිය. ඒ අනුව දැන් පොලොන්නරුවේ ජනතාවට බලා සිටීමට ඇත්තේ රාජපක්ෂවරුන්ට පොලොන්නරුවෙන් හයිය දුන් රොෂාන්ලාව ආරක්ෂා කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරනවාද, එසේත් නැතිනම් රාජපක්ෂවරුන්ව හිරේ විලංගුවේ දැමීමට පියවර ගත් මෛත්‍රිපාලලා ආරක්ෂා කිරීමට රාජපක්ෂවරුන් කටයුතු කරනවාද යන්න සම්බන්ධයෙනි.
මෛත්‍රී මෙච්චර ගහද්දිත් පොහොට්ටුවට රිංගන්න යන්නේ ඇයි?
කෙසේ වෙතත් මෛත්‍රි පොහොට්ටුවෙන් සහ රාජපක්ෂවරුන්ගෙන් තමන්ට පහර පිට පහර වදිද්දී මේ ආකාරයට පොහොට්ටුවේම එල්ලීගෙන ඉන් තරග වැදීමට තීරණය කර තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳව ශ්‍රීලනිපයේ බොහෝ දෙනාට ඇත්තේ බලවත් ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී අපට දැනගන්නට ලැබුණේ මෛත්‍රිගේ සිතේ ඇතිව ඇති විශාල බයක් මේ සඳහා බලපා ඇති බවකි. එනම්, මෛත්‍රි ජනාධිපතිවරයාව කටයුතු කළ සමයේදී සිදු කළා යැයි කියන දැවැන්ත රහස් ගනුදෙනු රැසක තොරතුරු මේ වන විට ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ අතට පත්වී ඇති නිසාත්, පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධාන චරිතයක් ලෙස මෛත්‍රිගේ නම හෙළිදරව් වී තිබීම නිසාත් මෛත්‍රි මෙසේ කුමන තත්ත්වයක් යටතේ හෝ පොහොට්ටුවෙන්ම තරග කිරීමට තීන්දු කර ඇති බවය.
මෛත්‍රී අත්අඩංගුවට පත් වෙයිද?
එසේ නොකොට ශ්‍රීලනිපයෙන් වෙනමම තරග වැදීමට කටයුතු කළහොත් තමන්ව නිසැක වශයෙන්ම අත්අඩංගුවට ගනු ඇති බවට වූ සැකය මෛත්‍රි තුළ ඇති බව රාජ්‍ය රහස් තීරයට දැනගන්නට ඇත. විශේෂයෙන්ම පාස්කු බෝම්බය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාවට ෆොන්සේකා එක්කළ විශේෂ පරිච්ඡේදයකින් එම ප්‍රහාරයට මෛත්‍රි ප්‍රධාන වශයෙන් වගකිවයුත්තා බව අනාවරණය කර තිබේ. මීට දෙසතියකට පෙර අපි එය පළමු වතාවට රටට හෙළිදරව් කිරීමට කටයුතු කළෙමු. මීට අමතරව එම කොමිසමේ සභාපතිවරයා වූ හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාද පසුගිය සතියේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෛත්‍රි, රනිල් යන දෙදෙනාම එම ප්‍රහාරයට වගකිව යුතු යැයි කියාය. මීට අමතරව මේ දිනවල ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේද මෛත්‍රි සම්බන්ධයෙන් විශේෂ කාරණා රැසක්ම හෙළිදරව් වී ඇති අතර, ඉදිරියේදී ඊට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මෛත්‍රී සම්බන්ධයෙන් විශේෂ අනාවරණයන් කිහිපයක් සිදුකිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත. මෛත්‍රි මේ ආකාරයට තනිවම තරග නොකොට කුමන තත්ත්වයක් යටතේ හෝ පොහොට්ටුවෙන්ම තරග කිරීමට තීන්දු කර ඇත්තේ මෙම චෝදනාවන්ට තමන් අත්අඩංගුවට පත්වනු ඇති බවට වූ බිය සහ සැකය නිසාය.
ශ්‍රීලනිපයටත් මෛත්‍රී එපා වෙයි
කෙසේ වෙතත් මේ වන විට මෛත්‍රිගේ මේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ඇතුළේ මෛත්‍රිට එරෙහිව විශාල කැරැල්ලක් දියත් වෙමින් පවතින ආකාරයක්ද දැකගන්නට ඇත. මෙහිදී ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු මෙන්ම ආසන සංවිධායකවරුන් රැසක්ම පක්ෂ මහලේකම්වරයා වූ දයාසිරිට දැනටමත් දැනුම්දී ඇත්තේ මෛත්‍රිගේ නායකත්වය යටතේ තවදුරටත් ශ්‍රීලනිපයට මෙසේ ගමන් කළ නොහැකි බවත් පාක්ෂිකයන් මෛත්‍රිගේ නම ඇසෙද්දීත් අප්පිරියා කරන බවත්ය. එම නිසා ශ්‍රීලනිප නායකත්වයෙන් මෛත්‍රි ඉවත් කොට නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතු බවට යෝජනාවක්ද ඔවුන් දයාසිරිට ඉදිරිපත් කර ඇත.
නායකත්ව මණ්ඩලයක් දාන්න දයාසිරිට යෝජනාවක්

මේ ආකාරයට ශ්‍රීලනිපයට නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතු බවට යෝජනා වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ඉකුත් ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තියාද ශ්‍රීලනිපයට නායකත්ව මණ්ඩලයක් පත්කළ යුතු බවට යෝජනාවක් ඉදිරිපත් විය. නමුත් ඒ අවස්ථාවේදී මෛත්‍රි මැතිවරණයේදී කිසිවකුට සහාය පල නොකොට මධ්‍යස්ථව සිටීමට තීන්දු කිරීම නිසාත්, ජනාධිපතිවරණ උණුසුම නිසාත් එම යෝජනාව යට ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. නමුත් මෙවර එම යෝජනාව දැඩිව ඉදිරිපත් වීම නිසා දයාසිරිලා තීන්දු කොට තිබුණේ පසුගිය බදාදා සවස කැඳවා තිබූ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමේදී එම යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමටය. නමුත් දයාසිරිලා මෙවැනි යෝජනාවක් මධ්‍යම කාරක සභාවට රැගෙන ඒමට සූදානමින් සිටින බවට මෛත්‍රිටද වටින් ගොඩින් තොරතුරු දැනගන්නට ලැබිණ. ඒ අනුව මෛත්‍රි වහාම කළේ මධ්‍යම කාරක සභා රැස්වීම අවලංගු කිරීමය.
වෙනම යන්න විශාල බලපෑමක්
මේ අතර බදාදා දිනයේදී මෛත්‍රි පක්ෂයේ ආසන සංවිධායකවරුන් ඩාලි පාරේ පක්ෂ මූලස්ථානයට කැඳවා තිබූ අතර, පළාත් වශයෙන් ඔවුන්ව සාකච්ඡා සඳහා එක්කර ගැනීමට පියවර ගෙන තිබිණ. මෙහිදී මෛත්‍රි ඔවුන්ගෙන් විමසා සිටියේ ඉදිරි මහ මැතිවරණයේදී පොහොට්ටුව සමඟ එක්ව තරග කිරීම සම්බන්ධයෙන්ය. නමුත් මෛත්‍රි නොසිතූ ලෙස රැස්ව සිටි බොහොමයක් දෙනා දැඩිව කියා සිටියේ දිගින් දිගටම ශ්‍රීලනිපය ඉලක්ක කරගෙන පොහොට්ටුවෙන් සිදුකරන පහරදීම් නිසා තවදුරටත් පොහොට්ටුව සමඟ එක්ව ඉදිරි ගමනක් යා නොහැකි බවත්, එක්ව මැතිවරණයට තරග කළද සංවිධානාත්මක ලෙස පොහොට්ටුව සියලුම ශ්‍රීලනිප අපේක්ෂකයන් පරාජයට පත්කිරීමට කටයුතු කරන බවත්ය. මීට අමතරව සන්ධානගත වීමේදී මුලින්ම 30%ක කෝටාවක් ශ්‍රීලනිපයට ලබාදෙන බවට පොහොට්ටුව පොරොන්දු වී තිබූ නිසා එම කෝටාව ශ්‍රීලනිපයට නොලැබුණහොත් තනිවම තරග කිරීමට පක්ෂය පියවර ගත යුතු බවද එහිදී සංවිධායකවරු අති බහුතරයක් මෛත්‍රිට පෙන්වා දුන්හ. ඊට පිළිතුරු වශයෙන් මෛත්‍රි කියා සිටියේ බ්‍රහස්පතින්දා සවස හතරට පොහොට්ටුව සමඟ මේ සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත්, එහිදී ගන්නා තීන්දුවට අනුව ශ්‍රීලනිපය තීරණයකට එළැඹෙන බවත්ය.
මෛත්‍රී කාටත් හොරෙන් ගිහින් අස්සන් කරලා
මෛත්‍රි මෙසේ ආසන සංවිධායකවරුන්ට දැනුම්දී සිටියද බ්‍රහස්පතින්දා දහවල් වන විට පොහොට්ටුවේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ පොළොන්නරු දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අපේක්ෂකයකු ලෙස අස්සන් තබා ඇති බවය. නමුත් එහි තිබූ විශේෂත්වය වන්නේ මෛත්‍රි මෙසේ පොහොට්ටුවේ නාමයෝජනාවලට අස්සන් කරන බවක් ශ්‍රීලනිපයේ බොහෝදෙනකු නොදැන සිටීමය. අන්තිමේදී නැවැත වතාවක් තමන්ගේ දේශපාලන පැවැත්ම පමණක් ගැන සිතමින් මෛත්‍රි ශ්‍රීලනිප සාමාජිකයන් අතරමං කොට තනිවම ගොස් පොහොට්ටුවෙන් නාමයෝජනා ලබාගැනීමට පියවර ගෙන තිබිණ.
බැසිල් මෛත්‍රීව දෙකට දමයි
මේ අතර මෛත්‍රි නාමයෝජනා අස්සන් කිරීම සඳහා පැමිණි අවස්ථාවේ තවත් අපූරු සිදුවීමක්ද සිදුවිය. එම අවස්ථාවට පොහොට්ටුව නියෝජනය කරමින් බැසිල්, සාගර කාරියවසම්, ජී.එල්. සහභාගි වී සිටි අතර, දයාසිරි ශ්‍රීලනිපයෙන් සහභාගි වී සිටියේය. මෙහිදී නාමයෝජනා පිළිබඳ සාකච්ඡාව ආරම්භ වූ අවස්ථාවේ මෛත්‍රි මුහුණ ඉදිරියට දමා තමන්ට ආසන දෙකකින් එපිට සිටි බැසිල්ගෙන් විමසා සිටියේ තමන්ද නාමයෝජනාවලට අස්සන් තැබුවාට කමක් නැද්ද කියාය. මෛත්‍රිගේ මේ ප්‍රශ්නය පැමිණුනු වහා බැසිල් කියා සිටියේ දිස්ත්‍රික්කයේ දෙවැනියා විදිහට අස්සන් කළාට ඔබතුමාට කමක් නැද්ද යන්නය. එහිදී බැසිල් නොකියා කීවේ පොළොන්නරුවේ පළමුවැනියා පොහොට්ටුවේ රොෂාන් රණසිංහ බවත්, රොෂාන් යටතේ තරග වැදීමට මෛත්‍රි සූදානම්ද යන්නත්ය. කෙසේ හෝ පොහොට්ටුවේ නාමයෝජනා ලැයිස්තුවට රිංගා ගැනීමට ඇති අවශ්‍යතාව නිසා ඒ ගැන වැඩි තැකීමක් නොකරමින් මෛත්‍රි කියා සිටියේ “අපෝ ඒකට කමක් නෑ…” යැයි කියාය.
ප්‍රමිත මාතලේ උණුසුම් කරයි

ඉන් අනතුරුව දිස්ත්‍රික්කවල නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන්ද පිරිස අතර දීර්ඝ සාකච්ඡාවක් ඇතිවිය. එහිදී සියලුම දිස්ත්‍රික්කවලට ශ්‍රීලනිපය වැඩි නාමයෝජනා ප්‍රමාණයක් ඉල්ලීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීම විය. නමුත් බැසිල්, ජී.එල්. දෙදෙනාම ඔවුන්ට පෙන්වා දුන්නේ පවතින තත්ත්වය යටතේ කිසිසේත්ම එවැන්නක් සිදුකිරීමට නොහැකි යැයි කියාය. මේ සම්බන්ධයෙන් වාද විවාද, තර්ක විතර්ක සිදුවෙද්දී මාතලේ නාමයෝජනා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර තරමක උණුසුම් වාදයක්ද සිදුවිය. ඊට හේතුවූයේ ශ්‍රීලනිපය මාතලේට නාමයෝජනා තුනක් ඉල්ලා සිටීමය.
නමුත් ඊට එරෙහිව මාතලේ හිටපු පළාත් ක්‍රීඩා අමාත්‍යවරයා වූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විරෝධය පළකිරීමත් සමඟ රැස්වීම තරමක් උණුසුම් විය. ප්‍රමිත පෙන්වා දුන්නේ මාතලේ ඒ ආකාරයට ශ්‍රීලනිපයට වැඩි ඉඩක් ලබාදිය නොහැකි බවත්, එය මාතලේ ජයග්‍රහණය වෙනුවෙන් පොහොට්ටුවෙන් කැපවී කටයුතු කළ අපේක්ෂකයන්ට සිදුකරන විශාල අසාධාරණයක් බවත්ය. ප්‍රමිතගේ මේ කතාවට ශ්‍රීලනිපය පැත්තෙන් ලැබුණු පිළිතුර වූයේ මාතලේ ශ්‍රීලනිපයට වැඩි ශක්තියක් ඇති දිස්ත්‍රික්කයක් යැයි කියාය. ඊට පිළිතුරු දුන් ප්‍රමිත කියා සිටියේ “අපිත් හොඳ පරණ ශ්‍රීලංකාකාරයො තමයි. ඒක මුළු මාතලේ දිස්ත්‍රික්කයම දන්නවා. හැබැයි දැන් ඒ ඔක්කොම ඉන්නෙ පොහොට්ටුවෙ අපිත් එක්ක. ඒ හින්ද මාතලෙන් තුන්දෙනෙක් ශ්‍රීලනිපයට දෙන්න බෑ…” යැයි කියාය. ඒ අනුව බොහෝ දුරට මාතලෙන් පමණක් නොව අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවලින්ද ශ්‍රීලනිපයට ලබාදෙන නාමයෝජනා ප්‍රමාණය අවම කිරීමට බැසිල් ඇතුළු පිරිස තීන්දු කර ඇති බවද ආරංචිය.
මෛත්‍රිගේ ගෙදර කේන්දරකාරයන් පිරිලා
කෙසේ වෙතත් මෛත්‍රි මේ දවස්වල නැවැත වතාවක් තමන්ගේ නිවෙසට ජ්‍යොතිෂවේදීන් කැඳවාගෙන විත් තම කේන්දරය බලාගන්නා බවක් ආරංචිය. ඉකුත් කාලයේදී මෛත්‍රිගේ කේන්දරයේ බලවත් බව අවස්ථා කිහිපයකදීම කියා සිටි ඉන්දික තොටවත්ත මේ අතරින් ඉහළින්ම සිටින බව දැනගන්නට ඇත. ඉන්දික එකල මෛත්‍රි රජ වන බව ප්‍රසිද්ධියේ කියා සිටි අතර, බොහෝදෙනෙක් කියා සිටියේ මෛත්‍රි අත දිගහැර වියදම් කර ඉන්දික ලවා මෙම ප්‍රකාශය සිදුකර ගත්තා යැයි කියාය. මේ දිනවල නැවැතත් ඉන්දික මෛත්‍රිගේ නිවෙසට ගොස් ඔහුගේ කේන්දරය නිරතුරුවම බලන බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන බවත් දැනගන්නට ඇත. ඒ අනුව මෛත්‍රිට සමීප බොහෝදෙනා කියා සිටින්නේ නැවැත වතාවක් මෛත්‍රි ඉන්දික ලවා මෙසේ තමා සම්බන්ධයෙන් අනාවැකි නිකුත් කරගන්නේ මුදල් වියදම් කිරීමෙන් පසුව යැයි කියාය. එමෙන්ම මෛත්‍රිගේ නිවෙස් මේ දිනවල නිතරම පුද පූජා, යාගහෝම පැවැත්වෙන බවක්ද දැනගන්නට ඇත.
කපිල පුංචිමාන්නගේ










